රජ පුටුව හිමි කරන විපරීත රාජ යෝග | සිළුමිණ

රජ පුටුව හිමි කරන විපරීත රාජ යෝග

 ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, පාරින්ද්‍ර සුගතදාස

බොහෝ දෙනෙකු තම කේන්ද්‍ර සටහනේ 6, 8, 12 වැනි අසුබ ස්ථානවල ග්‍රහයන් තැන්පත්ව ඇති විට අසතුටට පත් වන බව පෙනේ. නමුත් සිංහාසන යෝගය, විපරීත රාජ යෝගය වැනි සැඟවුණු රාජ යෝග නිර්මාණය වන්නේ එම අසුබ ස්ථාන තුළින් බව අප අමතක නොකළ යුතුය. අද දිනයේදී බලාපොරොත්තු වන්නේ "හර්ෂා", "සරලා", "විමලා" යනුවෙන් හඳුන්වන විපරීත රාජ යෝගවල බලගතු බව පෙන්වා දීමටය.

විපරීත රාජ යෝගයක් යනු කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක 6, 8, 12 යන භාවවල අධිපතියන් එම භාවවලම තැන්පත් වීම තුළින් හට ගන්නා රාජ යෝගයි. ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසු පහළ වූ රාජ්‍ය නායකයන් සෑම අයෙකුටම පාහේ මෙම විපරීත රාජ යෝගවලින් එකක් හෝ තිබී ඇති බව ඔවුන්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.

උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ නිදහසින් පසු වැඩිම පාලනයක් අඛණ්ඩව රාජ්‍ය නායකත්වය දරන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගයි. ඔවුන් වසර එකොළහ බැගින් අඛණ්ඩව මෙරට රාජ්‍ය නායකත්වය දරා ඇත. ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'කන්‍යා' වන අතර 6 වැන්න අධිපති ශනි 6 වැන්නේද, 8 වැන්න අධිපති කුජ 12 වැන්නේද තැන්පත්ව ඇත. තවද ඔහුගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ 12 වැන්න අධිපති රවි සහ ලග්නාධිපති බුධ අතර පරිවර්තන යෝගයෙන් පසු 12 වැන්න අධිපති රවි ද 12 වැන්නේම පවතින ලෙස සැලකිය හැකිය. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධනට සියලුම ආකාරයේ විපරීත රාජ යෝග පැවති ලෙස සැලකිය හැකිය. ඒ අනුව ඔහුට රාජ්‍ය නායකත්වයට පත් වීමට සහ දිගු කලක් රාජ්‍ය නායකත්වය දැරීමට එම විපරීත රාජ යෝග බෙහෙවින් ඉවහල් වන්නට ඇත. චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රසිද්ධියට පත්ව ඇති "කටක" ලග්නය දරන කේන්ද්‍ර සටහනේ 8 වැන්න අධිපති ශනි ග්‍රහයාද, 12 වැන්න අධිපති බුධ ග්‍රහයාද 12 වැන්න භාවය තුළ තැන්පත් වෙමින් විපරීත රාජ යෝග නිර්මාණය වී ඇත. හදිසියේ සිදු වූ ඝාතන කිහිපයක් මඟින් චන්ද්‍රිකා කුමාරතුංගට රාජ්‍ය නායකත්වයට පත් වීමට පසුබිම සකස් වීමටත්, දීර්ඝ කාලයක් තිස්සේ ඇයට රාජ්‍ය නායකත්වයේ රැඳී සිටීමත් ඇයගේ කේන්ද්‍ර සටහන තුළ ඇති ප්‍රබල විපරීත රාජ යෝග බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

මෙරට කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයට පත් වු සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය කන්‍යා වන අතර 12 වැන්න අධිපති රවි ග්‍රහයා 8 වැන්නෙහි තැන්පත් වෙමින් විපරීත රාජ යෝගයක් නිර්මාණය වී ඇත. ඒ අනුව, තම ස්වාමිපුරුෂයා හදිසියේ ඝාතනය වීමත් සමඟ හදිසියේ මෙරට රාජ්‍ය නායකත්වයට පත් වීමටත්, නැවත වතාවක් මෙරට රාජ්‍ය නායකත්වයට පත් වීමටත් ඇයගේ කේන්ද්‍ර සටහන තුළ තිබු විපරීත රාජ යෝගය ප්‍රයෝජනවත් වන්නට ඇත. මෙරට හිටපු රාජ්‍ය නායකයෙකු වු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය "කුම්භ' වන අතර 6 වැන්න අධිපති චන්ද්‍ර ග්‍රහයා සහ 10 වැන්න අධිපති කුජ ග්‍රහයා අතර පරිවර්තන යෝගයක් ඇත. ඒ අනුව ඔහුගේ උප්පත්ති කේන්ද්‍ර සටහනේ බැලු බැල්මට විපරීත රාජ යෝගයක් නොමැති වුවද පරිවර්තන යෝගයෙන් පසු 8 වැන්න අධිපතියා 8 වැන්නෙහිම සිටින ලෙස සැලකිය හැකිය. ඒ අනුව එය විපරීත රාජ යෝගයක් වෙයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට මෙරට රාජ්‍ය නායකත්වයට පත් වීමට එම විපරීත රාජ යෝගය බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය 'කන්‍යා' වන අතර 8 වැන්න අධිපති කුජ සහ 11 වැන්න අධිපති චන්ද්‍ර යන ග්‍රහයන් අතර පරිවර්තන යෝගයක් ඇත.

ඒ අනුව ඔහුගේ උප්පත්ති කේන්ද්‍ර සටහනෙහිද බැලු බැල්මට විපරීත රාජ යෝගයක් නැතද පරිවර්තන යෝගයෙන් පසු 8 වැන්න අධිපති 8 වැන්නෙහිම තිබෙන ලෙස සැලකිය හැකි නිසා විපරීත රාජ යෝගයක් ඇති ලෙස සැලකිය හැකිය.

මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායකත්වයට පත් වීමට සහ අඛණ්ඩව දස වසරක් බලයෙහි රැඳී සිටීමට එම විපරීත රාජ යෝගයද ප්‍රයෝජනවත් වන්නට ඇත. තවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය වෘශ්චික වන අතර 7 වැන්න අධිපති සිකුරු සහ 8 වැන්න අධිපති බුධ අතර පරිවර්තන යෝගයක් ඇත.

ඒ අනුව ඔහුගේ උප්පත්ති කේන්ද්‍ර සටහනෙහිද බැලු බැල්මට විපරීත රාජ යෝගයක් නැති වුවද පරිවර්තන යෝගයෙන් පසු 8 වැන්න අධිපතියා 8 වැන්නෙහිම සිටීම විපරීත රාජ යෝගයක් ලෙස සැලකිය හැකිය.

මීට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්ද්‍ර සටහනට අනුව 6 වැන්න අධිපති ගුරු ග්‍රහයා 6 වැන්නෙහිම තැන්පත් වීම තුළින්ද හිටපු රාජ්‍ය නායකයෙකු වන ඩඩ්ලි සේනානායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති ලග්නය දරන කේන්ද්‍ර සටහනට අනුව 6 වැන්න අධිපතියා 8 වැන්නෙහි තැන්පත් වීම තුළින්ද හිටපු රාජ්‍ය නායකයෙකු වු රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රසිද්ධියට පත්ව ඇති මේෂ ලග්නය දරා උප්පත්ති කේන්ද්‍ර සටහනට අනුව 12 වැන්න අධිපති ගුරු ග්‍රහයා 8 වැන්නෙහි තැන්පත් වීම තුළින්ද හිටපු රාජ්‍ය නායකයෙකු වු ඩී.එස්. සේනානායකගේ ප්‍රසිද්ධියට පත්ව ඇති මිථුන ලග්නය දරන කේන්ද්‍ර සටහනට අනුව 6 වැනිද අධිපතියා 6 වැන්නෙහි තැන්පත් වීම තුළින්ද විපරීත රාජ යෝග නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලැබීමට මෙම විපරීත රාජ යෝග කෙතරම් තීරණාත්මක සාධකයක්ද යන්න ඉහත උදාහරණවලින් මොනවට පැහැදිලි වෙයි.

Comments