අවුරුද්දට ගෙදර යන්න වැඩිපුර බස් | Page 3 | සිළුමිණ

අවුරුද්දට ගෙදර යන්න වැඩිපුර බස්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් අද (10) සිට අතිරේක බස් ගමන් වාර 300ක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසයි.
 
නගරයෙන් ගමට හා ගමෙන් නගරයට මැයෙන් මෙම මස 07 සිට 17 දක්වා දින 10ක් තුළ ලංගම මඟින් විශේෂ මගී ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කළ බවත් ඒ යටතේ ක්‍රමානුකූලව වැඩිකළ අතිරේක බස් ගමන් වාර ප්‍රමාණය 10, 11 හා 12 යන තෙදිනේ දී 300ක් දක්වා වැඩි කරන බවත් ඒ මහතා කීය.
 
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමිවූ නව බස් රථ 26ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකය වෙත ලබාදීම නිමිත්තෙන් පෙරේදා (08) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය අසල පැවැති උත්සවයකින් අනතුරුව සභාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
 
අලුත් අවුරුදු සැමරුමෙන් පසු නැවත රාජකාරී සඳහා නගරයට ඇදී එන ජනතාව සඳහා 15 සිට 17 දක්වා යළිත් බස් රථ 300ක් දෛනිකව අතිරේක ගමන් වාරවල යොදවන බව ද අල්විස් මහතා කීය.
 
මෙයට අමතරව දිවයිනේ සෑම ඩිපෝවක් මඟින්ම අතිරේක ගමන් වාර ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන්දීය ණය ආධාර යටතේ හිමිවූ බස් රථ කඩිනමින් බෙදා දීමට පියවර ගනු ලැබුවේ එම වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කර ගැනීමේ අරමුණින් බවත් හෙතෙම පැවසුවේය.
 
ඉන්දියාවේ සිට ගෙන්වන ලද බස් රථ රේගුවෙන් නිදහස් කර ගැනීම, ලියාපදිංචි කිරීම හා අංක තහඩු ලබා ගැනීම දින 10 ක් වැනි කෙටි කාලයක් තුළ කර ගැනීමට හැකි වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
රාජ්‍ය මගී ප්‍රවාහන සේවය ලෙස ශ්‍රී ලංගම පාඩු ලබන්නේ සුබ සාධන කටයුතුවලට යොමුවීම නිසා බවත් එසේ නොවන්නට ලංගම වාර්ෂිකව රුපියල් මිලියන 10,000ක පමණ ලාභයක් ලබන බවත් සභාපතිවරයා පැවසුවේය.
 
වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන දරුවන්ගෙන් ලංගම අය කරන්නේ නියමිත ගාස්තුවෙන් 7%ක් පමණක් බවත් ඉතිරි 83%ක මුදල පියවන බව මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබුණත් එය නිසි ලෙස පියවීමක් සිදු නොවන බවත් අනාර්ථික ග්‍රාමීය මාර්ගවල බස් ධවනය කිරීමෙන් ලාභයක් ලැබීමට නොහැකි නිසා එම මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය නොකරද්දීත් ලංගම එම මාර්ගවල බස් ධාවනය කරන බව ද ඒ මහතා කීය.
 
අලුයම් කාලයේ සහ රාත්‍රී 08න් පසු මගී ජනතාවට ප්‍රවාහන සේවා සපයන්නේ ලංගම බවත් මේ ආකාරයේ සේවයක් සිදු කිරීම නිසා ලංගම පාඩු ලබන බව භාණ්ඩාගාර නිලධාරීන් මෙන්ම රටේ මහජනතාව තේරුම් ගත යුතු යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

Comments