
කලකට පසු ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ගැන පසුගිය දිනවල නැවතත් කතාබහක් ඇතිව තිබුණා. හැබැයි ඒ ඔහු කළ කී දෙයක් නිසාම නොවෙයි. ඔහුගේ වැඩිමල් පුත් අර්ජුන් සම්බන්ධ කාරණයක් නිසා යි. පසුගිය 16 වැනි දා අර්ජුන් තෙන්දුල්කාර් පළමු වරට ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට ක්‍රීඩා කළ අතර එම සිද්ධියත් සමඟ මේ පිය පුතු දෙපළ ගැන මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමුව තිබෙනු දැකිය හැකි වුණා. දැන් ඔවුන් දෙදෙනා අයි. පී. එල්. ඉතිහාසය තුළ වාර්තාවකුත් පිහිටුවා තිබෙනවා. ඒ මෙම තරගාවලියේ ක්‍රීඩා කළ පළමු පිය - පුතු දෙපළ ලෙස යි.
මේ වනවිට 23 වැනි වියෙහි පසුවන අර්ජුන් ක්‍රීඩා කරන්නෙත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙනුයි. කලකට පෙර සචින් නියෝජනය කළේ ද එම කණ්ඩායමම යි. 49 වැනි වියෙහි පසුවන සචින් මේ වනවිට මෙම කණ්ඩායමේ උපදේශකයකු ලෙස කටයුතු කරනවා. ඔහු මුම්බායි ඉන්ඩියන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේ 2008 සහ 2013 අතර කාලයේ යි. එම කාලය තුළ සචින් තරග 78 කට සහභාගි වූ අතර එහි දී ලකුණු 2,334 ක් රැස් කර තිබෙනවා.
අර්ජුන් සහභාගි වූ තරගය පැවැත්වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟයි. කොල්කටා නයිට් රයිඩර්ස් යනු සුපිරි නළු ෂාරුක් ඛාන් ද හිමිකාරිත්වයක් දරන කණ්ඩායමයි. ජුහි චව්ලාත් එම කණ්ඩායමේ අයිතිකාරියක්. මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයෙහි පැවැති ඉහත තරගයෙන් මුම්බායි ඉන්ඩියන්ස් පිලට කඩුළු පහක ජයක් හිමි වුණා.
අර්ජුන් ක්‍රීඩා කරන්නේ ප්‍රධාන වශයෙන්ම පන්දු යවන්නකු හැටියට යි. වමතින් මඳ වේග පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරන ඔහු තම පළමු තරගයේ දී ආරම්භක පන්දු යවන්නා හැටියටත් කටයුතු කර තිබුණා. නමුත් අර්ජුන්ට එහි දී එතරම් විශේෂ දස්කමක් දක්වන්නට ලැබී තිබුණේ නැහැ. ඔහුට යවන්නට ලැබී තිබුණේ පන්දු ඕවර දෙකක් පමණයි. එම ඕවර දෙකට ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 17 ක් රැස් කර තිබුණා. එම තරගයේ දී අර්ජුන්ට පිත්තෙන් පහර දීමට අවස්ථාවක් ලැබුණේත් නැහැ.
කෙසේ හෝ වේවා, තම පුතුට අයි. පී. එල් තරගාවලියේ අවස්ථාවක් ලැබීම ගැන සචින් මහත් සතුටට පත්ව සිටිනු දැකිය හැකි වුණා. ඔහු ඒ ගැන සඳහන් කරමින් ඔහුගේ ටුවිටර් පිටුවේ සටහනක් ද පළ කර තිබුණා. එහි සඳහන් වූයේ මෙලෙසයි:
“අර්ජුන්, ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔබ යන ගමනේ අද ඔබ තවත් වැදගත් ඉදිරි පියවරක් තැබුවා. ඔබේ පියා හැටියටත්, ඔබට සහ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩිව ආදරය කරන කෙනෙකු හැටියටත් මා දන්නවා ඔබ මෙම ක්‍රීඩාවට නිසි ගෞරවයෙන් යුතුව සැලකීමට කටයුතු කරනු ඇති බව. එවිට ක්‍රීඩාවත් ඔබට පෙරළා ආදරය දක්වනු ඇති. මේ තැනට ළඟා වීම සඳහා ඔබ විශාල කැපවීමකින් කටයුතු කළා. ඉදිරියටත් ඔබ එසේ කරනු ඇති බව මට විශ්වාසයි. මෙය සුන්දර ගමනක ආරම්භයක්. මා ඔබට සුබ පතනවා“.
තරගය අවසන් වීමෙන් පසු අර්ජුන් ද මාධ්‍ය සමඟ අදහස් දක්වා තිබුණා.
“මෙය ඉතා අපූරු අවස්ථාවක්. 2008 වසරේ සිටම මා ඇලුම් කළ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම විශේෂ අත්දැකීමක්“ අර්ජුන් සඳහන් කළා. මෙහි දී සචින් ද අපූරු කාරණා ටිකක් සඳහන් කර තිබුණා. තම පුතු තරගයක ක්‍රීඩා කරනු නැරඹූ පළමු අවස්ථාව මෙය බවයි ඔහු පවසා තිබුණේ. “මේක මට අලුත් අත්දැකීමක් වුණා. මන්ද යත්, මෙයට පෙර කවදාවත් මා ඔහු ක්‍රීඩා කරනු නැරඹීමට ගොස් නැති නිසා. මා එසේ නොගියේ ඔහු නිදහසේ, ඔහුට රිසි ආකාරයෙන් ක්‍රීඩා කරනවාට මා කැමැති වූ නිසයි“. තමා සිටින විට අර්ජුන්ට යම් අනවශ්‍ය පීඩනයක් දැනෙනු ඇතැයි සචින් කල්පනා කළ බව පෙනෙනවා.
“අදත් මම සිටියේ ක්‍රීඩකයන්ට වෙන් කර ඇති කාමරයට වෙලයි“ සචින් තවදුරටත් පවසා තිබුණා. “ඔහු පිටියේ ඇති ලොකු තිරය දෙස බලන විට මා බලාගෙන සිටින බව දකිනවාට මා කැමැති වුණේ නැහැ. ඇතුළට වෙලා හිටියේ ඒ නිසයි“.
මෙය තමාට විශේෂ අවස්ථාවක් වීම ගැන සචින් තවදුරටත් පැහැදිලි කර තිබුණා. “මම පළමු වරට මේ තරගාවලියට ක්‍රීඩා කළේ 2008 අවුරුද්දේයි. එයින් වසර 16 කට පස්සෙ ඔහුත් එම කණ්ඩායමටම ක්‍රීඩා කරනවා. නරක නැහැ“ සචින් සිනාමුසුව සඳහන් කර තිබුණා.
අර්ජුන්ගේ තරගය නැරඹීම සඳහා ඔහුගේ සොහොයුරිය වන සාරා මෙන්ම මව අංජලී ද පැමිණ සිටියා.
අර්ජුන් 2022 වසරේ ද මුම්බායි ඉන්ඩියන්ස් සංචිතයට අතුළත්ව සිටියා. නමුත් එම වසරේ ඔහුට එක තරගයකටවත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු ඉන්දියාවේ 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් සහභාගි වූ පළමු තරගය ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයක්. එම තරගය පැවැත්වුණේ 2018 වසරේ ය.