X Press Pearl නෞකා වන්දි නඩු පැවරීම කඩිනමින් | Page 2 | සිළුමිණ

X Press Pearl නෞකා වන්දි නඩු පැවරීම කඩිනමින්

MV -X Press Pearl නෞකාවේ ඇති වු  ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම ඊට අදාළ කාලය ඉක්මවා යාමට පෙර විධිමත් අයුරින් සිදු කරන බවත්, නඩු පැවරීමේ කටයුතු මන්දගාමීබවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
 
නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබදව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා අද(19) මෙම තොරතුරු අනාවරණය කළේය.
 
එම කටයුතු  විවිධ හේතුන් නිසාවෙන් මන්දගාමීව සිදු වන බව තමාට නිරීක්ෂණය වු  බැවින් තමන් එයට මැදිහත් වු බව සදහන් කළ අමාත්‍යවරයා මෙහි වන්දි ලබා ගැනීම තක්සේරු කිරීම සදහා  විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මස 23 වන දිනට පෙර ලබා දෙන බවට තමන්ට පොරොන්දු වු නමුත් වාර්තාව ලබා දෙනු ලැබුයේ මෙම වසරේ ජනවාරි මස මැද භාගයේ වු බැවින් එම වාර්තාව අදාළ නෛතික කටයුතු සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව පැවසීය.
 
අදාළ වන්දි ලබා ගැනීම සදහා නඩු පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව හා මේ පිළිබදව ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරනු ලබන විදේශ නීතිඥ ආයතන සමග එක්ව සිදු කරමින් පවතින අතර, මේ සදහා ඇතැම් පුද්ගලයින් විසින් අල්ලස් ලබා ගෙන ඇති බවට පැමිණිලි ලැබි ඇති බැවින් අල්ලස් ලබා ගෙන ඇති ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර, එම පුද්ගලයින්ගේ නම්, බැංකු ගිණුම්, ස්ථාන ඇතුළු තොරතුරු සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
 
කාලාවරෝදය සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව නඩු පැවරීමට අදාළ කාලය ඉක්මවා යාමට පෙර වන්දි ලබා ගැනීම පිළිබදව නඩු පැවරීම සිදු කරන බැවින් ඒ පිළිබදව ගැටළුවක් ඇති කර නොගත යුතු බව අවධාරණය කළ අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේ මීට වඩා බරපතල නඩු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් කටයුතු කර ඇති බවයි.
 
X Press Pearl නෞකාවේ ඇතිවු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු පැවරීමේ කටයුතු සාගරය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති නිතිපති දෙපාර්තමේන්තු දක්ෂ නිලධාරීන් විසින් කර ගෙන යනු ලබන බැවින් නඩු පැවරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නොමැති බව ද අධිකරණ ඇමතිවරයා අවධාරණය කරයි.
 

Comments