පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 04 යි | Page 2 | සිළුමිණ

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 04 යි

ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු වී අදට (21) වසර 04 ක් සපිරෙයි
 
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා කිතුනු බැතිමතුන් මහත් හරසිරින් පාස්කු ඉරිදා සමරන්නට දේවාස්ථාන වෙත ගියේ අවුරුදු සිරියද ඒ වන විට රට පුරා පැතිර ගිය පසුබිමකය.
 
නමුත් මේ සතුට විඳින්නට නිමේෂයක ඉඩක්වත් තබන්නට සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම සැරසුනේ නම් නැත.
 
යුද ගිණි දැල් නිවී දසවසරක් ගෙවුණු තැන මෙවන් සිදුවීමක් වෙතැයි කිසිවෙක් සිතන්නට නැත
 
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ , කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකලපුව සියෝන් දේවස්ථානය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බකරුවන් ක්‍රියාත්මක විය
 
මීට අමතරව කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ලවිය.
 
එමෙන්ම දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා වූ අතර සමස්ථ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්විය
 
මෙම ප්‍රහාර හේතුවෙන් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබෙයි. 
 
 අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බව කතෝලික සභාව සදහන් කරයි
 
 

Comments