
මගේ ගමනට ලොකු හයියක් එයාගෙන් ලැබෙනවා
වේදිකා නාට්‍යවලට මම ලොකු තැනක් දෙනවා
වේදිකාවත් පුංචි තිරයත් එක ලෙස ජයගත් ඇය මේ වන විට හඬ කැවිම් ක්ෂේත්රයේත් දිගු ගමනක් ගොස් හමාරයි. 1995 වර්ෂයේ සිට හොඳම නිළිය ඇතුළු කුසලතා සම්මාන රැසක් දිනා ගන්නා ඇය අරුන්දතී, කබල් ජෝඩුවක්, හොරු සමඟ හෙළුවෙන්, වාසුදේව, මල්සර බිසව් වැනි වේදිකා නාට්‍ය රැසකට මෙන්ම රන්දුණු, කලුවර අඳුන, සත්පුරවැසියෝ, දෙපත්නයි, නාඩගම්කාරයෝ, සිහින ගෙනෙන කුමාරියේ, සංසාරිණී ඇතුළු ටෙලි නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගෙන තිබෙනවා. ඇය නමින් හෂිනිකා කරලියැද්දයි.
ඔබ වේදිකාවත් පුංචි තිරයත් එක ලෙස ජයගත් කෙනෙක් ඒ ගැන කතා කළොත් ?
මම වේදිකාවෙත් පුංචි තිරයෙත් රංගනයේ යෙදෙනවා. ඒ ඒ අවස්ථාවලදි රංගනයේ යෙදෙන ක්‍රමය තමයි වෙනස් වෙන්නේ. රංගනය තමයි මගේ ආසම වෘත්තිය. මම මුලින්ම රංගන ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ වේදිකාවෙන්. ඇත්තටම වේදිකාවෙන් ඉගෙන ගත්ත දේවල් නිසා තමයි අද අපේ පැවැත්ම තියෙන්නේ. සමහර වෙලාවට මම ටෙලි නාට්‍ය අතහැරලා වේදිකා නාට්‍යවලට ගිහිල්ලා තියනවා. ඒවගෙන් ලොකු මුදලක් ලැබෙන්නෙත් නෑ. නමුත් වේදිකා නාට්‍යවලට මම ලොකු තැනක් දෙනවා.
ඔබ මුලින්ම වේදිකාවට ප්‍රවේශ වෙන්නේ කොහොමද ?
පුංචි කාලේ ඉඳන්ම මම වේදිකාවට හරිම ආසයි. නමුත් ඒකට ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණෙත් නෑ. කොහොම හරි කුරුණෑගල ජනතා වේදිකා වීදි නාට්‍ය කණ්ඩායම හරහා කරපු වර්ක් ෂොප් එකකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක සංවිධානය කරලා තිබුණේ ගාමිණි හත්තොටුවේගම ඇතුළු කණ්ඩායම. අවුරුද්දක් වගේ ඒ වැඩමුළුව තිබුණා. එහි ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් මම නාට්‍යවල වැඩ කළා. ඊට පස්සේ මම කොළඹට එනවා. ඒත් නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වෙන්න. මාස 6ක් වගේ ඒ වැඩමුළුව තිබුණා. ඊට පස්සේ මට අවස්ථාව ලැබෙනවා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. ඒ විදියට තමයි මම වේදිකාවට සම්බන්ධ වෙන්නේ.
හෂිනිකාට හඬ කැවීම් සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. මේ කියන්නේ අනූනවයේ අවුරුද්දේ අරුන්දතී නාට්‍යයේ රිහසල් කරන කාලේ. මගේ ඟූාති සහෝදරියක් හිටියා, මම එයාට කියන්නේ සුදු නංගි කියලා. එයා හඬ කැවීම් ක්ෂේත්රයේ ඒ වෙද්දිත් හිටිය කෙනෙක්. එයා හරහා මට සිරස නාලිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වෙලාවේ ඩිරෙක්ටර් හිටියේ ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද. ඒ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම කෙනෙක් මාව හඬ කැවීම් ශිල්පිනියක් කියලා හඳුන්වනකොට මට සතුටුයි. මම හඬ කැවීම් ක්ෂේත්රයට ආපු මුල් කාලේ මට ලැබෙනවා චිත්ති කියලා දෙමළ නාට්‍යයක පභා කියන නපුරු චරිතයකට හඬ කවන්න. මම වොයිස් කරලා පිටකොටුවෙන් බැහැලා කුරුණෑගල බස් එක ගන්න යනකොට කඩ පේළිවල ඉන්න අය අන්න පභා යනවා කියලා කියනවා මට ඇහෙනවා. ඉතිං එයාලා මගේ කටහඬින් මාව අඳුනගෙන තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි.
කොහොමද ඔබේ සහකරුවා මුණගැහෙන්නේ ?
එදා ඡන්දෙට නාම යෝජනා භාර දෙන දවසක් මම බස් එකෙන් කොළඹ ඉඳලා කුරුණෑගල යන ගමන් හිටියේ. මඟදී පාරවල් වහලා බස්වලින් බහින්න සිද්ධ වුණා. එතැන මල්ලි කෙනෙක් හිටියා. එයා මගෙත් එක්ක කතා කළා. මමත් හොඳින් කතා කළා. අපි බස් එකෙන් බැහැලා පයින් තමයි ගියේ. මම නුවර බස්වල තමයි යන්න ඕන. මම යන බස් එකේම ඒ මල්ලිත් නැග්ගා. අපි කතා බහ කරමින් තමයි ගියේ. පස්සේ ඒ මල්ලි මගෙන් නම්බර් එක ඉල්ලුවා. මම මගේ බෝඩිමේ නම්බර් එකක් දුන්නා. ටික දවසක් ගියාට පස්සේ මට කෝල් එකක් එනවා මතකද මාව කියලා අර මල්ලිගෙන්. මම මතකයි කියලා කතා බහ කළා. පස්සේ ඒ මල්ලි අක්කේ මගේ අයියා කෙනෙක් ඉන්නවා එයා ඔයාට ගොඩක් කැමැතියි පොඩ්ඩක් ඉන්න මම එයාට දෙන්නම් කියලා කෙනෙක්ට දුරකතනය දෙනවා. ඒ තමයි කුමාර මගේ සැමියා. අපි කතා බහ කළා. පස්සේ අපි දෙන්නටම කැමැත්තක් ඇති වුණා. මුලදි නම් ගෙදරින් අපිට අකමැති වුණා. ඒත් පස්සේ එයාලා කැමැත්ත දුන්නා. දැන්නම් අපේ ගෙදර හැමෝම මටත් වඩා එයාට කැමැතියි. මගේ ජීවිතේ මගේ ගමනට ලොකු හයියක් එයාගෙන් ලැබෙනවා. එයා වගේ කෙනෙක් ලබන්න මම ඇත්තටම වාසනාවන්තයි.
නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පීන් වගේම ආධුනික රංගන ශිල්පීන් එක්කත් ඔබට ගනුදෙනුකරන්න සිද්ධ වෙනවා කොහොමද ඒ අත්දැකීම ?
ඇත්තටම නවක ශිල්පීන් කියලා වෙනසක් දැනුණේ නෑ. අපි අපේ දරුවන්ගේ අඩුපාඩු තියන කොට ඒවා ආදරෙන් කියලා දෙන්නේ ඒ වගේ කතා කරලා ඒ අඩුපාඩු හදාගෙන තමයි අපි ඒ නිර්මාණය කළේ. මම අලුත් කෙනෙක් ආවත් හරි සුහදව කතා කරනවා. හැබැයි සමහර අය ඉන්නවා අපිව දැක්කම මුහුණ බලලා කතා කරන්නේ නෑ. එහෙම අයට නම් ඇත්තටම මම කතා කරන්න යන්නේ නෑ. හොඳින් කතා බහ කරලා ඉන්න අයට මම හොඳින් කතා කරලා ඉන්නවා. අපි ප්‍රවීණයෝ කියලා ආඩම්බරෙන් ඉන්න ගියොත් ඒ ආධුනික ළමයි වැටෙනවා. රංගනයේදී මනස හරිම නිරවුල්ව තියෙන්න ඕන. කෙනෙක් දෙයක් කිව්වම ඒක අහන්න අපි නම්‍යශීලී වෙන්න ඕනේ. රංගනයේදී නවකයෝ ද ප්‍රවීණයෝ ද කියලා වෙනසක් නෑ. මනස හරිම නිරවුල්ව තියාගන්න එකයි වැදගත්. ගෙදර ප්‍රශ්න ඔළුවේ තියාගෙන රංගනයේ යෙදුණොත් අපේ රංගනය ඇතුළේ ඒක පේන්න ගන්නවා. අපි හැමෝම ටීම් එකක් විදියට වැඩ කළේ පුදුම සහයෝගයකින්. මම මේ වෙද්දි නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙලා තියනවා. හැබැයි නාඩගම්කාරයෝ කියන්නේ මගේ රංගන ජීවිතයට ලැබුණු භාග්‍යයක්.