ආදරේ විඳින්න කවුරුත් ආසයි මාත් එහෙමයි | සිළුමිණ

ආදරේ විඳින්න කවුරුත් ආසයි මාත් එහෙමයි

චූලා පද්මේන්ද්‍ර කියන්නේ කවුද කියලා කෙනෙකුගේ මතකයට එකවර නාවත් ඒ රූපය දුටු ගමන් ඒ වත බොහෝ දෙනෙක් හඳුනා ගන්නවා. ඇය ශ්‍රි ලංකාව නියෝජනය කර ජාත්‍යන්තරය දිනූ රුවක්.

චූලා කොහොමද ?

හොඳින් ඉන්නවා අවුරුදු නිසා පහුගිය දවස් ටිකේ නිදහසේ කාලය ගත කළා. අප්‍රේල් 4 වෙනිදා චූලා පද්මේන්ද්‍රා ඇකඩමිය මඟින් වාර්ෂික ග්‍රැජුවේශන් එක තිබ්බා, ඒකට ලංකාවේ ඉන්න හොඳම වේෂ නිරූපණය ශිල්පීන් මට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ඊට සම්බන්ධ වූ සිසුන් දැන් ටෙලිනාට්‍යවල හා වෙළෙඳ දැන්වීම්වල ඉන්නවා. ඒක හරි සතුටක්. ඒ සතුට භුක්ති විඳිනවා වගේම ඊළඟ කණ්ඩායම බඳවා ගන්න සූදානම් වෙනවා. ඒ වැඩ එක්ක තමයි කාලය ගත වෙන්නේ.

නැචුරල් බියුටි එකට වැඩි ඉඩක් හා කළු හමට වැඩි ඉඳක් දෙන කෙනෙක් ඔබ..?

මම විතරක් නෙමෙයි ජාත්‍යන්තර නීරූපණයේදී පවා නැචුරල් බියුටි එකටත් බ්ලැක් ස්කීන් ඒ කියන්නේ ටෑන් ස්කීන් එකට වැඩි ඉඩක් තියෙනවා. ලෝකේ සුපර් මොඩ්ල්ස්ලා බැලුවොත් වැඩිපුර ඉන්නේ ටෑන් ස්කීන් එකක් තියෙන අය. ඒ වගේම ළඟදි ළමයෙක් ඒ වගේ කතාබහට ලක් වුණා. මම එයාගේ ස්කින් එකට හරියන මේකප් කරලා දුන්නා. ඒ ළමයා කතාබහට ලක් වුණෙත් ඒකයි.

දැන් නිතරම කතාබහට ලක් වෙනවා නේද ..?

මම අවුරුදු තුනක් විතර වැඩ කළේ නැහැ. බබා ලැබුණට පස්සේ එයත් එක්ක වැඩිපුර කාලයක් ගත කළා සම්පූර්ණයෙන්ම වැඩ වලින් ඉවත් වෙලා. ලංකාවේ හිටියෙත් නැහැ. නමුත් දැන් මම එක දිගට වැඩ කරනවා. වැඩ කරන්න පටන් ගත්ත නිසා කතාබහට ලක් වෙනවා ඇති කියලා මම හිතනවා.

කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න දාගන්නේ චූලා ඉන්න බව මතක් කරලා දෙන්නද..?

එහෙම එකක් නම් නැහැ. එක්තරා පැජන්ට් එකකදි සාධාරණය වෙනුවෙන් මම කතා කළා. පැජන්ට් එකට සම්බන්ධ වුණු අයගෙන් දහදෙනෙක් අයින් වෙන්න හිටියේ. එතැනදි අපිව විශ්වාස කරලා අපි ඔවුන්ට සාධාරණයක් කරයි කියන දේ මත ඔවුන් අවසන් වෙනතුරු තරගයේ රැඳි සිටියා. ඇත්ත හා සාධාරණය ජාත්‍යන්තරය පවා දැක්කා. ඊට පස්සේ මෑන් ඔෆ් ද ග්ලෝබ් කියන ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේ ජජ් කරන්න පවා මට ආරාධනා ලැබුණා. මම ඒකට සම්බන්ධ වුණා ගිය අවුරුද්දේ. ඒ වගේම තවත් ආරාධනා ලැබිලා තියෙනවා . පසුගියදා ආරාධනා කළා ජාතික රූපවාහිනියෙන්. ඒ වගේ ආරාධනා ලැබෙන්නේ මම තරග හා තරගකරුවන්ට සාධාරණයක් කරන නිසයි. මාව මතක් කරලා දෙන්න හෝ වැඩ ගන්න ගොසිප් හදා ගන්න අවශ්‍යතාවයක් මට නැහැ.

ඔබත් ජාත්‍යන්තරය දිනූ නිරූපණය ශිල්පිණියක් , චූලා පද්මේන්ද්‍ර කියන නමට හානි වුණේ නැද්ද ..?

නැහැ. කොහෙත්ම නැහැ. බ්ලැක් මාක් එක ඇත්තත් එක්ක වෙනස් වුණා.

ඔබ විවාහ වෙලා විදෙස්ගත වුණා. එදා ඒ තීරණය නොගෙන ටික කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න තිබ්බ නම් කියලා දැන් හිතෙනවා ඇති නේද..?

ඒ තීරණය එදා මම ගත්ත හොඳම තීරණය හැටියට මම දැක්කේ. ඕනෑම කෙනෙක් පවුලක් හැටියට ගන්න තීරණයක් මාත් ගත්තා. එතකොට මගේ හස්බන්ඩ් වැඩ කළේ පිටරට. මාත් ඔහු සමඟ ගියා. හැමදාම මගේ ජීවිතේ අංක එක පවුල. මගේ ජීවිතේම දරුවා. ඉතින් එයාගේ සුන්දර ළමා කාලේ එයත් එක්ක මම වින්දා. එදා ගත්ත තීරණය ගැන මම පසුතැවෙන්නේ නැහැ. ඒක මම ගත්ත හොඳ බ්‍රේක් එකක් කියලා හිතනවා.

එහෙම නැත්තම් රටේ තියෙන දැන් වාතාවරණය එක්ක විදෙස්ගත වෙලාම ඉන්න තිබ්බා කියලා හිතෙනවද..?

එහෙම හිතුණ අවස්ථා තියෙනවා නැතුව නෙමෙයි. නමුත් මම අවුරුදු 18 ඉඳලා විදෙස් රටවල සංචාරය කළ කෙනෙක්. එයාර් ලංකා එකේ වැඩ කරන කාලේ වගේම නිරූපණ කටයුතුවලටත් මම විදෙස්ගත වෙලා ඒ සුන්දර අත්දැකීම් ලබාගෙන තියෙනවා. නමුත් මම ආස ලංකාවේ ජීවත් වෙන්න.

ඔබත් සිංගල් මාම් කෙනෙක්. අපේ රටේ දරුවා එක්ක තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද..?

සිංගල් මාම් කියන අය ඒ කාලෙත් හිටියා. ඒක අලුත් දෙයක් නොවන නිසා මට අමුතු හෝ අපහසු කටයුත්තක් නෙමෙයි. මොකද මම මගේ මල්ලිලා දෙන්නවත් රේස් කරපු කෙනෙක්. ඒ වගේම මම අවුරුදු 18 ඉඳලා වගකීමක් ගත්ත කෙනෙක්. ඒක මට අලුත් අත්දැකීමක් නෙමෙයි. මගේ පුතා ආකේන්. එයාගේ වයස අවුරුදු අටයි. එයා බයිසිකල් පදින්න ටෙනිස් ගහන්න ආසයි. ඔව්, මට මාව විශ්වාසයි

තනියම ජීවත් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීලා ඇති. එතකොට හිතිලා නැද්ද පවුල් ජීවිතේ අමාරුවෙන් හරි රැකගෙන ඉන්න තිබ්බා කියලා ..?

මගේ තාත්තා මට නිතරම කිව්වේ කවුරු හිටියත් නැතත් තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන කියලා. මම අඩු වයසින් විදෙස්ගත වෙලා තනියම ජීවත් වුණු කෙනෙක්. ඒ නිසා පවුල් ආරවුල් එක්ක ජීවත් වෙලා ඒ පීඩනය දරුවන්ට දීලා අපහසුවෙන් ජීවත් වෙනවට වඩා හොඳයි සාමකාමිව කතාබහ කරලා වෙන්වෙන එක. ඒක නැත්තම් බලපාන්නේ දරුවන්ට. තනියම ජීවත් වෙන්න මට පෞරුෂත්වයක් තියෙනවා.

ආයෙමත් පිළිවෙළක් වෙන්න , ආදරේ විඳින්න කැමැත්තක් නැද්ද ..?

ආදරේ විඳින්න කවුරුත් ආසයි. මාත් එහෙමයි. නමුත් මගේ තියෙන පෞරුෂත්වයත් එක්ක මට ගැළපෙන කෙනෙක් වෙන්න ඕන. මාව තේරුම් ගන්න කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව මාත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. අනිත් එක මගේ පුතා ගැන හිතන කෙනෙක් වෙන්න ඕන. මගේ පුතාට අහිතකර කිසිදෙයක් මම කරන්නේ නැහැ. හොඳ කෙනෙක් ලැබුණොත් සෙට්ල් වෙන්න බලනවා. නැත්තම් දරුවා හා රැකියාව එක්ක ජීවිතේ ගෙවෙයි.

Comments