
ගීතයක් ලස්සන වෙන්න රස වෙන්න සංගීත ස්වප්ත ස්වර වෛවර්ණ තාල වගේම අකුරු එකට ඇමුණු අරුත් බර පද වැලත් වැදගත්. කෙනෙකුගේ හිතට ඒ පද ටිකත් ඔසුවක්. ඒ විදිහට එක එක රහට සිංදු ලියන ඔහු ඩිලාන් ගමගේ. බොහෝ ගීත රසට ලියු ඔහු අතින් ඔබ කොතැනද ගීතය මේ දිනවල බොහෝ දෙනෙකු රස විදින ගීතයක්. මේ ඔහු සමඟ කතාබහයි.
ඩිලාන් කියන්නේ පද රචකයෙක්. ඔබ ලියු පද පෙළක් මේ දිනවල උරේෂා ගයනවා. මුලින්ම ඒ ගැන කියමු..?
පහුගිය කාලය පුරාවට මට ලියන්න ආව බොහෝමයක් ගීතයන්වල තනු බොහෝම ඒකාකාරියි. ඒ නිසාම නිර්මාණවලින් ඈත් වෙලා හිටියා. පොඩි වෙනසක් හොයමින් ඉන්න වෙලාවක තමයි මේ තනුව මට උදාර සමරවීරගෙන් ලැබෙන්නේ.
ඒ තනුව අහද්දිම “ඔබ කොතැනද මා මෙතනයි - මා කොතැනද ඔබ එතනයි“ කියන කොටස ලියවෙනවා. ඒ තනුවේ තියෙන රහ නිසාම විනාඩි 15ක් තුළ එම ගීතය මගේ අතින් ලියවෙලා අවසන් වෙනවා. ඒ විදිහට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. එහෙම හැදුනු සැකිල්ලට තමයි උරේෂා අක්කාගේ ළයාන්විත හඬ මුසු වෙලා චාරුක දුෂ්‍යන්ත්ගේ රූප රචනයක් සමඟ “ඔබ කොතැනද“ ගීතයක් විදිහට කරළියට එන්නේ.
ඇයි ඒ වගේ ගීතයක් ලියන්න හිතුවේ, පදනම මොකක්ද..?
අපේ සමාජයේ බහුතරයක් කාන්තාවන් නමට විතරක් සීමාවුණු විවාහයන් එක්ක පවුල් සංස්කෘතිය රැකගෙන ජීවත් වෙන්නේ චන්ද්‍රයා වගේ වෙනස් වෙන පිරිමි එක්ක. පවුල රැකගත යුතු නිසා සියල්ල දරන් ඉන්න ගෑනු හිත් මම අනන්ත දැක තියෙනවා. ඉතින් මට හිතුණා මෙම ගීතයෙන් ඒ පැතිකඩ ගැන කාතා කරන්න.
බොහෝ කවියන්, පද රචකයින් අත් දැකීම් එකතු කර ගන්නවා ලියන්න. ඩිලාන් පද අමුණන්නේ අත්දැකීමෙන්ද..?
ඔව්, මම ලියපු බොහොමයක් ගීත මගේ අත්දැකීම් ඇසුරෙන් ලියපුවා. හැබැයි ඒ වගේම සමාජයේ දකින අහන බොහෝ දේවල් මගේ අත්දැකීම් විදිහට මවාගෙන, ඒක විදගෙන ලියන්න මං පුරුදු වුණා කිව්වොත් හරි
කොහොමද ඔච්චර රසට ලියන්න පෙළඹෙන්නේ..?
මම ලියන්න ආස කෙනෙක්. ඒ නිසාම තමයි ලියන්න පුරුදු වෙන්නේ. මගේ රස්සාවට මම ආදරෙයි. ඒ වගේම මම හැම පංතියකටම රස විඳින්න පුළුවන් විදිහට ලියනවා. තේරෙන සරල භාෂාවෙන්.
ගම හේතුවක් වුණාද..?
නැහැ. පුංචි කාලේ ඉඳලා මම ජීවත් වෙන්නේ ගමෙන් පිට. මේ සමාජයේ විවිධ මිනිස්සුන්ගේ ආශ්‍රය මට ලැබෙනවා. ඒ ඇසුර තමයි අත්දැකීම් කරගෙන ලියන්න හේතුවක් වුණේ
ඉස්සර ඔබට දැන් වගේ බී. එම්. ඩබ්ලිව් තිබ්බේ නැහැ. ඔබේ ගීයක් මුලින්ම ගයන්නේ නිරෝෂා විරාජිනි. එය මුලින්ම ඔබට ඇසෙන්නේ ඔබ ගොඩ වූ බස් රථයෙන්. මොකද දැන් හිතෙන්නේ ..?
මම වැඩට බස් එකේ යද්දී ලොතරැයි කූඩුවක නිරෝෂා විරාජිනි ගායනා කරන දුන්නු වේදනා ගීතය එක්තරා රේඩියෝ නාළිකාවක යනවා. ඒක ඇහිලා මම බස් එකෙන් බැහැලා සිංදුව ඇහුවා. බස් එක ගියා. එදා මම වැඩට යන්නේ පයින්. බස් එකේ යන්න සල්ලි නොතිබ්බ නිසා. අද මගේ ගීත පැයකට තුන හතරක් යනවා. ඉතිං ආර්ථික අපහසුතා එක්ක ආපු ගමන ගැන අද සතුටුයි.
ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ පද රචනය රැකියාව කරගෙන ද..?
ඔව්. මගේ හැකියාව මම රැකියාව කර ගත්තා. වැඩිම මුදලක් පද රචනයකට ගන්න අය අතරින් මාත් ඉන්නවා කිව්වොත් හරි
ඔබේ වචන හරි ගණන්ලු නේද ..?
නොමිලේ සිංදු ලියලා දුන්නු අවස්ථා වගේම ලක්ෂ ගණන් ගත් අවස්ථා තියෙනවා. සංගීතය කියන්නේ කර්මාන්තයක්. අනිත් අය වගේම අපෙත් වටිනාකමක් දෙන්න ඕන .
ඔබත් කලක් නවකයෙක්, දැන් නවකයින්ට උදව් කරන්න පැකිළෙනවද..?
මම දැන් නවකයින්ට උදව් කරන එක සීමා කරලා තියෙන්නේ. ඒකට හේතුව අපි අලුත් අයව තරු කළාට පස්සේ එයාලට අපිව අමතකයි. ගොඩක් අයට සැටලිම ඕන වෙන්නේ කොන්ක්‍රීට් එක හයිවෙනකල් විතරයි. ඊට පස්සේ මුල අමතකයි. මම ඔවුන්ව තරු කරලා පොළොවේ ඉදලා බලාගෙන ඉන්නවා.
දැන් නිවුන් දරුවන් දෙදෙනකුට තාත්තා කෙනෙක්, පුද්ගලික ජීවීතේ ගැනත් කියමු..?
ඔව්. පෙරුම් පුරාගෙන සතියකට කලින් පුතාලා දෙන්නෙක් නිසා මම පිය පදවිය ලැබුවා. බිරිඳ එක්ක සතුටින් ජීවත් වෙනවා. පුතාලා දෙන්නව ක්‍රිකට් ක්‍රීඩකයින් කරන්න තමයි ආසාවෙන් ඉන්නේ. බලමු ජීවිතේ කොහොම ගෙවෙයිද කියලා