
වසර 1995 අගෝස්තුවේ බෙන්තොට බීච් හෝටලයේදී දින හතරක වැඩමුළුවක් පැවැත්විණි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවාගේ මූලිකත්වයෙන් සංවිධාන කරනු ලැබූ එම වැඩමුළුව නම් කර තිබුණේ උපාය මාර්ගික සිවුදින වැඩමුළුව නමිනි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයා වූ අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, පුහුණුකරු ඩේව් වට්මෝර්, කළමනාකරුවන් ලෙස රංජිත් ප්‍රනාන්දු, අනුර තෙන්නකෝන්, මයිකල් තිසේරා, හිටපු ක්‍රීඩකයන් වූ සිදත් වෙත්තිමුණි, දහම් ගුණසේන, මනිලාල් ප්‍රනාන්දු (මෙරට පාපන්දු ක්‍රීඩාවේ හිටපු ප්‍රබල චරිතයක් වන මනිලාල් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුවේ සාමාජිකයකුව සිටි බව දන්නේ අතළොස්සකි. හෙතෙම නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී එහි ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙකි.) සහ කීර්තිමත් විනිසුරු කේ. ටී. ෆ්‍රැන්සිස් ඇතුළු විසිදෙනකුට වැඩි පිරිසක් එම වැඩමුළුවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමට අපමණ කැපවීමක් කළ ගාමිණී දිසානායක මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ එහි උපසභාපතිවරයා වූ ආනා පුංචිහේවාට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැනුමින් පෝෂණය වීමට එම කාලසීමාව බෙහෙවින් ඉවහල් වී තිබිණි. ක්‍රිකට් සභාපතිවරයා ලෙස ඔහුගේ දැක්ම වූයේ වසර 2000 වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳම කණ්ඩායම බවට පත් කිරීමය.
ශ්‍රී ලංකාව 1996 එක්දින ලෝක කුසලානය ජය ගත්තේ 1995 වසරේදී ශ්‍රී ලංකා පිල නවසීලන්තයේදී පළමු වරට ටෙස්ට් තරගයක් සහ තරගමාලාවක් ජයගැනීමත්, එහිදී එක්දින තරගාවලිය 2-1කින් ජය ගැනීමත්, අනතරුව පාකිස්තානයේදී ටෙස්ට් සහ එක්දින තරගාවලිය ජයගැනීමත්, ඉන්පසුව සාජා නුවරදී ආසියානු කුසලානය ජයගැනීමත් ඇතුළු ස්වර්ණමණය කාලපරිච්ඡේදයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අත්කර ගැනීමට එම සිවු දින වැඩමුළුව ඉවහල් විය.
මේ වන විට ඉතිහාසයේ පළමුවතාවට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවී ඇති ශ්‍රී ලංකා පිලට ලබන ජූනි මාසයේ සිම්බාබ්වේ හි පැවැත්වෙන එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද අභියෝගයක් බවට පත්වී තිබේ. එබැවින් වත්මන් ශ්‍රී ලංකා පිලට අවශ්‍ය වී ඇත්තේ ද හිටපු ක්‍රීඩකයන්ගෙන්, පරිපාලකයන්ගෙන් සමන්විත එවැනිම උපායමාර්ගික වැඩමුළුවක් හෝ සාකච්ඡා මාලාවකි. එය මහේල ජයවර්ධනගේ තනි පුද්ගල උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමේ පුහුණු උපදේශක භූමිකාවට වඩා ඔබ්බට ගිය එකකි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කරන මහේලගේ මිල කළ නොහැකි උපායමාර්ගික සැලසුම්වලට වඩා වැදගත් වනු ඇතැයි සිතිය හැකි මෙහෙයුමකි.
කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ආධිපත්‍ය පතුරුවාලූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්දින ලෝක කුසලානයට සෘජු සුදුසුකම් ලැබීමේ මාර්ගය වැසී ගියේ කාගේ වරදින්ද? පිට පිට දෙවතාවක්ම විස්සයි20 ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරිමට සිදු වූ ශ්‍රී ලංකාවට මෙවැනි ශෝචනීය ඉරණමකට මුහුණපෑමට සිදු වූයේ කාගේ වරදින්ද? ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු පුහුණු උපදේශකවරයා බවට පත් කිරීමෙන් වසර දෙකක් ගතවූවද එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වූයේ ඇයි ? එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අසමත් වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට එල්ල විය හැකි බලපැම් කවරේද ?
මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායම අරභයා හිටපු ක්‍රීඩකයන්ගේ සහ හිටපු පරිපාලකයන්ගේ පමණක් නොව ක්‍රීඩාලෝලීන්ගේ ද මනසේ රැව් දෙන්නේ මෙවැනි ප්‍රශ්න වැලකි. එහෙත් පුදුමයට කරුණ නම් පවතින තත්ත්වය පිළිබඳ ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින පුහුණුකරුවන්, තේරීම් කමිටුව හෝ ක්‍රිකට් පරිපාලනය තවමත් මුනිවත රැකීමය. පිට පිට දෙවතාවක්ම විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවෙද්දී 2014 විස්සයි20 ලෝක කුසලානය ජයගැනීමේ 9 වැනි සංවත්සරය සැමරීමට ක්‍රිකට් ආයතනය විශාල මුදලක් වැය කරමින් පුවත්පත් රැසක දැන්වීම් පළ කර තිබිණි. ඊට පෙර විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමේ සංවත්සර සැමරීමට එසේ කටයුතු නොකළ ක්‍රිකට් ආයතනය මෙවර හදිසියේම එවැනි තීරණයක් ගැනීම විමතියට කරුණක් බව ඇතැමුන් කියති. අනෙක් අතට ඊට දින 19කට පෙර යෙදී තිබූ 1996 එක්දින ලෝක කුසලානය ජය ගැනීමේ 27 සංවත්සරය සැමරීම අමතක කරනු ලැබීමත් විමතිය දනවන්නක් බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඇතැම් පාර්ශ්ව ඊට විවිධ හේතු අනුමාන කළ ද, සැබෑ හේතුව දන්නේ ක්‍රිකට් ආයතනයම පමණි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන සියලු ආකාරයේ සැලසුම් මේ වනවිට අසාර්ථකත්වයට පත්වී තිබේ. ජාතික කණ්ඩායම නවසීලන්තයේදී පරාජයට පත්වෙද්දී, අවුරුදු 19න් පහළ යොවුන් පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කෝඩුකාර ඇෆ්ගනිස්තානය හමුවේද අන්ත පරාජයකට ලක් වී සිටී. ජාතික ක්‍රිකට් කණ්ඩායම් ශක්තිමත් කිරීමට ක්‍රීඩකයන්ගේ ඉහළ දස්කම් ප්‍රවර්ධනය කිරීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ඉහළ දස්කම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙන් ද සැලකිය යුතු දායකත්වයක් නොලැබෙන බව හිටපු ක්‍රීඩකයෝ කියති. ඇතැම් තොරතුරුවලට අනුව එකල උදෑසන සිට හිරු බැස යනතුරුම විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයන් පුහුණු කරමින් අතිශය කාර්යබහුල ස්වභාවයක් ඉසිලූ එම මධ්‍යස්ථානය මේ වනවිට දිවා කාලයේ පවතින්නේ ‘සහරා කාන්තාරයක්‘ බඳු පාළු ස්වභාවයකිනි. එහි සේවය කරන්නෝ උදෑසන කාලයේ එහි ගත කොට නොමිලේ දෙන දිවා ආහාර පැකැට්ටුව ගෙන යළි නිවෙස බලා පිටත්ව යන බව ඇතැම් ආරංචි මාර්ග සඳහන් කළ ද, ඒවා හුදෙක් කටකතා පමණක් බවත් තවත් සමහරු කියති. මීට වසර ගණනාවකට පෙර එම මධ්‍යස්ථානයේදී ක්‍රීඩකයන්ට පරිඝනක තාක්ෂණ පුහුණුව, ඉංග්‍රීසි භාෂා පුහුණුව, පෞරුෂත්වය ගොඩනැගීමේ වැඩසටහන් වැනි විවිධ පාඨමාලාවන් ද පවත්වා තිබූ බවත් කියැවේ. ක්‍රීඩකයන්ගේ දස්කම් මුවහත් කිරීමට ඉදි කළ බව කියන ඉහළ දස්කම් ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයට අදටත් පිහිනුම් තටාකයක් හෝ නොමැති වීම හාස්‍යයට කරුණක් බවත් තවත් සමහරු පවසති. වැදගත්ම කාරණාව වන්නේ ඉහත කී සියලු ආකාරයේ ක්‍රිකට් භාරව සිටින බව ක්‍රිකට් ආයතනය පුන පුනා කියන පුහුණු උපදේශක මහේල ජයවර්ධනගේ භූමිකාව ගැටලු සහගත බවද?
දැන් සිදුවිය යුත්තේ සියල්ල අමතක කර ඉදිරියේදී පැවැත්වෙන එක්දින සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි විය යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය තෝරා බේරා ගැනීම බව ක්‍රීඩාවේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. ඇතැමුන් කියන්නේ එම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියට වඩා අභියෝගාත්මක එකක් බවය. විශේෂයෙන් දැනටමත් අයිසීසී පූර්ණ ටෙස්ට් සාමාජිකත්වය ලැබූ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමත් තරගාවලියට ඇතුළත්ව සිටින අතර, කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිතය. අනිත් අතට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් නායකයකු වන දුලිප් මෙන්ඩිස්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ඕමානය ද, මෑත කාලයේ කැපී පෙනෙන දස්කම් පෑ නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තයට ද ඇතුළත්ය. ක්‍රිකට් ක්‍රීඩාවට හුරු නැති බව කීවද අමෙරිකාවත් එන්න එන්නම ක්‍රිකට් ප්‍රගතියක් පෙන්නුම් කරමින් තරගාවලියට එක්වී සිටී. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය ද නරකම නැත. එහෙත් ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ ඉන් ඉදිරියටම පැමිණෙන කණ්ඩායම් දෙක පමණි. ඉතිරි කණ්ඩායම තෝරා ගැනෙන්නේ අයර්ලන්තය සහ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙනි.
බංග්ලාදේශය දැනටමත් එක්දින ලෝක කුසලාන සෘජු සුදුසුකම් ලබා සිටින අතර, සටන ඇත්තේ අයර්ලන්තය සහ මේ වන විට සෘජු සුදුසුකම් ලැබීමට එළිපත්තේ සිටින දකුණු අප්‍රිකාව අතරය. බංග්ලාදේශය එක්දින තරගාවලියෙන් පරාජය කිරීමට සමත් වුවහොත් දකුණු අප්‍රිකාව අබිබවා අයර්ලන්තය එක්දින ලෝක කුසලාන සෘජු සුදුසුකම් ලබාගනු ඇත. බංග්ලාදේශයේ දස්කම් කිරා මැන බැලීමේදී සුදුසුකම් ලැබීමේ තරගාවලියට වැටෙන්නේ දකුණු අප්‍රිකාව නොව අයර්ලන්තය බව පැහැදිලි වෙයි. එය කෙසේ වෙතත් මේ සියලු කණ්ඩායම් ශ්‍රී ලංකාවට අභියෝගයක් වනු ඇත.
වසර 1996 ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානය දිනා දුන් නායක අර්ජුන රණතුංගගේ අදහස වී ඇත්තේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ වහාම හිටපු ක්‍රීඩකයන් සහ හිටපු පරිපාලකයන් ගෙන්වා සාකච්ඡාවක් පැවැත්විය යුතු බවය. ඔහු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවීම හෝ නැතිවීම තීරණය වන්නේ මේ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් බවය. දැන් උදාවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කෙටිකාලීන විසඳුමක් අවශ්‍ය වී ඇති කාලසීමාවක් බවත්, ඕවර 50ක් ක්‍රීඩා කළ හැකි දස්කම් හා ශාරිරීක ශක්තිය ඇති ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීමට අවශ්‍ය පසුබිම වහාම සකස් විය යුතු බව ඔහුගේ එකම විශ්වාසය වී තිබේ. මේ සාකච්ඡාවට ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන, තේරීම් කමිටුව, පුහුණුකරුවන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද එක්විය යුතු බවට ඔහු යෝජනා කරයි. ඔහු කියන ආකාරයට මෙන්ම පෙනෙන ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා පිලේ පසුබෑමට වගකිව යුත්තෝ ඉදිරිපත් වන්නේ නැත. වගකීම බාරගෙන තනතුරුවලින් ඉවත්වීමට ද කිසිවකු සූදානම් නැත. ‘මලිත්ට ගහද්දී චංචලාට රිදුණා‘ සේ ශ්‍රී ලංකා පිලේ පසුබෑමට මහේලට චෝදනා එල්ල වෙද්දී ක්‍රිකට් ආයතනය කළේ ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පමණි.
අනිත් අතට පසුගිය වසරේදී ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ඊට අයිතිවාසිකම් කීමට දහසක් ඉදිරිපත් වුව ද, මෑතකාලීන පරාජයේ වගකීම බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන්නේ ‘ජයග්‍රහණයට පියවරු සියයයි, පරාජය අවජාතකයි‘ කියන කතාව නැවත නැවත තහවුරු කරමිනි.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය මීට පෙර විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ක්‍රීඩා කළ තරගාවලියට වඩා දරුණු බවත් ඇතැමුන් කියති. අනිත් අතට ශ්‍රී ලංකා කණ්ඩායමක් සෑහෙන කාලයකින් සිම්බාබ්වේ හි සංචාරය කර නැති බැවින් එහි තණ තීරුවල හා දේශගුණික විපර්යාසවල වෙනස ක්‍රීඩකයන්ට හුරු නැත. එය ද අභියෝගයක් වනු ඇතැයි හිටපු ක්‍රීඩකයෝ කියති.
ශ්‍රී ලංකා පිලට මේ විනාශය සිදුවීමේ වැඩිම වගකීම බාර ගත යුත්තේ තේරීම් කමිටුව බව ඇතැමුන්ගේ අදහස වී තිබේ. තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ අදහස වූයේ අනාගතය ගැන සිතා තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බිහි කිරීම නම් දැන් සිදුවී ඇත්තේ කුමක්දැයි හිටපු ක්‍රීඩකයෝ අසති. තේරීම් කමිටුව කළ ලොකුම වරද ලෙස ඇතැමුන් දකින්නේ 2019 එක්දින ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න වේලාසනින්ම එක්දින සංචිතයෙන් ඉවත් කිරීම බව ද කියති. තවත් සමහරු කියන්නේ ටෙස්ට් තරග සඳහා එක් සංචිතයක් සහ එක්දින හා විස්සයි20 මුහුණුවර සඳහා තවත් සංචිතයක් වෙන් කිරීමෙන් තේරීම් කමිටුව ‘නා ගත්‘ බවය. ටෙස්ට් සහ එක්දින සඳහා එක් සංචිතයක් සහ විස්සයි20 ට වෙනම සංචිතයක් නම් කළේ නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබූ බවටත් මත පළ වී තිබේ. ලොව බොහෝ රටවල කණ්ඩායම තේරීමේ ප්‍රතිපත්තිය එය බවත් කියැවේ. ප්‍රධානතම කාරණාව වන්නේ මේ මුහුණුවර තුනටම ආදේශ කළ හැකි ක්‍රීඩකයන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැති වීම බවත් සඳහන් වේ. එවකට සිටි අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන්ට ඊට අනුගත වීමේ හැකියාව ඉහළින්ම පිහිටා තිබිණි. ටෙස්ට් සහ එක්දින තරගවලට උචිත ක්‍රීඩකයන් විස්සයි20 කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් තේරීම් කමිටුව සිය අසාර්ථකභාවය පෙන්නුම් කර ඇතැයි ද, මුහුණුවර තුනටම ක්‍රීඩා කරවීමෙන් ඇතැම් ක්‍රීඩකයන් ආබාධ වැලකට ලක් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව කටයුතු කිරීමට ඉහළ වැටුපකට ආනයනය කළ ‘සුද්දන්‘ගේ කාර්යභාරය ද ප්‍රශ්නාර්ථයක් වී ඇත්තේ මෙවැනි කරුණු නිසාය.
දිමුත් කරුණාරත්න පමණක් නොව දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න (ඔහු දැන් රට හැර ගොසිනි) පවා තේරීම් කමිටුවේ ගිලටීනයට හසුවූ ක්‍රීඩකයන් බව ආරංචි මාර්ග සඳහන් කළේය. ටෙස්ට් සහ එක්දින තරගවලදී සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට ඉහත කී ක්‍රීඩකයන් සිවුදෙනාටම හැකියාව හා අත්දැකීම් ඇතැයි ද කියැවේ. ඔවුන්ට මේ ඉරණම අත්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ක්‍රිකට් වාර්තා තැබූ ඇතැම් ක්‍රීඩකයන්ට තවදුරටත් තම ගෞරවය රැක ගැනීමට එම ක්‍රීඩකයන්ගේ දස්කම් අභියෝගයක් වනු ඇතැයි පළ වූ උපකල්පනය මතදැයි ඇතැමුන් ප්‍රශ්න කරති.
ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ හැකියාවේ ස්ථීරත්වය නොඑසේ නම් ‘කන්සිස්ටන්සි‘ රැක ගැනීමට හෝ වර්ධනය කිරීමට පුහුණුකරුවන්ගෙන් සිදුවන සේවය කුමක්දැයි ප්‍රශ්න කරන්නෝ ද වෙති. ‘වෙන රටවල බැට්ස්මන්ලා වැඩිම වුණොත් මැච් එකක් ෆේල් වෙයි. දෙකක් ෆේල් වෙයි. ඒත් ඊළඟ එකේ අනිවාර්යයෙන්ම ලොකු ඉනිමක් ගහනවා. පන්දු යවන්නනුත් එහෙමයි. එකක් දෙකක් ෆේල් වුණාට ඊළඟ මැච් එකේදී කඩුලු අතරට එනවා. ඒත් අපේ පිතිකරුවන් හාවා හඳ දකිනවා වගේ එකක් ගහනවා. ඊළඟට තවත් මැච් 7ක් විතර ඒකෙන් අල්ලගෙන යනවා. මේ වැරදි, දුර්වලකම් හදන්න තමයි පුහුණුකරුවන් ඉන්නේ. අනික මානසිකත්වය. ඒවා හදන්න ශ්‍රී ලංකා ටීම් එකේ කිසිම කෙනෙක් නෑ. අඩුම ගාණේ ඒ පැත්ත ගැන හිතන්නෙවත් නෑ. ඔස්ට්‍රේලියාව වගේ ටීම්වල වෙනම මනෝ වෛද්‍යවරයෙක් ඉන්නවා. ක්‍රීඩකයෙක් ෆේල් වුණොත් එයා එක්ක කතා කරනවා‘ ක්‍රීඩාවේ හිටපු ප්‍රවීණයකු දැක්වූයේ එවැනි අදහසකි.
විනය සම්බන්ධ කාරණා ද කණ්ඩායමේ ප්‍රගතියට ප්‍රබල සාධකයකි. ඒ සම්බන්ධව කටයුතු කිරීම කළමනාකරුගේ වගකීමය. ආන්දෝලනයට තුඩු දුන් පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබිණි. එම සංචාරයේ සිදුවූ අකටයුතුකම් සෙවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ විමර්ශන කමිටුවේදී ඒ වනවිට කණ්ඩායමේ කළමනාකරු පවා ඒ පිළිබඳ ප්‍රකාශ කර තිබිණි. පැහැදිලිවම ඔහු සිදු කර ඇත්තේ තම වගකීම් පැහැර හැරීමක් බවට ද චෝදනා එල්ල විය. එහෙත් මෙවර නවසීලන්ත සංචාරයේදීත් කණ්ඩායමේ කළමනාකරු ලෙස ඔහුවම පත් කර තිබීම ද විමතියට කරුණකි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමට කණ්ඩායම තෝරා ගැනීමේදී ක්‍රීඩකයන් ගැන පමණක් නොව ඉහත කී සියලු කරුණු සැලකිල්ලට ගැනීමට අදාළ බලධාරීන්ට සිදුවනු ඇතැයි ඉඳුරාම පැවැසිය හැකිය.