සතියේ පොත් | Page 2 | සිළුමිණ

සතියේ පොත්

චමින්ද දුටු මීනම්මාගෙ ලයින් කාමරය

කෘතිය- මීනම්මාගේ ලයින් කාමරය

කර්තෘ- චමින්ද අබේරත්න

ප්‍රකාශක- සී/ස. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

විමසීම්- 0718 470 923

මිල- 200 / පිටු ගණන- 72

2018 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත කෘතියක් බවට පත්වූ මේ කෘතිය වෙනස් මාතෘකා යටතේ ලියැවුණු කෙටිකතා 08කින් සමන්විත වේ. ජීවිතය, ආදරය, ජීවිත අරගලය, විවිධාකාර මිනිස් සංවේදනා, බැඳීම් සහ නෑකම් ආදී හදවතට සමීප තේමාවන් ඉතා මෘදුව ස්පර්ශ කරමින් පාඨක මනස විඩාවට පත් නොකර රසවින්දනයේ සහ ප්‍රඥාවේ කිසියම් සොඳුරු නිම්නයකට ගෙන එන්නට සමත් ජීව ගුණයෙන් යුතු කෙටිකතා සංග්‍රහයකි.

 

තරිඳුගේ හීන මායිම්

කෘතිය- හීන මායිම්

කර්තෘ- තරිඳු අමිල

ප්‍රකාශක- Grantha.lk

විමසීම්- 0719 448 899

මිල- 600 / පිටු ගණන- 195

ඇතිවෙන නැතිවෙන හීන අතරේ ජීවිතය හොයන මිනිස්සුන්ට ජීවිතය හමුවෙන හෝරාවේදී එහි මායිම් දකින්නට ඇරියුම් කරමින් මේ නවකතාව පාඨක ඔබට පුදන කෘතියේ රචකයා වන්නේ තරිඳු අමිල ය. සිය කුලුඳුල් කෘතිය තුළින් තරිඳු, රන් කහවනු හඹායන තරගකාරී සමාජය තුළ මානුෂිකත්වය පෙරදැරිව ප්‍රේමයේ විරහව නිහඬ කරවා, යළි යළිත් සවනත පාරමින් දෝංකාර නංවන්නට සමත් ඔහුටම ආවේණික ලියමන් රටාවකින් මේ කෘතියට පණ දී ඇති බව කෘතියට පසුවදනක් තබමින් විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ පවසන්නීය.

 

කවිඳුගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය

කෘතිය- රැය නොනිදයි

කර්තෘ- කවිඳු මධුවන්ත

ප්‍රකාශක- රුහාරා ප්‍රකාශන

විමසීම්- 0774 247 904

මිල- 600/ පිටු ගණන-64

සයිබර් අවකාශය තුළින් කාව්‍ය නිර්මාණයට පිවිසි කතුවරයා විසින් රචිත කුලුඳුල් කාව්‍ය සංග්‍රහය මෙයයි.

විවිධාකාර තේමාවන්ගෙන් යුතු කාව්‍ය නිර්මාණ 47ක් මේ කෘතියේදී අපට හමුවෙයි. නෙක තේමාවන් මුල් කරගෙන නෙක නෙක රිද්මයන් පෙරටු කර ගනිමින් ඔහු අපූරුවට සිය කවිය ගොඩනඟා ගෙන ඇති බව මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ හැඳින්වීමක් කරමින් ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පවසයි.

 

සංචාරයට අත්වැලක් බඳු කෘතියක්

කෘතිය- නරඹමු ලස්සන ශ්‍රී ලංකා

කර්තෘ- එන්.බී. සැම්සන්

කර්තෘ ප්‍රකාශනයකි

විමසීම්- 0718 080 343

මිල- 600/= පිටු ගණන- 216

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් බඳුය. පාසල් දරුවන්ට, සංචාරක මඟපෙන්වන්නන්ට පමණක් නොව මවුබිමේ සෞන්දර්ය විඳීමට ප්‍රිය කරන ඕනෑම අයෙකුට පරිශීලනය කළ හැකි කෘතියකි. අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු මෙන්ම විවිධ සංචාරවලදී කතුවරයා විසින් වරින් වර ලබා ගත් තොරතුරු මේ කෘතියට ඇතුළත් කර ඇත. ලංකාවේ පළාත් 9හි ඇති පෞරාණික ස්ථාන, ඓතිහාසික ස්ථාන, ලෝක උරුම, දිය ඇළි සහ වෙනත් සංචාරය කළ හැකි සුන්දර ස්ථාන පිළිබඳ තොරතුරු රැසක් කෘතියට ඇතුළත්ය.

 

තුෂාරිගේ ස්නේහයේ දාසී එළිදකී

කෘතිය- ස්නේහයේ දාසී

කර්තෘ- තුෂාරි අබේසේකර

ප්‍රකාශක- ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

විමසීම්- 077 835 3215

මිල- 1000 / = පිටු ගණන- 282

ප්‍රවීණ නවකතාකාරිනියක වන කතුවරිය සිය නවතම කෘතිය ගැන පවසන්නේ මෙවැන්නකි."සම්මාන ගන්නට පමණක් පොත් ලියනවා මිස යුගයට අවශ්‍ය පරිදි කිසියම් සුන්දර නවකතාවක් ලියන්නට මට නොහැකි යැයි කී සමහරෙකුට පිළිතුරක් හැටියට ද ස්නේහයේ දාසී ලියා තැබුවෙමි. "ඇය වැඩිදුරටත් පවසන්නේ කුරා කුහුඹුවාගේ සිට පොහොසත් මනස් ඇති මිනිසා දක්වාම සංවේදනය වන ආදරය, කරුණාව, දයාබරත්වය යන තුලිත බැඳීම මේ නවකතාව පුරාම පැතිරී ඇති බවයි.

 

දිස්නාගේ දිලෙන තරු

කෘතිය- දිලෙන තරුව ඇයයි

කර්තෘ- දිස්නා ක්‍රිශාන්ති සේනානායක

ප්‍රකාශක- නිම්සර පබ්ලිකේෂන්

විමසීම්- 077 315 9169

මිල- 2385/= පිටු ගණන- 424

යොවුන් ලේඛිකාවක වන කතුවරියගේ තෙවැනි කෘතිය මෙයයි. ළාබාල වියේදීම ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණ දෙන යුවතියක එම අභියෝග ජය ගනිමින් ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන අයුරු මෙම නවකතාව තුළින් නිරූපණය වේ. එමෙන්ම ආදරය සහ බැඳීම්වලදී ගැහැනු සහ පිරිමින් කටයුතු කරන ආකාරය මෙන්ම ඔවුන්ගේ විවිධ මනෝ භාවයන් පිළිබඳ විවරණයක් ද මෙහි වේ.

 

වජිර නාරම්පනාව ගේ නවතම කාව්‍ය සංග්‍රහය

කෘතිය- අමාවක නිමා විය (නූතන ථෙරී ගී)

කර්තෘ- වජිර නාරම්පනාව

කර්තෘ ප්‍රකාශනයකි

විමසීම්- 0718 051 139

මිල- 450 / පිටු ගණන-51

මේ කතුවරයා විසින් රචිත ඔහුගේ තෙවැනි පද්‍ය සංග්‍රහයයි. බෞද්ධ සාහිත්‍යයේ එන ථෙරී ගාථාවන්ගේ ආකෘතිය භාවිත කරමින් වර්තමාන කාන්තාව සමාජය තුළ මුහුණ දෙන ඛේදවාචකය විත්‍රණය කිරීමටත්, ජීවිතයේ සැබෑ සැනසුම ලැබිය හැකි මාර්ගය පෙන්වා දීමටත් මේ තුළින් උත්සාහ දරා ඇත. ගිහි ජීවිතයේදී විඳීමට සිදු වන දුක් කරදර, සැප සම්පත්, ගෘහස්ථ හිංසනය, සමාජ අසාධාරණකම් සහ ජීවිතයේ නිස්සාරත්වය පිළිබඳ කියැවෙන මෙම පද්‍ය සංග්‍රහය කාව්‍ය 50කින් සමන්විතය.

 

චේතනාගේ නමක් නැති හිතවතා

කෘතිය- නමක් නැති හිතවතෙක්

කර්තෘ- වේත්‍යා විදානපතිරණ

ප්‍රකාශක- රුහාරා ප්‍රකාශන

විමසීම්- 0718 135 177

මිල- 500 / පිටු ගණන-68

කතුවරියගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන මෙයට විවිධ අනුභූතීන් කලාත්මක ශික්ෂණයකින් යුතුව නිර්මාණ සඳහා පාදක කරගෙන ඇත. වෘත්තියෙන් භෞතික විද්‍යාඥවරියක ලෙස මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන ඇය සිය නිර්මාණ තුළින් වින්දනීය ඉසව්වක පමණක් රසිකයා අතරමන් නොකොට ජීවිතාර්ථ මැනවින් දකින්නට ද ඔවුන්ට ආරාධනා කරන්නීය.

 

සුමනා වීරසේකර ගේ වෙනස

කෘතිය- වෙනස

කර්තෘ- සුමනා වීරසේකර

ප්‍රකාශක- සදීපා ප්‍රකාශකයෝ

විමසීම්-0112 866 246

මිල- 350 / පිටු ගණන- 80

මෙය කතුවරිය විසින් රචිත දෙවැනි කෙටිකතා සංග්‍රහයයි. මිනිස් දිවියේ ආදර කරුණාව මෙන්ම ලෝබ දෝසකම් හා මෝහයේ ගති සොබා ද ප්‍රකට කෙරෙන මේ කෘතිය සරල සුගම භාවාත්මක භාෂා රීතියකින් රචනා කොට ඇති බව කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර පවසයි. පේරදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක ද වන සුමනා විශ්‍රාමික ගුරුවරියකි.

 

දුක් විඳින මිනිස්සු ගැන කියන ආරියතිලක පීරිස්

කෘතිය- දුක් විඳින මිනිස්සු

කර්තෘ- ආරියතිලක පීරිස්

ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ

විමසීම්- 071 830 6607

මිල- 250 /= පිටු ගණන- 66

නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, ගුවන්විදුලි නාට්‍ය රචකයකු මෙන්ම විචාරකයකු වන ආරියතිලක පීරිස් විසින් රචිත මෙම කෘතියට ගුවන් විදුලි නාට්‍ය 5ක් ඇතුළත්ය. ඒ, ආපසු යාම, පිස්සු නැති මිනිහෙක්, සිහිනයක්, කොස්ස සහ ඉලපත සහ නිවෙන පහන් ය. දක්ෂ ලෙස යථාර්ථවාදී රීතිය අනුගමනය කරමින් මෙම ගුවන්විදුලි නාටක ඔහු විසින් රචනා කර ඇති අතර, සමාජවාදී චින්තනය මෙරට ස්ථාපිත කිරීමට සාහිත්‍යකරුවකුට ඇති වගකීම මේ නිර්මාණ තුළින් ප්‍රකට වේ.

Comments