ඇත්තටම මුලදී නම් බය හිතුණා | සිළුමිණ

ඇත්තටම මුලදී නම් බය හිතුණා

වෙ‍ෙළඳ දැන්වීම් කලාවේ සිට පුංචි තිරයට වරම් ලබන ඇය, මේ වන විට සිනමාවටද අත්පොත් තබා හමාරය. රංගන ක්ෂේත්‍රයට පිවිස ඉතා කෙටි කලක් තුළ ප්‍රේක්ෂක ආදරය නොමදව දිනා ගත් ඇය තමාට ආවේණික වූ රංගන කුසලතා හරහා කා අතරත් කතා බහට ලක්වන චරිතයකි. ඇය නමින් රුක්ෂාන්ති පෙරේරා ය.

ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම ක්ෂේත්‍රයට එන්නේ මීට අවුරුදු අටකට කලින්. රීසන මීඩියා මොඩ්ල් බෑන්ක් හරහා වෙ‍ෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමට අවස්ථාව ලැබීමත් සමඟයි. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට ආපු මුල් වසර හතර ඇතුළත දැන්වීම් හැට හතකට විතර පෙනී ඉදලා තියනවා. ඊට පස්සේ තමයි මට ටෙලි නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීම වෙන්නේ “සකල ගුරු“ ටෙලි නාට්‍යයි. මුලදි නම් ඇත්තටම මට ටිකක් බය හිතුණා. ටෙලි නාට්‍යයක රංගනයේ යෙදෙන එක මට අලුත් අත්දැකීමක් වුණ නිසා. නමුත් ඒ නිර්මාණයේ මගේ චරිතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. එ්ත් එක්ක මම හිතනවා මම හොඳින් ඒ අභියෝගයට මුහුණ දුන්නා කියලා.

රුක්ෂාන්ති කියන්නේ මොනවගේ කෙනෙක් ද?

බොහොම සරල කෙනෙක්. එ් වගේම කරන වැඩේ හරියට කරලා තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. මම වැඩකට ගියත් හැමෝම එක්ක සුහදව කතා කරලයි ඉන්නේ.

ඔබ පාසලේදි රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවද?

නැහැ. මම පාසල් යන කාලේ රංගනයට සම්බන්ධ වුණේ නෑ. ඒකාලේ හිතුවෙත් නෑ මට රඟපාන්න පුළුවන් වෙයි කියලා.

රුක්ෂාන්ති නිතර ප්‍රේකෂකයන් හමුවට එන්නේ අහිංසකාවියකගේ චරිත හරහා. කැමැත්තක් නැද්ද වෙනස් චරිතයකට ජීවය දෙන්න ?

මම මෙතෙක් රංගනයෙන් දායක වුණ ගොඩක් නිර්මාණවල, විශේෂයෙන්ම දෙරණ නාලිකාවේ විකාශය වුණ පොහොය ටෙලි චිත්‍රපට සියල්ලකම වගේ පෙනී සිටියේ අහිංසක චරිත සඳහා. නමුත් මේ වෙනකොට මම රංගනයෙන් දායක වන සංගීතේ ටෙලි නාට්‍යයේ මගේ චරිතය ගත්තොත් එ්ක ටිකක් වෙනස් චරිතයක්. ඒ චරිතය ටිකක් නපුරු එ්වගේම ටිකක් ආඩම්බර චරිතයක්. ඒ කොහොම වුණත් මම හිතන්නේ මට ගැළපෙන්නේ අහිංසක චරිත. නමුත් එහෙම නොවන චරිත වුණත් මට ලැබුණොත් මම ඒ චරිතවලට සාධාරණයක් කරන්න උත්සහ ගන්නවා.

කොහොමද ඔබට මේ වෙද්දි ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මාව මඟතොටේදී දැක්කත්, සමාජ මාධ්‍යයේ මගේ රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන් තබන සටහන් දකිනකොටත් ඉතාම හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. පොදුවේ ගත්තම නිළියක් විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ආදරයට ඇත්තටම

මට සතුටුයි .

ඔබේ පවුලේ තොරතුරු ගැන කතා කළොත් ?

මම විවාහකයි. මට දියණියක් ඉන්නවා. මම රංගනයට එන්නත් කලින් තමයි විවාහ වුණේ. මගේ සැමියා ගොඩක් කැමැතියි මම මේ ක්ෂේත්‍රයේ ගමනක් යනවට. ඇත්තටම මගේ සැමියගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. සමහර වෙලාවට මට ෂූටින් නැති අවස්ථාවලදිත් එයා මට කතා කරලා අහනවා මේ දවස්වල මොකුත් වැඩවලට සම්බන්ධ වෙන්නේ නැද්ද? වගේ දේවල්. එ් කියන්නේ එයා හරිම කැමැතියි මම මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරනවට. මට එයා දෙන නිදහස ඒ සහයෝගය මගේ ගමන යන්න ලොකු ශක්තියක්. ඒ වගේම තමයි හැමදාමත් මගේ ජීවිතේ අංක එක මගේ පවුල දෙවනුව තමයි වෘත්තිය.

ඔබ තෝරා ගන්නා චරිතවල යම් සීමාවක් තියනවද?

අනිවාර්යයෙන්ම යම් සීමාවක් තියනවා. මම හැම චරිතයකටම පෙනී සිටින්නේ නැහැ. මට ගැළපෙන මට කරන්න පුළුවන් හොඳ චරිත වලට විතරයි මම පෙනී සිටින්නේ. මම විවාහ වුණ කෙනෙක්. ඒ වගේම මට දුවෙක් ඉන්නවා. ඉතිං මම ඒගැන හිතන්න ඕන. එ් නිසා මගේ සීමාවෙන් එහාට යන නිර්මාණ මම තෝරා ගන්නේ නැහැ.

අද ඔබ සිටින තැන ගැන ඔබට මොකද හිතෙන්නේ ?

ඇත්තටම සතුටුයි. මට අද ගොඩාක් හොඳ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මේ ගමන එන්න මට ගොඩක් අය උදව් කළා. මම මගේ සහෝදරයාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඔහු තමයි මුල් කාලේ ඉදලම මගේ ඡායාරූප ගන්න තැන ඉදලා, මගේ හැම වැඩකදීම බොහෝ උදව් කළේ.

එ වගේම විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි චිත්‍රපට අධ්‍යක්ෂ දිලූක ගුණතිලක සහ සංගීතය ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් යන මහත්වරුන්. එ් වගේම කැලුම් උඩුවාවල මහත්මයාටත් බොහොම ස්තූතිවන්ත වෙනවා. මම අද ඉන්න තැනට එන්න එ් අයගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන යමක් පැවසුවොත් ?

ඉදිරියේදි මම රංගනයෙන් දායකවන නීලම් සහ තවත් චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යකයට සම්බන්ධවෙලා වැඩ කටයුතු කරගෙන යනවා. මේ දවස්වල සංගීතේ ටෙලි නාට්‍ය හරහා ප්‍රේකෂකයන් හමුවට එනවා

 

Comments