කේන්දරේ ගුරු ප්‍රබල නම් වැරැදි වැඩට සමාවක් නෑ | සිළුමිණ

කේන්දරේ ගුරු ප්‍රබල නම් වැරැදි වැඩට සමාවක් නෑ

- ගුරු ග්‍රහයා ප්‍රබලව තැන්පත්ව සිටින කේන්දර හිමියන්ට සුළු වැරදිවලටත් දඬුවම් ලැබීමේ අවදානමක්
- උප්පත්තියේදී ගුරු ප්‍රබල අයගේ හැසිරීම ධාර්මික විය යුතුයි
- ප්‍රභාකරන්ගේ උප්පත්ති කේන්ද්‍රයේද ගුරු 3 හි උච්චයි

පගේ අත්දැකීම්වලට අනුව කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ගුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටිද්දී, එම තැනැත්තා හෝ තැනැත්තිය නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කරන්නේනම් අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතියෙන් දඬුවම් ලැබෙනු ඇත. තවද අපගේ අත්දැකීම්වලට අනුව ගුරු ග්‍රහයා ප්‍රබලව තැන්පත්ව ඇති ජන්ම පත්‍ර හිමියන්ට සුළු වැරදිවලට පවා දැඩි දඬුවම් ලැබීමේ අවදානමක් ඇති අතර නොකළ වැරදිවලට පවා දඬුවම් ලැබීමේ අවදානමක් ද ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායිකාවක වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය කන්‍යා වන අතර ගුරු ග්‍රහයා ඉතා ප්‍රබලව ස්වක්ෂේත්‍රව 7 වන භාවය තුළ තැන්පත්ව ඇත. මෙරට රාජ්‍ය නායිකාව ලෙස වරෙක කීර්තියක් දිනා ගත් බණ්ඩාරනායක මැතිනියට වසර කිහිපයක් ප්‍රජා අයිතිය අහිමි වීමේ අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සිදු විය. ඇයගේ ප්‍රජා අයිතිය නැති කිරීම අසාධාරණ බව ඇතැමෙකු තර්ක කරන අතර එය දේශපාලන පළිගැනීමක් බව තවත් අයෙක් තර්ක කරති. එවකට පැවති රජයේ කීර්තිමත් අමාත්‍යවරයෙකු වූ ගාමිණී දිසානායකද ඇගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම අනුමත නොකිරීමෙන් පෙනී යන්නේ බණ්ඩාරනායක මැතිනියට සුළු වශයෙන් හෝ අසාධාරණයක් සිදු වී ඇති බවය. කේන්ද්‍ර සටහන් තව තවත් අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ බණ්ඩාරනායක මැතිනියට ඉහත කී සිදුවීමට මුහුණ දීමට ගුරු ග්‍රහයා ඇයගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ ප්‍රබල ලෙස පිහිටා තිබීම ද බලපා ඇති බවය.

මීට බොහෝ කලකට පෙර මහත් ආන්දෝලනයට ලක් වූ පෞද්ගලික පන්ති ගුරුවරයකු පිළිබඳව අපට මාධ්‍ය මඟින් අසන්නට ලැබුණි. එනම් ඔහු මහජනතාවගෙන් වංචා සහගත ලෙස මුදල් අය කරගෙන එම මුදල් ද සමඟින් රටින් පැන ගිය බවය. නමුත් පසුව ඔහු අත්අඩංගුවට පත්ව නීතියේ රැහැනට හසුවිය. ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස ස්වක්ෂේත්‍රව ඇත. ඔහුව නීතියේ රැහැනට හසු වීමට ඔහුගේ කේන්ද්‍ර සටහන තුළ ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස තැන්පත් වීමද බලපාන්නට ඇත. එනම් ගුරු ග්‍රහයා කිසියම් කේන්ද්‍ර සටහනක් තුළ ප්‍රබල ලෙස තැන්පත්ව ඇතිනම් එවැනි අයට වැරැදි කර එයින් පලා යාම අපහසුය.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකුව සිටි රෝහණ විජේවීරගේ කේන්ද්‍ර සටහන පිළිබඳව මීළඟට අවධානය යොමු කරමු. ඔහුගේ උප්පත්ති කේන්ද්‍ර සටහන අනුව ලග්නය වෘශ්චික වන අතර ගුරු ග්‍රහයා 9 වන භාවය තුළ උච්චව තැන්පත්ව ඇත. රෝහණ විජේවීර පසු කලෙක අත්අඩංගුවට පත්වීමට ඔහුගේ කේන්ද්‍ර සටහන තුළ ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස තැන්පත්ව සිටීම ද බලපාන්නට ඇත. 

මීළඟට එක් කාල සීමාවක ව්‍යාපාර ආයතන 100 කටත් වඩා ප්‍රමාණයක් අන්තර්ගත සමූහ ව්‍යාපාරයක සභාපති ධුරය ඉසිලූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු පිළිබඳව කතාබහ කරමු. ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උපන් දින සටහනට අනුව ගුරු ග්‍රහයා මකර රාශිය තුළද ශනි ග්‍රහයා මීන රාශිය තුළද තැන්පත්ව ඇති බැවින් ගුරු සහ ශනි අතර පරිවර්තන යෝගයක් ඇත. ඒ අනුව බැලූ බැල්මට උප්පත්ති කේන්ද්‍ර සටහනේ ගුරු ග්‍රහයා නීච ලෙස නිරීක්ෂණය වුවද පරිවර්තන යෝගයෙන් පසු ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් පරිවර්තන යෝග ක්‍රියාත්මක වන ජීවිතයේ දෙවන භාගය තුළ ඉහත කී ව්‍යාපාරිකයාට නීතිමය ගැටලු රැසකට මුහුණ දීමට සිදු විය. එනම් එම ගැටලු නිසා ඔහුගේ කීර්ති නාමයට පවා විශාල ලෙස බලපෑම් එල්ල විය.

ලෝකයේ භයානකම ත්‍රස්තවාදී නායකයෙකුව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය වෘෂභ වන අතර ගුරු ග්‍රහයා 3 වන භාවය තුළ උච්චව ඇත. දහස් ගණනක් අහිංසක මිනිසුන්ව ඝාතනය කරමින් කුරිරු ත්‍රස්තවාදයක යෙදී සිටි ප්‍රභාකරන් දිගින් දිගටම නීතියේ රැහැනට හසු නොවුණද අවසානයේදී නීතියේ රැහැනට හසු විය. ඒ සඳහා ඔහුගේ කේන්ද්‍ර සටහනේ ගුරු ග්‍රහයා උච්චව සිටීම ද බලපාන්නට ඇත.

ඇඩොල්ප්ට් හිට්ලර් යනු නම කියූ පමණින් මුළු ලොවම හඳුනන ඉතාම දරුණු පාලකයෙකි. හිට්ලර්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය තුලා වන අතර ගුරු ග්‍රහයා 3 වන භාවය තුළ ඉතා ප්‍රබල ලෙස ස්වක්ෂේත්‍රව ඇත. හිට්ලර්ට කල්ගත වී හෝ නීතියේ රැහැනට හසුවීමට සිදු වූයේ ඔහුගේ කේන්ද්‍ර සටහනේ ගුරු ග්‍රහයා ඉතා බලගතුව පිහිටීම නිසා විය හැකිය. එනම් අපගේ හැදෑරීම්වලට අනුව උප්පත්තියෙන් ගුරු ප්‍රබලව සිටියදී වැරදි කළහොත් එම වැරදිවලට මෙම ජීවිතයේදීම නීතිමය දඬුවම් ලැබෙනු ඇත. එනම් උප්පත්තියේ ගුරු ප්‍රබලව ඇත්නම්, එවැනි අය එසේ නොමැති අයට ද වඩා ධාර්මික ලෙස හැසිරිය යුතුය. එනම් ඔවුන් කරන සුළු වැරදි පවා ඉතා පහසුවෙන් හෙළි විය හැකි නිසා බෙහෙවින් ප්‍රවේශම් විය යුතුය.

ගුරු ග්‍රහයා මකර රාශිය තුළ නීචව තැන්පත්ව ඇති නමුත්, ශනි ග්‍රහයා සමඟ පරිවර්තන යෝගයක් නිර්මාණය කිරීම නිසා පරිවර්තන යෝගයට අනුව, ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව ඇතැයි සැලකිය හැකි මා හොඳින් දන්නා කේන්ද්‍ර හිමියෙකු පිළිබඳව මීළඟට කථාබහ කරමු.

විශාල වත්තක වතු පාලකයකු ලෙස කටයුතු කර ඇති ඔහුට නොකළ වැරැද්දක් වෙනුවෙන් සිරගත වීමට සිදු වූ බව ඔහු මා සමඟ පැවසුවේය.

හේතු විමසීමෙන් පසුව ඔහුව නිදොස් කොට නිදහස් කළ ද නොකළ වරදක් වෙනුවෙන් ටික දිනක් හෝ සිරබත් කෑමට ඔහුට සිදු වූයේ පරිවර්තන යෝගයට අනුව ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස ස්වක්ෂේත්‍රව තැන්පත්ව සිටීම නිසා යැයි අනුමාන කළ හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments