
දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන සූර්යග්‍රහණයක් මේ 20දා සිදු වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.
මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘශ්‍යමාන නොවේ. ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය, අප්‍රේල් 20 දින ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත් බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින ජනතාවට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වෙති.
මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණි. දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභය. අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10කට පමණ පෙර එනම්, 2013 නොවැම්බර් 03 වන දින සිදු වූ අතර, මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදු වනු ඇත.
මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවෙන මුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශය අපට නැරඹිය හැකි බව මහාචාර්යවරයා සඳහන් කළේය. දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන්නේ එකම සූර්යග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වලයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන බැවිනි. සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර, අනෙක් කොටස්වල සිටින අය වලයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත. අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරයි. අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවණැල්ල පෘථිවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්යග්‍රහණයක් ඇති වේ.
පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය ඉලිප්සාකාර බැවින් පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර විවිධ අවස්ථාවන්හිදී එහි සාමාන්‍ය අගයෙන් 6% කින් පමණ වෙනස් විය හැක. එම නිසා, චන්ද්‍රයාගේ දෘශ්‍ය ප්‍රමාණය පෘථිවියේ සිට ඇති දුර අනුව වෙනස් වන අතර, පූර්ණ සහ වලයාකාර ග්‍රහණ අතර සංක්‍රාන්තියට තුඩු දෙන්නේ මෙම බලපෑමය.
සූර්යග්‍රහණය, වලයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වලයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇත. මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇත.