පාස්කු ප්‍රහාරයේ සැලසුම වනාතවිල්ලුවේදී බව හෙළිවේ | Page 3 | සිළුමිණ

පාස්කු ප්‍රහාරයේ සැලසුම වනාතවිල්ලුවේදී බව හෙළිවේ

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසරකට පෙර අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනෙකු මෙරටට පැමිණ පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ දී පාස්කු ප්‍රහාරය සැලසුම් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම හා විදේශීය ත්‍රස්තයන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගෙන් නැවත සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දී මේ කරුණු අනාවරණය වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන මොහොමඩ් අබ්දුල්ලා හක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා කළ සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දී 2018 වසරේ දී පස්දෙනෙකුගෙන් යුතු අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමක් දිවයිනට පැමිණ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණය සිදු කර ප්‍රහාරය සම්බන්ධ සැලසුම් සකස් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකය පසුගිය 28 වෙනිදා මෝසමක් ගොනු කරමින් අබ්දුල්ලා විදේශ ත්‍රස්තයින් සමඟ සබඳතා පැවැත්වූ ජංගම දුරකථනය ඔහුගේ මිතුරෙකු වන දැනට පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකරුවෙකු වන මොහොමඩ් ෆවුසාන්ගේ බවට ‍තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම පල්ෙලකැලේ බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් ෆවුසාන් නැමැති සැකකරු මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ මෙන්ම පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත අවි ගබඩාව සම්බන්ධ නඩුවේ ද ප්‍රධාන සැකකරුවෙකුද වේ. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධිත ප්‍රධාන නඩුවේ මොහු ඇතුළුව සැකකරුවන් 24කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන අතර පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී.

සිරන්ජනී කුමාරි

Comments