ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමට රජයෙන් පියවර | Page 2 | සිළුමිණ

ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමට රජයෙන් පියවර

රටේ ආහාර බෝග වගාව ඉහළ නැංවීමට ගොවීන්ට ලබා දෙන සහන ප්‍රමාණය ඉහළ නැංවීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ 2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවයට අද (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී එක් වෙමිනි. 
 
පෙරවරු 6.38ට යෙදුනු පැළ සිටුවීමේ නැකැතට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  දෙහි පැළයක් රෝපණය කළ අතර ඊට සමගාමීව අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් පලතුරු පැළ රෝපණය කළහ.
 
නැකතට පැළයක්- පලයක් දෙන දෙන පැළයක් සිටුවමු යන තේමාව යටතේ මෙවර ජාතික  පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබිනි.
 
පැළ රෝපණය කිරීමට අමතරව රැස්වූ ජනතාවට පැළ බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදුවූ අතර කොමර්ෂල් සමාගම හා ලක් පොහොර සමාගම විසින් පලතුරු පැළ සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර ද ගොවීන් අතර බෙදා හැරීමට කටයුතු යොදා තිබිනි.
 
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. 
 
ශ්‍රී ලංකාවේ වනගහනය 2030 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීම සඳහා අපි ජාත්‍යන්තර සම්මුති සමග එකගතාවයකට පැමිණ තිබෙනවා. දැනට අපේ රටේ වනගහනය සියයට 29.2යි. මෙම ප්‍රමාණය සියයට 30 දක්වා ගෙන ඒමට නම් වනාන්තර ප්‍රමාණය තවත් දශම 08කින් ඉහළ නැංවිය යුතුයි.
 
බැලූ බැල්මට මෙය සුළුපටු ඉළක්කයක්බව පෙනුනත් අපේ රටේ වන ගහනය දශම 08කින් ඉහළ නැංවීමට හෙක්ටෙයාර් 65,000ක අපි වනාන්තර වගා කළ යුතුයි. ඒක පහසු කටයුත්තක් නොවෙයි.
 
නමුත් දැන කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පරිසරය සුරැකීම මෙන්ම රටට අවශ්‍ය ආහාර බෝග වගාවටත් මම ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඒ නිසා මෙවර පැළ සිටුවීමේ ජාතික නැකැත් චාරිත්‍රය අනුව බහුවාර්ෂික බෝගයක් වශයෙන් පලතුරු පැළ රෝපණය කිරීමට අපි පියවර ගත්තා.
 
 
 
 

Comments