
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
හිඹුටානේ පියතිලක ද අල්විස්
සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් පරිදි අල්ලක පොදු වශයෙන් පිහිටන ප්‍රධාන රේඛා හයක් පිළිබඳව පසුගිය ලිපිවලින් විස්තර කළා ඔබට මතක ඇතැයි සිතමි. එම රේඛාවන්ට අමතරව විශේෂ වැදගත්කමක් ඇති තවත් රේඛා කිහිපයක් පිළිබඳව 'සාමුද්‍රික ශාස්ත්‍රයේ' සඳහන් වෙයි. ඒ අතරින් 'කුජ රේඛාවට' වැදගත් තැනක් හිමි වෙයි.
දබරැඟිල්ලටත්, මහපටැඟිල්ලටත් අතර පහළ කුජ මණ්ඩලයෙන් ආරම්භ වී ජීවන රේඛාවට සමාන්තරව ජීවන රේඛාව හා නොගැටී මැණික් කටුව දෙසට විහිදී යන රේඛාව කුජ රේඛාවයි. ජීවන රේඛාවට ප්‍රබල ශක්තියක් ලබා දෙන කුජ රේඛාවෙන් කෙනෙකුගේ නිර්භීත බව, ධෛර්යය, සටන්කාමී බව, කෝප සහගත බව ආදී ගුණාංග ප්‍රකට වෙයි. එම රේඛාව හැම අයකුගේම අත්වල දැකිය නොහැකි නමුත් කුජ රේඛාවක් ඇති අයගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත්ය. ඔවුනට ජීවිතයේ දුක් කරදර බාධා මැඬගෙන ඉදිරියට යෑමේ ප්‍රබල ආත්ම ශක්තියක් ද ඇත. ජීවන රේඛාවේ යම්කිසි දුර්වලකමක් ඒ කියන්නේ ජීවන රේඛාව දුර්වල වූ අවස්ථාවකදී කුජ රේඛාව බලවත් වී පිහිටා තිබේ නම් ජීවන රේඛාවෙන් සිදු වීමට තිබූ යම්කිසි අනතුරු තත්ත්වයක් වළක්වා ගැනීමේ ශක්තියක් කුජ රේඛාවට ඇත.
ජීවන රේඛාවේ අඩුපාඩුකම් මඟ හරවා එයට වැඩි ජීව ශක්තියක් ලබා දීම මෙම රේඛාවෙන් කෙරෙන ලොකුම කාර්යයයි. කුජ රේඛාව, ජීවන රේඛාවට ඉතා සමීපයෙන් වැටී තිබේ නම් මෑණියන් කෙරෙහිත් ඊට ටිකක් ඈත්වී තිබේ නම් පියාණන් කෙරෙහිත්, තවත් දුරස්ථව පිහිටා තිබේනම් සහෝදර, සහෝදරියන් කෙරෙහිත් මෙම රේඛාව බලපෑම් කරයි. දෙමාපියන්ගෙන්, සහකරුගෙන් හෝ සහකාරියගෙන් තමන්ට බොහෝ උදවු උපකාර බලාපොරොත්තුවෙන් ඉන්නා අයගේ අත්වල මෙම කුජ රේඛාව පිහිටන බව හස්ත රේඛා නිරීක්ෂණවලින් ඔප්පු වී ඇත.
කුජ රේඛාවක් සටහන් වී ඇති අය ඉතාමත් විශ්වාසවන්තය. ඔවුන් ගන්නා තීරණ වෙනස් නොවේ. ඔවුන් යම්කිසි අරමුණක් කෙරෙහි සිත යොමු වුවහොත් එය කෙසේ හෝ මුදුන්පත් කර ගැනීමට වෙහෙසෙති. බලවත් ලෙස රේඛාව පිහිටි අත් හිමියන්ගේ අත්වල මනාව පිහිටි කුජ රේඛාවෙන් ලැබෙන ජීව ශක්තිය අසීමිතය. කිසියම් කාන්තාවකගේ අතක එවැනි සුබ පිහිටීමක් තිබේනම් ඇය පතිවත රකින සැබෑ කුල කාන්තාවක් විය යුතුය.
අල්ලේ අනෙකුත් රේඛාවල කැඩීම්, බිඳීම් ආදිය වේ නම් එයින් ඇතිවන අසුබ පල, අනේක විධ බාධක මඟ හරවා ජීවිතය ආරක්ෂා කර දීමටත් මෙම රේඛාව මඟින් දෙනු ලබන රුකුළ අතිමහත්ය. අස්වාභාවිකව පිහිටා ඇති කුජ රේඛාව අසුබ තත්ත්වයන් පෙන්නුම් කරයි. එවැනි අයට අන් අයගෙන් කොපමණ ආධාර උපකාර ලැබුණත් එයින් නිසි ප්‍රයෝජනයක් ලබාගත නොහැක. අන්‍යයන්ගේ බලපෑම් නිසා සිදුවන ජීවන රටාවේ නොයෙකුත් හැලහැප්පීම් ඒ මඟින් අනාවරණය කරගත හැකිය.
ජීවන රේඛාවත්, කුජ රේඛාවත් අතර නොපැහැදිලි රේඛාවක් තිබීම ද අශුභය. විවාහ ජීවිතයේ කඩා වැටීමක් එයට හේතු වේ. කුජ රේඛාවෙන් විහිදෙන ආරෝහණ රේඛාවක් (ඉහළට යන) ජීවන රේඛාවට සම්බන්ධ වීම සුබ පිහිටීමකි. (1) තීක්ෂණ බුද්ධියක් ඇති බව එයින් පැහැදිලි වෙයි. සමහර අයගේ මෙම රේඛාව දබැරැඟිල්ලටත්, මහපට ඟිල්ලටත් අතරින් පටන්ගෙන ටික දුරක් විහිද ගොස් ජීවන රේඛාව කැපී යන ලෙසට ද පිහිටා ඇත. එවිට පිරිමියකු නම් ස්ත්‍රීන් නිසාත් ගැහැනියක නම් පිරිමින් නිසාත් බලවත් චිත්ත පීඩාවලට ලක්විය හැක. එමෙන්ම කුජ රේඛාවෙන් විහිදී යන ආරෝහණ රේඛාවක් ගුරු මණ්ඩලයට විහිද යෑම (2) උසස් විවාහයක් සිදු වීමට හේතුවක් වනු ඇත. කුජ රේඛාවෙන් විහිදුන රේඛාවක් චන්ද්‍ර මණ්ඩලයෙන් කෙළවර වූයේ නම් (3) හේ අශෝභන ක්‍රියාවන්හි යෙදෙන අයකු වන අතර, ඔහු සමාජයේ අගෞරවයට ලක්වෙන අයෙකු ද වෙයි. යම් හෙයකින් කුජ රේඛාව ජීවන රේඛාව ඡේදනය කරමින් චන්ද්‍ර මණ්ඩලයට ගියේ නම් සීමාව ඉක්මවා කාමාධික ක්‍රියාවන්ට යොමු වීමෙන් අකාලේ මරණයට පවා ගොදුරු විය හැක.
මෙම රේඛාව රත් පැහැයෙන් යුතු නම් ඔහු අධික රාගාධික අයකු බව පෙන්වයි. කුජ රේඛාවෙන් බෙදී යන රේඛාවක් දෛව රේඛාවට ඇතුළු වීම (4) කෙනෙකුගේ ජීවිතය උසස් තත්ත්වයකට පැමිණීමේ සුබ ලකුණකි. යම් හෙයකින් කුජ රේඛාවෙන් පැන නඟින රේඛාවකින් රවි රේඛාව හෙවත් කීර්ති රේඛාව ඡේදනය වේ නම් එම අයගේ විවාහ ජීවිතය අසාර්ථක වනුයේ ඔවුන් තුළ ඇති වංචනිකභාවය නිසාය. (5) කුජ රේඛාව තාරකා සලකුණකින් අවසාන වීම ද අසුබය. සාහසික දරුණු අපරාධයන්ට මුල් වන අය තුළ මෙම සලකුණ දැකිය හැකිය. සිකුරු මණ්ඩලයට ඇතුළතින් ජීවන රේඛාව අසලින්ම පිහිටන මෙම රේඛාව හොඳින් තිබේ නම් ඔවුනට තම සහකරුගෙන් හෝ සහකාරියගෙන් වඩා උදවු උපකාර ලැබෙයි. එවැනි රේඛා එකකට වැඩි ගණනක් පිහිටා ඇත්නම් ඔවුන්ගෙන් වන බලපෑම් වඩාත් හිතකර වේ.
(මීළඟට විවාහ රේඛාව)











