
2002 අවුරුද්දේ කොළඹ ආනන්දයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ව සිටි එෂාන් සේනිජ අබේසිංහ, හරියටම ඊට අවුරුදු 19කට පසු එනම්, 2021 අවුරුද්දේ දිනෙක මහපොළොව සුවපත් කරන කාර්යයකට අත ගැසුවේ ය.
ඒ ආනන්දයේ ම තවත් සගයකු වූ හිතමිතුරු අජිත් ධර්මසිරි ගේ යෝජනාවකට අනුව ය. රුපියල්. මිලියන, 20 ක ආයෝජනයකින් එසේ ආරම්භ කළ සේනිජ ෆර්ටිලයිසර්ස් පුද්ගලික සමාගම, අද වන විට අභිමානවත් දේශීය පොහොර නිෂ්පාදකයින්ගේ ලැයිස්තුවට එක්ව තිබේ.
රජය විසින් ක්‍රියාත්මක කාබනික පොහොර සහනාධාරය සඳහා, ගෙවී ගිය කන්න දෙක තුනකට ම පොහොර මෙට්‍රික් ටොන් තුන්දාහක් නිෂ්පාදනය කොට සපයා දී ඇති ඔවූහු, ගොවීන් අඛණ්ඩව බලාපොරොත්තු වන ආකාරයේ කාබනික පොහොරක් නිෂ්පාදනය කිරීමට තරම් සමත් ව තිබේ. එෂාන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදනය හරහා අද ඔහු අත්විඳිමින් සිටිනුයේ, ක්‍රිකට් ගැසුවාට නොදෙවැනි ආත්ම තෘප්තියකි.
අනෙක් අතට, කාබනික පොහොර නිෂ්පාදනය යනු, මේ මහපොළොව සුවපත් කරන කාර්යයට දායක වීමක් බවත්, ඉන් ලබන සතුටට මිලක් නැති බවත් ඔහු තේරුම් ගෙන තිබේ.
" අපි හදන්නේ කාබනික ඝන පොහොර පමණයි. අපේ කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ. කැප්පෙටිපොළ නිල්ඇල්ල ගමේ. අක්කරයක භූමි ප්‍රමාණයක පිහිටා තිබෙන අප කර්මාන්තශාලාවේ වැඩ කරන බහුතරය මේ නිල්ඇල්ල ග්‍රාමයේ අවට අය.
අපේ පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධානම ද්‍රව්‍ය වන්නේ අමු ගොම. ඊළඟට කසළ තේ හෙවත් Spent Leaf, කුකුළු පොහොර, ගිණිසීරියා, වල්සූරියකාන්ත, ගව මුත්‍රා සහ එප්පාවල රොක් පොස්පේට් ඇතුළු තවත් පෝෂණීය සංඝටක කිහිපයක් ඒ සඳහා යොදනවා.
අපේ කර්මාන්තශාලාව පිහිටා තිබෙන කැප්පෙටිපොළ ප්‍රදේශයේ කිරි ගවයින් බහුලයි. ඒ නිසා අපිට අඩුවක් නැතිව ගොම සහ ගව මුත්‍රා ඒ මහා පරිමාණ ගොවිපළ හරහා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, අනෙක් අමුද්‍රව්‍ය සියල්ල සපයන සැපයුම්කරුවන් ජාලයක් සිටිනවා.
අපි කුකුළු පොහොර ලබා ගන්නේ හෙට්ටිපොළින්. ගිණිසීරියා සහ වල්සූරියකාන්ත මේ නිල් ඇල්ල ගමේ වටපිටාවේ ඕනෑ තරම් තිබෙනවා. ඒවා කපා ගෙනැවිත් දෙන්නේ මේ ගමේ ජනතාවම යි. ගොම පමණයි අපට බදුල්ලෙන් ගන්නට සිදුව තිබෙන්නේ. අපට අමුද්‍රව්‍ය සපයන මේ බොහෝමයක් දෙනා අවුරුදු විසි ගණන්වල තරුණ ප්‍රජාව. ඔවුන් අපේ කර්මාන්තශාලාව හා මේ ආකාරයෙන් සම්බන්ධ වී ඔවුන්ගේ ආර්ථිකයත් ගොඩනඟා ගනිමින් සිටිනවා. ඒ වගේම, ස්ටිකර් ඇළවීම පොහොර බෑග් මැසීම වැනි කටයුතු සඳහා ගමේ කාන්තාවන් ඍජුවම සම්බන්ධ කරගෙන තිබෙනවා.
දැනට අපේ පූර්ණ අවධානය තිබෙන්නේ කාබනික ඝන පොහොර නිෂ්පාදනය සඳහා පමණයි. නමුත් මේ වසර අවසන් වන්නට පෙර කැට පොහොර හෙවත් පෙලට්ස් (pellets) නිෂ්පාදනය සඳහාත් අවශ්‍ය කටයුතු සැලසුම් කොට තිබෙනවා.
සාමාන්‍යයෙන් මී හරක් ගොමවලට වඩා එළහරක් ගොම, පොහොර සඳහා අවශ්‍ය පෝෂණයෙන් ඉහළ බව මතයක් තිබෙනවා. ඒ වගේම බොහෝ අය පොහොර නිෂ්පාදනය සඳහා භාවිත කරන්නේ වියළි ගොම. ඒවායේ වැලි අන්තර්ගතය වැඩියි. විශේෂයෙන් වියළි මී හරක් ගොමවල නම් උෂ්ණත්වයත් වැඩියි.
නමුත් අපේ පොහොරවල විශේෂත්වය තමයි, ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස අමු ගොම භාවිත කිරීම. මේවා ඍජුවම ෆාම්වලින් ගන්නා නිසා, වැලි එකතු වීමක් සිදු වන්නේ නැහැ. මොකද, අපි එම ගොම ලබා ගන්නා ගොවිපළේ සතුන් හැට ගණනක් සිටිනවා. උන් ගාල් කර ඇති තැන සිමෙන්ති පොළොවේ එකතු වන ගොම සහ ගව මුත්‍රා එකවර සෝදා යවන්නේ ටැංකියකට. එහෙම ටැංකිවල එකතු වන ගොම සහ ගව මුත්‍රායි, අප ඍජුවම ලබා ගන්නේ.
ඊළඟට ඒවා යම් ක්‍රියාවලියකට ලක් කරනවා. අවසාන අදියරේ දී යළිත් ගව මුත්‍රා එකතු කරනවා. ඒවායේ කිසිදු වැලි ගතියක් නැහැ.
අපි පොහොර නිෂ්පාදනයේ දී දවස් හතළිහේ ලේයර් විදියට බෙඩ්ස් හෙවත්, තට්ටු ගැසීමක් සිදු කරනවා.
ගොම ලේයරයකට පස්සේ යොදන්නේ ගිණිසීරියා, වල්සූරියකාන්ත සහ එප්පාවල රොක් පොස්පේට් මිශ්‍ර කළ තවත් ලේයරයක්. කසළ තේ තට්ටුව ඉන් පස්සේ. ඔය විදියට ලේයර හතරක් උඩට ගොඩ ගසා, අන්තිම process එකේදි ගව මුත්‍රා යළි එකතු කරනවා. ඊට අමතරව අපගේ නිෂ්පාදනවලට පමණක් ආවේණික සංඝටක කිහිපයක් එක් කරනවා. දින 40ක් එසේ තබා දිරාපත් වූවාට පසුවයි මිශ්‍ර කිරීම සිදු කරන්නේ. අවසාන නිෂ්පාදනයේ දී තෙතමනය තිබිය යුත්තේ 20%ක් පමණයි. එම නිසා ඒවා මිශ්‍ර කිරීම, නිසි ලෙස දිරාපත් වන්නට හැරීම සහ සංඝටක එකතු කිරීම ආදිය නියම ආකාරයෙන් ම කළ යුතුයි.
අපේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලොකුම ඉල්ලුම තිබෙන්නේ, නුවරඑළියේ. මොකද, නුවරඑළියේ ගොවි මහත්වරු කාබනික පොහොරවලට විශාල ලැදියාවක් දක්වනවා. ප්‍රතිඵල අත්විඳ ඇති නිසා අල වගාවේ මූලික පොහොර ලෙස දැන් බොහෝ ගොවීන් භාවිත කරන්නේ අපේ පොහොරයි. ඔවුන් දැන් සේනිජ පොහොරවලට හුරු වෙලා. එය ඇත්තටම සතුටක්.
රජයේ සහනාධාරයට පොහොර සකස් කිරීම හැරුණු කොට, සෘජුවම ගොවීන් අපෙන් පොහොර මිල දී ගන්නා නිසා මාසිකව පොහොර මෙට්ට්‍රික් ටොන් 500ක් පමණ අපට නිෂ්පාදනය කරන්නට සිදු වනවා. ඇත්තටම අපගේ දිනක නිෂ්පාදනය කිලෝ 60,000ක්. මොකද, රජයට සහ ගොවීන්ට ලබා දෙන සැපයුමට අමතරව ලක් පොහොර, හේලීස්, ඩිමෝ සහ Commercial පොහොර වැනි විශාල පොහොර සමාගම් හයකටත් අප කාබනික පොහොර නිෂ්පාදනය කරන නිසා.
කියන්න සතුටුයි, කන්න කිහිපයක් ම එක දිගට දැන් ගොවීන් කාබනික පොහොර මහපොළොවට යෙදූ නිසා ඔවුන්ගේ ගොවිබිම්වල හොඳ ක්ෂුද්‍ර ජීවී වර්ධනයක් සිදු වෙමින් පවතින බව ඔවුන් ම කියනවා. ඒ නිසා මේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන එක ජාතික වගකීමක් ලෙසයි මා දකින්නේ. එය මහපොළවට ගොවියාට විතරක් නෙවෙයි, ඒ මහ පොළොවේ වගා කරන දේ අනුභව කරන ජනතාවටත් යහපතක්. අවසානයේ එය නීරෝගි රටක් බිහි කරන්නට මග පෑදෙන කාරණයක්.
රජය දැනට නිර්දේශ කොට ක්‍රියාත්මක කරන 30%ක් කාබනික පොහොර සහ 70%ක් රසායනික පොහොර කියන නිර්දේශය ඉතා හොඳ තීරණයක්. මොකද, දීර්ඝ කාලීනව විනාශ වූ මහපොළොව එක පාර වෙනස් කරන්නට බැහැ. එය කරන්නට වෙන්නේ ක්‍රම ක්‍රමයෙන්. කන්න කිහිපයක් එක දිගට කාබනික පොහොර මහපොළොවට වැටෙනකොට පස සරු වන්නට පටන් ගෙන ඇති බව දැන් අත්දැකීමෙන් අපත් දන්නවා. එම තත්ත්වය පවත්වාගෙන යෑමයි වැදගත්. මොකද ගස්වලට කොළවලට දියර පොහොර ඉසිනවාට වඩා, මූල පද්ධතිය සහ පස පෝෂණය කරන කාබනික පොහොරවල බලපෑමයි ඉතා වැදගත්.
අපගේ අනාගත සැලසුම් අතර පෙලට් නිෂ්පාදනයට අමතරව, මාලදිවයිනට සහ සීෂෙල්ස්වලට කාබනික පොහොර අපනයනය කරන්නට කටයුතු සැලසුම් කර තිබෙනවා.
පොහොර නිෂ්පාදනයට අමතරව අප කෘෂිකර්මාන්තය හා බැඳුණු ව්‍යාපාර සහ තවත් ව්‍යාපාර කිහිපයක යෙදී සිටින නිසා අපට එම රටවල් සමඟ සබඳතා තිබෙනවා.
ඒ වගේම Irrigation System සම්බන්ධ ව්‍යාපාරවලත් අප නියැළී සිටිනවා. ලංකාවේ ප්‍රධාන ක්‍රිකට් පිට්ටනි ගණනාවක ම ජල බිඳිති ඉසින Irrigation Sprinklers පද්ධති සවිකර තිබෙන්නේ අපි යි..."
එෂාන්ට ඇත්තේ ව්‍යාපාරික පසුබිමකි. ඒ පිළිබඳව ද ඔහු මෙලෙස අදහස් පළ කළේ ය.
" මගේ තාත්තා කළේත් ව්‍යාපාර. කලෙක ලංකාවේ ජනප්‍රිය වෙළෙඳ සන්නාම බවට පත්ව තිබූ ප්‍රික්ලි හීට් පවුඩර් සහ Super Dent දත් බෙහෙත් ගෙන්වා බෙදා හළ ඩී.ඒ. අබේසිංහ සමාගම අයත්ව තිබුණේ මගේ සීයට. ඒ වගේම, පාකිස්තානය ඇතුළු රටවල් පහකට ඒ කාලේ මේ සමාගම හරහා තේ අපනයනය කළා. නමුත් 1970න් පස්සේ ව්‍යාපාර අඩපණ වුණා. තාත්තා ව්‍යාපාර අත්හැරියා. මම ක්‍රිකට් ගැහුවා.
2002 අවුරුද්දේ 19න් පහළ ආනන්දෙ Cricket Captain වගේම, 17න් පහළ නවසීලන්තයේ පැවති World Cup එකටත් මම සෙල්ලම් කළා. ඊට පස්සේ අවුරුදු හත අටක් ම එක දිගට Club Cricket ගැහුවා. කවදාවත් මම මාසේ පඩියට කියලා ජොබ් එකක් කළේ නැහැ. ඒ වෙනකොටත් මගේ අයියා එක්ක, ඖෂධ ගෙන්වා බෙදාහරින ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. අදටත් අපි ඒ ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාර කිහිපයක් ම කරනවා.
කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ යෝජනාව ගෙනා අජිත් ධර්මසිරි තමයි, අද මේ ව්‍යාපාරයේ Production Manager ලෙස කටයුතු කරන්නේ. ඔහු කාබනික පොහොර කර්මාන්තයේ හසල දැනුමක් ඇති කෙනෙක්. ඒ වගේම ව්‍යාපාර කළමනාකරු ලෙස සේවය කරන කේ. ඩී. චානක උදයංග ත් ඇතුළු අප හැමෝගෙම එකම අරමුණ, මේ මහපොළොව සුවපත් කරන ජාතික වගකීමට මුළු හදවතින් ම වැඩ කරන එකයි..."