අවුරුදු නෑගම් ගිය පුංචි කේසර අවසන් ගමන් යෑවූ මාරක අනතුර | Page 2 | සිළුමිණ

අවුරුදු නෑගම් ගිය පුංචි කේසර අවසන් ගමන් යෑවූ මාරක අනතුර

අවුරුදු නෑගම් ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක්  හෝමාගම  ගොඩගම හංදිය ආසන්නයේදී අද (18)  අළුයම 1.30 ට පමණ තවත් ත්‍රීරෝද රථ දෙකක  ගැටීමෙන් අවුරුදු තුනක්  පමණ වයසැති දරුවෙක් මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය ප්‍රකාශ කරයි.
 
මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති දරුවා ය
 
මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත
 
මෙම දරුවා සිය මවුපියන් සමඟ  කිරුළපන ප්‍රදේශයේ සමීප ඥාතී නිවසක අවුරුදු නෑගම් ගොස් යළි මාදුලාව ප්‍රදේශයේ නිවස කරා මව පියා හා වැඩිමල් සහෝදරයා සමඟ පැමිණෙමින්  සිටිය දී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
 
ත්‍රීරෝද රථය පැදවූ සිය දරුවාගේ පියා හෝමාගම හයිලෙවෙල් මාර්ගයේ ගොඩගම හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ධාවනය වෙමින් තිබුණු ත්‍රී රෝද රථයකට  ඉස්සර කිරීමේදී ගොඩගම  දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්  මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් එකම පවුලේ පිරිස පැමිණෙමින් සිටි  ත්‍රීරෝද රථයේ ගැටී ඇතැයි පොලිසිය කියයි 
 
ඒ සමගම  මියගිය දරුවා ගමන්ගත් ත්‍රීරෝද රථය හා ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ඇති අතර ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථය ද එහි ගැටී පෙරළී ඇතැයි පොලිසිය කියයි
 
ත්‍රීරෝද රථ එකිනෙක ගැටීමත්  සමගම මව් තුරුලේ  සිටි බිලින්දා  ත්‍රිරෝද රථයෙන් පිටතට විසිවී ත්‍රී රෝද රථයට යට වීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි
               
ගොඩගම සිට පැමිණි ත්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
 
සිද්ධියෙන් තුවාල ලද මියගිය දරුවාගේ පියා මව සහ වැඩිමල් සහෝදරයා හෝමාගම මූලික රෝහලේ අංක 2 සහ 3 වාට්ටුවල ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය
 
මිගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි
 

Comments