ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ වී සහ බිත්තර වි ගොවීන් අතර බෙදා හැරීම සඳහා යුරෝපා සංගමය (EU) මගින් සම්පදිත අරමුදල් මඟින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ප්‍රසම්පාදනය කරන ලද යූරියා පොහොර ටොන් 3,820 ක තොගයක් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට බාර දීමට කටයුතු කෙරෙමින් පවතී.
පොළොන්නරුව, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කුඩා පරිමාණ වී ගොවීන් 72,200ක පිරිසකට මෙම යූරියා පොහොර තොගය ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන තුලින්ම,හඳුනාගත් වී ගොවීන් අතර ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ උපාය මාර්ගයන් හඳුන්වාදීමට සහය වන අතරම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතා අර්බුදය විසඳීම සඳහා FAO සහ EU විසින් දියත් කරන ලද යුරෝ මිලියන 4ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.5ක්) වටිනාකමින් යුත් වැඩසටහනට අයත් වේ.
ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රයේ පිබිදීම සඳහා යුරෝපා සංගමය ලබා දී ඇති සහයෝගය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙසේ පැවසීය,“ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක ජනතාවට බලපාන සමාජ-ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා අප විසින් ගනු ලැබූ පළමු ක්‍රියාමාර්ගය වන්නේ අවදානමට ලක්විය හැකි ගොවීන් සඳහා යූරියා පොහොර බෙදා දීමයි. මෙම නව සහය තුළින් අපට ක්ෂණික දෛනික ආහාර හිඟය වළක්වා ගත හැකි අතර අනාගතයේ දී වඩාත් තිරසාර සහ ප්‍රත්‍යාස්ථ කෘෂිකාර්මික අංශයකට සංක්‍රමණය වීමට දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”
මෙම වැඩසටහන හරහා ඉලක්කගත දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 0.5ක් දක්වා වගා කරන සෑම සුදුසුකම් ලත් ගොවියෙකුටම ඉදිරි වගා කන්නය සඳහා යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක් ලැබෙනු ඇත. මීට අමතරව, මෙම වැඩසටහන මඟින් උසස් තත්ත්වයේ බිත්තර වී සහ පොහොර කාර්යක්ෂම භාවිතය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණය/ශක්‍යතාව ගොඩනැගීම ද සිදු වේ.