
එය අපූරු සැඳෑවකි. පසුගියදා තිරගත වීම ඇරඹූ “සහෝ“ සිනමාපටයේ ගීත නිර්මාණ ප්‍රේක්ෂක හදවත්වලට තව තවත් සමීප කළ සොඳුරු සැඳෑවකි.
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමාපටය වන “සහෝ” හි ඇතුළත් මියුරු ගීත ද්විත්වය එළිදැක්වීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (4) වනදා සවස 6.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි. මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු අමුත්තෝ රැසක් සහභාගී වූහ.
ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණගේ මෙහෙයවීමෙන් පැවතුණු මේ අවස්ථාව සඳහා ආරාධිත දේශකයන් ලෙස සහභාගී වුණු ප්‍රවීණ මාධ්‍යවේදී, විචාරක බුද්ධදාස ගලප්පත්ති “සහෝ” තේමා ගීතය වූ “පාට පාට හීන“ ගීතය ගැන අපූරු විවරණයක් කළේය.
චිත්‍රපටයකට ගීතයක් අවශ්‍ය ඇයි යන පැනයට පිළිතුරු සපයමින් සිය විවරණය ඉදිරිපත් කිරීම ඇරඹූ ඔහු, අතීත චිත්‍රපට ගීත ද උදාහරණයට ගනිමින් සහෝහි ගීතමය අවශ්‍යතාව ඉස්මතු කළේ ය. අහස්ගව්ව චිත්‍රපටයේ ඉරා අඳුරු පට ගීතය, හන්තානේ කතාව චිත්‍රපටයේ සරා සොඳුරු මල් පැටලී, අනන්ත වූ දෙරණ සරා, දුහුල් මලක්හි රන්කෙන්දෙන් බඹරු ඇවිත්හි උදුම්බරා, දුලීකාහි සීත රෑ යාමේ වැනි ගීත නිසාවෙන් එම චිත්‍රපට ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන නිර්මාණ වූ බව පැවසූ ඔහු චිත්‍රපටයකට ගීතයක් අවශ්‍ය වන්නේ එහි කතා වින්‍යාසය හා චිත්‍රපටයේ තිර පිටපතෙන් එය ඉල්ලා සිටින්නේ නම් පමණක් බව ද පැවසීය. බලෙන් චිත්‍රපටයකට ගීතයක් ඇතුළත් කිරීම අනුචිත බව ඔහුගේ අදහස විය. සහෝ චිත්‍රපටයේ පාට පාට ගීතය මෙහි තේමාව හා සමගාමීව යමින් චිත්‍රපටයට නව ප්‍රාණයක් හා අර්ථවත් බවක් එක්කරමින් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන්නට ඉවහල් වනු ඇති බව ද ඔහුගේ අදහස විය.
“සහෝ” හි අනෙක් ගීතය වූ “සිහිනෙකි සොයන” ගීතය පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් පවසා සිටියේ චිත්‍රපටයක් ගීතයකින් කොතරම් දුරට ඔපවත් වන්නේ ද යන්න පිළිබඳවය. තාරුණ්‍යයේ විවිධ පැතිකඩ නිරූපණය කරන චිත්‍රපට ගීත ගැන සිහිපත් කිරීමක් කළ ඔහු ඒවා මඟින් තාරුණ්‍යයේ ජීවය රඳා පැවැත්වමින් ශෘංගාරය හා ප්‍රේමය ගලා ගිය ආකාරය සිහිපත් කළේය. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ තරුපති මුණසිංහ සහ අධ්‍යක්ෂක ඇතුගල කතිකාවතක යෙදී අද තිබෙන තාරුණ්‍යයේ වේගය සහ ජවය මෙම ගීතවලට ගෙන ඇති බව ද මහාචාර්ය අභයසුන්දර වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් විශ්වවිද්‍යාල සංස්කෘතිය වටා ගෙතුණු “සහෝ” හි දේශපාලනික, ආර්ථික සහ සමාජයීය කටයුතු අතරෙන් ගලාගෙන යන්නා වූ ආදරය තුළ ශෘංගාරය පවතින බව ද තාරුණ්‍යයත් හා මනුෂ්‍යයාත් සමඟ ශෘංගාරය වෙළී නැත්නම් එහි ජීව ගුණයක් නොමැති බව ද පැවසීය. රාත්‍රී දර්ශනයක් ලෙස දිස්වන මෙම ගීත ජවනිකාව තුළ ඒ සියලු ගුණ පවතින බව පැවසූ ඔහු අතීතයේ මෙන්ම අද හා හෙට ද තාරුණ්‍ය හීන දකින බව ද වැඩිදුරටත් පැවසීය. තරුපති මුණසිංහගේ සංගීත ස්වරයට ඉන්ද්‍රචාප ලියනගේ සමඟින් උපේඛා නිර්මාණිගේ තරුණ්‍යයේ හඬ එක්වීමෙන් එහි පවතින ජවය, ගතික ස්වභාවය හා නූතන තාරුණ්‍ය ඒ ඔස්සේ ප්‍රතිබිම්බනය වන බව සිතුණු බවත් එය මෙය චිත්‍රපටය තුළ කතා කරන වස්තු විෂය හා ප්‍රස්තුතයත් සමඟ අපූරුවට ගැළපෙන බව ද පැවසීය.
පුංචි තිරයට සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුන්බිය, සූසැට මායම් සහ සමනල කඳවුර මෙන්ම වේදිකාවට මහ සමයම සහ මහ සුපින ද දායාද කළ මහාචාර්ය ආරියරත්න ඇතුගල අසූව දශකයේ මුල් භාගයේ දී නිර්මාණය කළ නටත් අයෙක්, සිනා කඳුළක් වැනි කෙටි චිත්‍රපට තුළින් ඔහු සතු සිනමාකරණ රීතිය පිළිබඳ මනාව පිළිබිඹු කරනු ලැබීය.
මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමාගමනය පසුගියදා සිදු වුණේ තිස් වසරකට අධික සිය සරසවි අත්දැකීම් ඇසුරෙන් නිමැවුණු “සහෝ“ සිනමාපටය හරහායි. ශිෂ්‍ය දේශපාලනය, ප්‍රේමය, ලිංගිකත්වය, අධ්‍යාපනයේ නීරස බව, ආර්ථික හා සමාජ පීඩනය මෙහි ප්‍රස්තුත වෙයි.
මෙම සිනමාපටයට දසුන් පතිරණ, ජගත් මනුවර්ණ, ඩිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ සහ නිවර්තනා දේවගේ රංගනයෙන් එක් වී සිටිති.
මහාචාර්ය ඇතුගලයන්ම තිර රචනය කර ඇති මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහගෙනි. තරුපති මුණසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද ඉලේකා රුවන් පතිරණ විධායක නිෂ්පාදනයෙන් ද ගයාන් මධුසංඛ නිෂ්පාදන සැලසුමෙන් ද වේශ නිරූපණයෙන් ලක්ෂික සංඛපාල ජයකොඩි සහ ඇඳුම් නිර්මාණයෙන් මනෝරි චන්ද්‍රදාස සහ කලා අධ්‍යක්ෂණයෙන් ගයාන් මධුශංක ද සහෝ සිනමාපටයට දායක වී තිබේ.
අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක ශ්‍රී ලංකාව නියෝජනය කළ “සහෝ” සිනමාපටයේ නිෂ්පාදන දායකත්වය දරන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී ප්‍රේමසිරි හා රවින්ද්‍ර ගුරුගේ ය. “සහෝ” සිනමාපටය මේ මස 7 වැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වීමට නියමිතය.