හිස් අරුත් ඇති නමක් බලවත් කරන ක්‍රම | Page 2 | සිළුමිණ

හිස් අරුත් ඇති නමක් බලවත් කරන ක්‍රම

චිරන්තන සහ සාම්ප්‍රදායික අර්ථ විමසා  බැලිය යුතුයි

නාමකරණයේ දී, විශේෂයෙන් ම පුද්ගල නාමයක් තැබීමේ දී ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබ-අසුබ අකුරු, සුබ-අසුබ ගණ, ආදිය පිළිබඳව කරුණු ගණනාවක් මෙයට පෙර විමසා බලනු ලැබිණි. එමෙන්ම මෙහිලා විමසා බැලිය යුතු තවත් කරුණු ගණනාවක් ඇත. එයින් එක කරුණක් වන්නේ, නම් සඳහා යොදා ගන්නා වදනෙහි හෝ වදන්වල හෝ පවතින චිරන්තන හා සාම්ප්‍රදායික අර්ථයය.

මෙයට නිදසුනක් ලෙස අද බොහෝ විට පුද්ගල නාමයක් ලෙස යෙදෙන ගගන, ආකාශ් වැනි වදන් දැක්විය හැකි ය. පළමුව කිව යුතු කරුණ නම් මේ වදන් හෙළ වදන් නො ව සංස්කෘත, හින්දි වැනි භාෂාවලට අයත් වදන් බව යි. මේ වදන්වලින් අර්ථවත් වන්නේ අහස යි.

අහස යනු හිස්, ශූන්‍ය, කිසිවක් නැති තැනකි. එබඳු වූවක් පුද්ගල නාමයක් ලෙස ගැනීම එතරම් සුබ පල උදා කරතියි කිව නොහැකි ය. භූත සංඛ්‍යා දැක්වීමේ දී ද ආකාශය හෙවත් අහස යොදන්නේ බිංදුව (ශූන්‍යය) දැක්වීම සඳහා බව සැලකිය යුතු ය. මෙබඳු නමක් වුව ද, තවත් පදයක් එකතු කිරීමෙන් සුබ අරුත් ඇති නමක් බවට පත් කරගත හැකි ය. යට කී ආකාශ්, ගගන වැනි නම්වලට ජිත් යන කොටස එක් කොට ‘අහස ජය ගත්’ යන අරුත ඇති ගගනජිත්, ආකාශ්ජිත් වැනි නම් සාදාගත හැකි අයුරු එයට නිදසුනෙකි.

ඇතැම් විට අරුත නොදැන ශබ්දයෙහි මිහිර පමණක් සලකා නම් තැබීමේ දී ද අසුබ අරුත් ඇති වන බව දැකිය හැකි ය. ඉතා ප්‍රකට උදාහරණයක් නම් මෙකල බහුලව යෙදෙන ‘රෝෂිණී’ යන කාන්තා නාමය යි. සංස්කෘත භාෂාවට අයත් වදනක් වන එහි අරුත ‘රෝෂය හෙවත් තරහව,ක්‍රෝධය ඇති තැනැත්තිය’ යන්න යි. අරුත දැනගෙන නම් කිසිවකු එබඳු නමක් භාවිත කරති යි සිතිය හැකි නො වේ.

නමක් තැබීමේ දී එහි සම්ප්‍රදායානුකූල අර්ථය මෙන්ම එහි සමකාලීන අර්ථය ද කෙරෙහි සැලකිලිමත් වීම අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස ‘වසභ’ යන නාමය ගනිමු. එහි අරුත නම් වෘෂභ හෙවත් හරකා යන්න යි. අද සමාජයේ කිසිවකු තමාට හරකා යනුවෙන් ඇමතීම ගැන සතුටු වෙති යි සිතිය නොහැකි ය. එහෙත් පුරාතන ඉන්දියාවේ ගවයා ඉතා අගනා වස්තුවක් මෙන් සැලැකිණි. පූජනීය සතකු ලෙස ද සැලැකිණි. අද වුව ද හින්දු සංස්කෘතියේ ගවයාට මහත් සැලකිල්ලක් දක්වනු ලැබේ. එහෙයින් ඒ ආභාසය නිසා පැරණි ලක්දිව සමාජයේ ද වසභ වැනි නම් රජවරුනට පවා යෙදුණු බව පෙනේ.

මෙසේ විමසා බැලීමේ දී පෙනී යන්නේ පුද්ගල නාමයක් සකස් කිරීමේ දී ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබ-අසුබ අකුරු, ගණ ආදිය යෙදීම මෙන්ම නමට යොදාගන්නා වදනෙහි හෝ වදන්වල හෝ චිරන්තන අර්ථය ද සමකාලීන භාවිතාර්ථය ද, ඒ සමඟම සමාජීය පිළිගැනීම ද අනුව ශුභාශුභ භාවයත් අර්ථවත් භාවයත් අවධානයට ගත යුතු බව යි.

Comments