මරිසිය දමා මුරුසියට යවා අපේ විරුවන්ට හිර බත් කැවූ හැටි | Page 3 | සිළුමිණ

මරිසිය දමා මුරුසියට යවා අපේ විරුවන්ට හිර බත් කැවූ හැටි

ඇහැ­ලේ­පොළ මහ නිලමේ සහ මුරුසියේ ඇහැ­ලේ­පොළ සොහොන් කොත

ග්‍රාමාත්‍ය දිනේෂ් පසුගිය දා මුරුසිය ගැන කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරන ලදී. මේ කැබිනට් පත්‍රිකාවට හේතු වුයේ 1818 ප්‍රථම නිදහස් අරගලය හේතුවෙන් මුරුසියට පිටුවහල් කරන ලද වීරයන්ගේ දේපළ සම්බන්ධයෙනි. ඔවුන් එදා මුරුසියට පිටුවහල් කරන ලද්දේ ද්‍රෝහීන් ලෙසය. උඩරට කැරැල්ල සහ මුරුසියේ සිරකරුවන් යන මැයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පසුගියදා අරලිය ගහ මැදුරේ ශ්‍රවණාගාරයේදී දේශනයක් පවත්වන ලදී. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම සාකච්ඡා මණ්ඩපය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

අනුර මනතුංග යනු අලුතෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවේ. මුරුසි දිවයිනේ සිංහල සිරකරුවෝ පොත සකස් කරන ලැබුවේ අනුර මනතුංගගේ පියා වූ බණ්ඩාර මනතුංග එක් රැස් කළ තොරතුරුවලිනි. මුරුසි දූපතේ සිරබත් කෑ ලංකාවේ ජාතික වීරයන් පිළිබඳ ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉතිහාස අංශයන්හි අවධානය යොමු කිරීමට පියවර ගැනීමට ද අගමැතිවරයා තීරණය කර ඇති බව අපට මෙම අවස්ථාවේ දැකගත හැකි විය.

පිළිමතලාවේ නිලමේ ඇතුළු ජීවිතාන්තය දක්වා රටින් පිටුවහල් කිරීමට නියම වු සිරකරුවන් දස දෙනකු ද, නියමිත වසර ගණනකට පිටුවහල් කිරීමට නියම වු දාහතර දෙනකු ද වශයෙන් රාජ්‍ය සිරකරුවන් විසිහතර දෙනකු 1819 පෙබරවාරි 24 දා මුල්වරට මුරුසියට පිටත් කර හැර ඇත. ඇහැලේපොළ මහ නිලමේ මුරුසියට ගෙන යනු ලැබුවේ 1825 දීය. රාජ්‍ය සිරකරුවන් 14 දෙනකු මුරුසියේදී මියගොස් ඇති අතර නව දෙනකු නියමිත දඬුවම් කාලය හමාර කර නිදහස ලබා ලංකාවට පැමිණ ඇති බව සඳහන් ය.

1848 අරගලයට සම්බන්ධ වීම නිසා තවත් තිස් දෙනකු මුරුසියට පිටුවහල් කර ඇත. මෙලෙස පිටුවහල් කළ බොහෝ රාජ්‍ය සිරකරුවන්ගේ ඉඩකඩම් හා දේපොළ ඉංග්‍රීසින් විසින් රාජසන්තක කර ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් ද හිඟමනට පත් කොට ඇත. ඉංග්‍රීසි ආණ්ඩුව රාජසන්තක කළ ඉඩකඩම් යළිත් එම විරුවන්ගේ පවුල්වලට දීමේ වැඩපිළිවෙළක් සැකසීමට මේ වන තෙක් කිසිවකු පියවර නොගැනීම හා කොතරම් නීති විශාරදයන් සිටියත් ඒ ගැන අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසන ලද්දේ මෙකී අසාධාරණයට ලක්වූ ඥාතීන් හමුවේ වීම විශේෂත්වයකි.

ඉතිහාසය පිරිස්සීමේදී ඇහැලේපොළ නිලමේට අමතරව අඹගස්පිටියේ ලේකම්, දෙමෝදර මොහොට්ටාල, දේදුනුපිටියේ මොහොට්ටාල, දන්ගමුවේ මොහොට්ටාල, හාපත්ගමුවේ ලොකු මොහොට්ටාල, හාපත්ගමුවේ කුඩා මොහොට්ටාල, ඉහගම (උන්නාන්සේ) නිලමේ, ඊරියගම රටේ මහත්තයා, ඊරියගම පඬිකාර ලේකම්, මීවතුරේ හිටපු ලේකම්, කෙම්පිටිය කොරාල, කැටකුඹුරේ රටේ මහත්තයා, මීගහපිටියේ රටේ රාල, මත්තෙමගොඩ තුන්කෝරළයේ දිශාව, පිටිවල ලේකම් මහත්තයා, රාහුපොළ පිහිනරාල, වල්පළාගොල්ලේ මුහන්දිරම්, ඇහැලේපොළ මහ නිලමේ, වෑගොඩපොළ හළුවඩන නිලමේ, වෑගොඩපොළ රටේරාල, කුමාරසාමි, කොහුකුඹුරේ රටේ රාල, පිළිමතලාවේ නිලමේ, ගොඩේගෙදර අධිකාරම්, තලගුණේ වන්නකු නිලමේ, කුරුකොහෝගම කිරිබණ්ඩා, වෑත්තෑවේ රටේ මහත්තයා, වත්තේ කැලේ මොහොට්ටාල, වල්පලගොල්ලේ මුහන්දිරම් ආදී විරුවන් 1819 සිට 1932 දක්වා මුරුසි දූපතට පිටුවහල් කර ඇති බව තහවුරු වී තිබේ.

මේ අතර 1818 ජනවාරි 10 වන දින ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ කැප්පෙටිපොළ දිසාව ඇතුළු විරුවන් 19 දෙනෙක් රණ ශුරයන් ලෙස නම් කරමින් 2016 දී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගැසට් පත්‍රයක් නිකුත් කළෙත් අගමැති දිනේෂ් ගුණවර්ධන මුරුසියේ හිරබත් කෑ මේ සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන තම අදහස් පළ කළේ මෙසේය.

"එදා මුරුසියට අපේ ජාතික වීරයන් පිටුවහල් කරන්න හා දඬුවම නියම කරන්න ඉංග්‍රීසින්ට පුළුවන්ද කියන ප්‍රශ්නය නිරාකරණය කර ගන්න තවම අපේ කිසිම කෙනෙක් අධිකරණයට ගිහින් නැහැ. වීරයන් රාජ ද්‍රෝහීන් කිරීමේ වරද නිවැරදි කරන්න නීතිමය වශයෙන් කිසිවෙක් පියවර අරන් නැහැ"

මුරුසිය ගැන කියන විට මුරුසියේ ආරම්භය ගැනද ඉතිහාසය හාරා අවුස්සා නොබැලුවොත් එය බලවත් අඩුපාඩුවකි. මුරිසි දිවයින මුලින්ම සොයා ගන්නා ලද්දේ පෘතුගීසීන් විසින් දහසය වැනි සියවසේදීය. අරාබි නාවිකයන් මේ දිවයින ගැන දහවැනි සියවසේ සිට දැනගෙන සිට ඇත. 1589 දී ඕලන්ද ගවේශකයින් මෙම දිවයිනට පැමිණ එයට මුරුසිය යන නම තබන ලදී. නසව්හි මොරිස් කුමරාගේ නම අනුව ඒ නම තබන ලද බැව් කියවේ. 1715 දී ප්‍රංසයට මේ දිවයින අයත් විය. 'අයිලන් ඩී ප්‍රාන්ස් යන නම ඔවුන්ගෙන් මේ දූපතට තබන ලද නාමයය. ආසියා හා අප්‍රිකානු රටවල් අල්ලාගෙන අධිරාජ්‍ය විශාල කිරීමේ කාර්යයේ යෙදුණු බ්‍රිතාන්‍යයට ප්‍රංශ රාජ්‍යය සතු වූ මුරිසියත් මහා කරදරයක් විය. වෙළෙඳ වටිනාකම් මුරුසියේ එතරම් නොවූ අතර පසුව මෙය ප්‍රංශ රාජ්‍යයේ යුද කඳවුරක් විය. මේ වන විට ප්‍රංශ ජාතිකයන්ට තිබුණු විශාලතම අභියෝගය වූයේ බ්‍රිතාන්‍ය යුද්ධ බලයයි. බ්‍රිතාන්‍ය, ආසියා, අප්‍රිකා රටවල බලය අල්ලා ගැනීම සඳහා වැඩි වැඩියෙන් යුද නැව් එවීමට පටන් ගත්තේය. ප්‍රංශය, මුරුසියස් දිවයිනේ සිට මෙසේ ඉන්දියානු සාගරයට ඇතුළුවු බ්‍රිතාන්‍ය නැව්වලට පහර දෙන්නට විය. 1810 දී ප්‍රංශයට මුරුසියේ අයිතිය අහිමි විය. බ්‍රිතාන්‍ය අණසක මෙහි පැතිරී යෑම පටන් ගත් විට මුරිසියස් දිවයිනට හොඳම කළ උදා විය. ආර්ථික හා සාමාජීය අතින් දියුණුවක් ඇති විය. මේ නිසා මෙහි සිටි ජනතාවට තම රට අන්සතු කර ගත්තේය යන හැඟීම ඇති නොවිණි.

1814 දී බ්‍රිතාන්‍යයට එය හිමිවීමෙන් පසු යළිත් කලින් නම භාවිතයට ගැණිනි. සිංහල එය කියැවෙන්නේ මුරුසිය යනුවෙනුයි. මුරුසියට ඇතුළත් තවත් දිවයින් කීපයක් තිබේ. රොඩ්රිගෝ, අගලේගා කාර්ය ඩෝස් ඒ දිවයින්ය. ඉංග්‍රීසි යටත් විජිතයක්ව පැවති මේ රට නිදහස් රාජ්‍යයක් බවට පත් වුයේ 1968 මාර්තු 12 වැනිදායි.

ලංකාවේත් මුරුසියට පිටුවහල් කරන ලද සිරකරුවන් මුරුසියට ගෙන එන විට බ්‍රිතාන්‍ය මුරුසිය යටත් කොටගෙන වසර 4ක් වත් ගත වී නැහැ. 1818 ප්‍රථම නිදහස් අරගලය අසාර්ථ වීමෙන් පසු යුද්ධාධිකරණය මඟින් පනවනු ලැබු දඬුවම්වලට මේ සිරකරුවන් ලක් වුහ. ඒ අතරින් ඇතැම්හු මරණ දඬුවම ලැබුහ.

සමහරු සිරදඬුවම් ලැබු අතර බොහෝ දෙනෙකුගේ දේපළ රාජසන්තක විය. තවත් සමහරු පවුල් පිටින්ම උඩරට ප්‍රදේශවලින් පිටමන් කරනු ලැබ කොළඹ, කළුතර සහ ගාල්ල වැනි තැන්වල රඳවනු ලැබුහ. උඩරට රාජ්‍ය සිරකරුවන් (Kandyan Prisoners) ලෙස හඳුන්වනු ලැබු සිරකරුවන් පිරිස මුරුසියට පිටුවහල් කළ සිරකරුවන් හැඳින්වූ නිල නාමයයි. ඉතිහාසයේ සඳහන් පරිදි 1819 මාර්තු 18 වැනිදා මුරුසි දූපතේ පෝට් ලුවී වරායට මුල්ම රාජ්‍ය සිරකරුවන් පිරිස ලිවර්පූල් නෞකාවෙන් ගොඩබැස ඇත. සිරකරුවන් කැටුව මුරුසියට ගොස් එහි පදිංචිව ඔවුන් රැක බලා ගැනීම ලෙෆ්ටිනන්ට් විලියම් ස්ටුවර්ට්ට බාර විය. ඔහු සිංහල ලියන්නට කියන්නට දත් සිංහලයන්ගේ සිරිත් විරිත් ගැන අවබෝධයක් ඇති සොල්දාදුවකු වශයෙන් ආණ්ඩුකාරයා විසින් මුරුසි රජයට හඳුන්වා දෙන ලදී. ලංකාවෙන් එවනු ලබන සිරකරුවන් පිළිබඳව මුරුසි රජයේ ආණ්ඩුකාරයාට සර් බ්‍රවුන්රිග් මෙසේ සඳහන් කොට ඇත.

"පිළිමතලව්ව, මත්තේමගොඩ ආදී පළමුවන පෙළේ සිරකරුවන් ගැන විශේෂයෙන්ම පරිස්සම් විය යුතුය. ඔවුන් ආපසු ලංකාවට පැන ආවොත් අපේ රජයේ කටයුතුවලට එය මහත් අවහිරයක් වනු ඇත. ලාංකික සිරකරුවන්ට බුලත් අවශ්‍යම දෙයකි. ඔහේදී මේවායේ අඟහිගකම් ඇති වන්නට ඉඩ ඇත. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මුරුසියේ උද්භිත උද්ද්‍යානයේ හෝ පැළ ටිකක් සිටුවා ඔවුන්ට ඒවා නිතිපතා ලැබෙන්නට සලස්වන්න."

ඇහැලේපොළ මුරුසියට පිටුවහල් කළ නායකයන් අතර සුවිශේෂි චරිතයකි. ඇහැලේපොළගේ බිරිය ඇතුළු දරුවන් බෝගම්බරදී ඝාතනය කරන ලදී. එහෙත් මානව හිතවාදී ශ්‍රේෂ්ඨ ජනනායකයෙක් වූ ඇහැලේපොළ මහ නිලමේ මහ අදිකාරම් ලෙස ඔහුට තිබුණ සියලු බලතල පාවිච්චි කරමින් ඊට පෙර ක්‍රි.ව. 1812 දී ළදරුවන් මරා දැමීම නීතියෙන් තහනම් කළේය. අසුබ කේන්ද්‍ර ඇති ළමයින්, වහලුන්ගේ ළමයින් මෙන්ම පවුලට අනවශ්‍යයි සැලකෙන කුමන ළමයෙක් හෝ මරා දැමීම නායක්කර් යුගයේ පැවැති සම්ප්‍රදායකි.

"මිනිසුන්ට හිරිහැර නොකළ යුතුයි. බුද්ධාගම රැකගත යුතුයි, සිංහල සිංහාසනය සිංහලයකුට උරුම කළ දිය යුතුයි. ඒ වෙනුවෙන් සටන් කරනවා". 1757 නවම් මස පුරපසළොස්වක් පොහොය දින ඇහැලේපොළ මහ නිලමේ උඩරට නිලමේවරුන් අමතා ප්‍රකාශ කොට ඇත.

ඇහැලේපොළ මහ අධිකාරම්ට සහ ඇහැලේපොළ කුමාරිහාමිට දාව දරුවෝ සිවු දෙනෙක් වූහ. නායක්කර් සම්ප්‍රදාය අනුව මොවුන් ඝාතනය කරන ලදී.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රෑර පාලනයෙන් රටත්, ජාතියත් මුදා ගැනීම පිණිස 1814 මැයි මාසයේදී සබරගමුවේ කැරැල්ල ආරම්භ විය. මේ කැරැල්ලට නායකත්වය දුන්නේ ඇහැලේපොළ මහ අධිකාරම් ඇතුළු උඩරට නිලමේවරුන්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ මහ අධිකාරම් කෙරෙහි දැඩි වෛරයක් ඇති වුණේ මෙම සබරගමුවේ කැරැල්ලෙන් පසුවය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 පෙබරවාරි මස 18 වැනි දින ඉංග්‍රිසි හමුදා සේනාංකයට අසුවිණි. 1815 මාර්තු 10 වැනිදා ගිවිසුම අස්සන් කර ඇත. උඩරට ගිවිසුම ආරම්භයේ සිට එහි වගන්ති ඉංග්‍රිසි පාලකයන් විසින් උල්ලංඝනය කර ඇත.

1829 අප්‍රේල් දෙවැනිදා ඇහැලේපොළ මහ නිලමේතුමා තම අන්තිම කැමති පත්‍රය මුරුසියේදී අත්සන් තබන ලදී. එහි මෙසේ සඳහන්ය.

මුරුසියේ පැම්පල් මුසාස්හිදී 1829 අප්‍රේල් 2 දා ලියා දෙන තෑගි ඔප්පුවේ වග නම්,

දැනට මාරක රෝගයකින් පෙළෙමින් සිටින ඇහැළේපොළ මහ නිලමේ වන මම, මා මෙහි කැඳවාගෙන ආ මගේ මෙහෙකාර ඩිංගිරියාට මට අයිති මුරුසියේ තිබෙන සියලු මුදල් හා බඩු බාහිරාදිය මෙයින් පවරමි. දැනට මහනුවර කච්චේරිය බාරව තිබෙන මාගේ සියලු මුදල් සහ දේපොළ දැනට මගේ අසරණ ඥාතියකුව සිටින පිළිමතලාවේ දිසාවටද භාර දෙනු ලැබේවා. එමෙන්ම මහනුවර කච්චේරියේ තිබෙන මගේ දේපොළවලින් පගෝදි 3,550 ක් ද මගේ ඇඟිලි බැඳි ලොකු මුද්ද හා සිංහල ඔරලෝසුව දොන් බස්තියන් මුදලිතුමාටද පවරාදෙන මෙන් ඉල්ලමි. මගේ ඇඳුම් සියල්ල මාලිගාවටය. මට අයිති ඩිංගිරියාද මෙයින් නිදහස් කර හරිමි. මගේ මුද්ද බැරි දොස්තර මහතාටය.

අස්සන් කළේ ඇහැළේපොළ මහ නිලමේ. මීට සාක්ෂි ඉහගම බබාසා.

ඇහැලේපොළ මහ නිලමෙගේ ඥාතිවරයකු වූ කොස්සින්නේ නිලමේ විසින් මහ නිලමේගේ සහ අනෙකුත් ඥාතිවරයන්ගේ ප්‍රයෝජනය පිණිස ආණ්ඩුවේ මාර්ගයෙන් මුරුසියට උපාසක ජනාලංකාරය, පූජාවලිය, ජාතක පොත් වහන්සේ, ධර්ම චක්‍ර පවත්වන සූත්‍රය සහ සතිපට්ඨාන සූත්‍රය යන පොත් 1826 පෙබරවාරි මාසයේ දී යවනු ලැබ ඇති බව සඳහන්ය. ඇහැලේපොළ මහ නිලමේ මුරුසියේදි මිය යාමෙන් පසු භෂ්මාවෂේෂ තැන්පත් කළ සොහොන් කොත ද එදා යටත්විජිත ආණ්ඩුව විසින් ගොඩනඟාගෙන ඇත්තේත් මුරුසියේය. එහි ඉංගිරිසියෙන් හා සිංහලෙන් මෙසේ සඳහන්ය.

'අනිච්චාවත සංඛාරා අවුරුදු 57ක් වසක් වී 1829 අප්‍රේල් 4 වැනි දින කලුරිය කළ මහනුවර රජතුමාගේ අගමැතිව සිටි ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාසල මුදියන්සේ ගරු සම්මානයෙන් සිහිපත් කිරීම පිණිසයි."

වරක් එක් කොටසක රඳවා සිටි ලංකාවේ මේ සිරකරුවන් ලංකාවට වාර්තාවක් එවමින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. මේ කැරැල්ලට තමන්ට සම්බන්ධ වීමට සිදුවූ හේතුව එහි පැහැදිලිව දක්වා ඇතත් එහි ඇහැළපොල නාමයක් සඳහන් වන්නේ නැත. පිළිමතලාව ඇතුළු අනිකුත් සිරකරුවන් ලෙස ලංකාණ්ඩුවට මේ පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ මේජර් හෙන්රි බේට්ස් විසිනි.

සිංහලේ රජතුමා එක් පවුලකට සීමා වී නොමැත. ඒ උතුම් පදවිය පුරවාලීමේ දී අපේ නායක උන්වහන්සේලාගේ ද අදහස් විමසා බැලීමෙන් පසු උන්වහන්සේලාගේ අනුමැතිය පරිදි රටේ ප්‍රධාන රදළවරුන්ගේ ඡන්ද බලයෙන් එසේ පත් කර ගනිති.

රටේ සම්මත නීති ප්‍රකාර රජ අණක් කඩ කිරීමට තරම් සැහැසි වන යම් රදල කෙනෙක් වෙතොත් ඒ අවාසනාවන්ත තැනැත්තා ඉතා ක්‍රෑර වූ වධ බන්ධනවලට පමුණුවා මරා දමනවා පමණක් නොව ඒ අයගේ මුළු පවුලත් අවශ්‍ය ඥාතීනුත් ඔහු ඉදිරියේම වධබන්ධනවලට පැමිණවීම සිරිතයි.

කැරැල්ල ආරම්භයේදී ප්‍රධාන රදළවරුන්ගේ සහ මහා සංඝ රත්නයේ සම්මතය පරිදි රජතුමෙකු පත් වූ අවස්ථාවේ එතුමන් ඉදිරියට සියලුම රදළවරුන්ගේ පැමිණීම අවශ්‍ය බවට නියෝග ලැබී තිබුණි. ඔබතුමන්ගේ කීකරු පෙත්සම්කරු වූ අපි ද රටේ සම්මත නීතිවලට ගරු කිරීමක් වශයෙන්ද, රජතුමාගේ ඒකාධිපති බලය කරන කොටගෙන අපේ පවුල්වලට මුහුණ දීමට විය හැකි බරපතළ ආපදාවන් ගැනද සලකා, රජතුමාගේ පැත්ත ගෙන ඉංග්‍රීසි ආණ්ඩුවේ සතුරන් බවට පත්වීමු. නමුත් වැඩිකල් නොයාම අපි අපේ මෝඩකම් වටහා ගතිමු.

අප පිටුවහල් කිරීමට හේතු වූ හේතුව ද මෙයයි. අපට ඔබ වහන්සේගේ කරුණා මහිමතාවෙන් ජීවිත දානය දී ඇතත් අපි දැන් ඉතා දුක්ඛිත තත්ත්වයකට වැටී සිටිමු. නොතේරෙන භාෂාවක් කතා කරන ජනතාවක් සිටින දුර රටකට අපිව ගෙනවිත්, අපගේ දරු මල්ලන් සහ ගේ දොරවලට අහිමිව ගත කරන්නට ඇති ඉදිරි කාලය ගැන සිහිවන හැම අවස්ථාවකම අපට වාවා ගත නොහැකි තදබල දුකක් ඇති වේ. ඒ ගැන සිහිවන සමහර අවස්ථාවල අපට අපේ ජීවිත විනාශ කර ගැනීමට පවා සිතේ.

කාරණය මෙසේ බැවින් අප ඉතා යටහත් පහත් භාවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනුයේ අප කළ වරදවලට සමා වී අපේ දරු මල්ලන් ඉඳහිටවත් දැකගැනීමට හැකිවන සේ ලංකාවට ගෙන ගොස් එහි ඕනෑම ප්‍රදේශයක අප හිර කර තබන ලෙසයි. මෙසේ අපට අනුකම්පා දක්වා ආපසු ලංකාවට ගෙන ගියහොත් ඔබතුමන්ගේ ගොවැර්ණමේන්තුවට පක්ෂපාතිව සිටීමට ද අවසාන වශයෙන් පොරොන්දු වෙමු."

මේ අතර මුරුසියට පිටුවහල් කරන ලද සිරකරුවන් පස්දෙනකු නිදහස් කිරීම ගැන ද අතීතයේ සටහන්ව ඇත. තුන්පනේ වෑත්තෑවේ රටේ මහත්තයා, ඌවේ රහුපොළ පිහිනරාළ, ඌවේ වත්තේකැලේ මොහොට්ටාල, සබරගමුවේ දෙමෝදර මොහොට්ටාල සහ සතරකෝරළයේ කෙම්පිටිය කෝරාළ යන අයවලුන් නිදහස ලැබ "තිමන්ඩ්‍රා" නම් නැවෙන් 1824 නොවැම්බර් මස 16 වන දින ලංකාව බලා පිටත්ව ගොස් ඇත. මේ අය පැමිණි නැවට 45 දවසකට සෑහෙන ආහාර ද්‍රව්‍ය පටවන ලදී. මෙම බඩු තොගය අතර හාල් රාත්තල් 650, පොල්ගෙඩි 225, එළවළු රාත්තල් 337, විස්කෝතු රාත්තල් 54 1/4, දුම්කොළ රාත්තල් 161, පුවක් 1800, බුලත් තොගයක් සහ ලුණු දැමූ මාළු (ජාඩි) රාත්තල් 60 ක් ද අඩංගු වූ බව සඳහන්ව ඇත. මෙහි අදහා ගත නොහැකි කාරණය වන්නේ වසර 199කට පෙර විස්කෝතු නිෂ්පාදනය කොට තිබීම සටහන් වීමය. ලංකාවට බිස්කට් ආගමනය වූ සන්දියේ මේ සිලෝන් එකේ ඒවා හඳුන්වා ඇත්තේ 'ලෑතර' ලෙසය.

මුරුසියේ සිරභාරයේ සිටි අපේ ඇත්තන්ට ආගමික කටයුතු සඳහා වෙනම ස්ථානයක් සාදා දෙන ලෙස දිනක් මත්තෙමගොඩ නිලමේ ස්ටුවර්ට්ගෙන් ඉල්ලා ඇත. ඉල්ලීම ගැන ලංකාණ්ඩුවට වාර්තා කළ පසු ආණ්ඩුකාරතුමා එයට අනුමැතිය දෙමින් හිරකරුවන්ගේ ආගමානුකූල කටයුතු සපරාලීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ බුදු පිළිමයක් ද එහි යැවීමට පොරොන්දු වී ඇත. එහෙත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා යැවීමට වූ පොරොන්දුව ඉටු කළ බවක් පෙනෙන්නට නැත. සිරකරුවන් සඳහා සෑදීමට අනුමැතිය ලැබුණු පිළිමගෙය පවුම් 550කට පමණ මුදලක් වැයකොට 1820 දෙසැම්බර් මාසයේදී මුරුසි රජය මඟින් සාදා නිම කොට ඇත. මේ මුරුසියට පිටුවහල් කළ ලංකාවේ මුල්ම නිදහස් සටනේ සටන්කාමීන්ගේ වත්මන් පරපුර තම ඥාතීන් සහ දේපළ ගැන කරන ඉල්ලීම් නිදහසින් පසු බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වී වසර 70ක් නික්ම ගියත් විසඳාගත නොහැකිවීම කනගාටුවට කරුණකි. 1948 දී අපට නිදහස ලබා ගන්නට මුල් වෙඩි මුරය පත්තු කළේ මේ විරුවන් විසිනි. මේ විරුවන් සටන් කළේ මේ රටේ පොදු ජනතා නිදහස වෙනුවෙනි. එහෙත් අවසානයේ සිදු වූයේ ඔවුනට සිරකරුවන් ලෙස මුරුසියේ සිරගත වන්නට හා ඔවුනගේ උරුමක්කරුවන්ට තවමත් විසඳාගත නොහැකිව ඇති නීතිමය ප්‍රශ්න ගොන්නක පටලවා තම මානසික 'නිදහස' උදාකර ගන්නා තුරු බලා සිටින්නට වීමත්ය.

Comments