
සිනමා සිත්තමක නළුවකු මෙනෙහි කරන තැන් හී, කොයි කාගේත් මනසේ මැවෙන්නේ, රූප ශෝභාවෙන් අගතැන්පත් රූපකායක්. සිංහල සිනමාව බැබළවීමට බොහෝ සේ ඉවහල් වූයේත්, එවැනි රූපකායන්ගෙන් හෙබි නළුවන්. ඇතැමුන් එම නළුවන් හැඳින්වූයේ, සිනමාවේ සිහින කුමරුන් ලෙසින්. ඒ සමඟම රූපකායන් නොමැති, එහෙත් රංග පෞරෂයෙන් හෙබි නළුවන් කරළියට පැමිණීමත් සමඟ සිංහල සිනමාවට ගෙන දුන්නේ, නව ප්‍රාණයක්. මෙරට සිනමාලෝලීන්ගේද නොමඳ ආකරෂණය දිනාගනිමින් අතළොස්සක් පමණ වූ එවැනි නළුවන් අතුරින් ජ්‍යෙෂ්ඨ රංගධර අමරසිරි කලන්සූරියට හිමි වූයේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන් මෙරට ජන සමාජයේ පීඩිත පන්තියේ තරුණයන්ගේ චරිත මැනවින් නිරූපණය කර, සිනමාලෝලීන්ට සමීප වූ ඔහු යථාර්ථවාදී රංගනයේ හැරවුම් ලක්ෂ්‍යයේ හිමිකරුවකු ලෙසත් හැඳින්වීමට පුළුවන්. ඔහු රඟපෑ බොහෝ නිර්මාණවල ඔහු සමඟ රංගනයේ යෙදුණු සෙසු නළුවන් අබිබවා යාමට ඔහු සමත් වූ බවක් පෙනී යයි.
සිංහල සිනමාවේ සාම්ප්‍රදායික නළුවන්ට අභියෝග කරමින්, සිනමාලෝලීන්ගේ මතකයෙන් ඈත් නොවන නිර්මාණ ගණනාවකට රංගනයෙන් දායක වූ අමරසිරි කලන්සූරිය උපත ලැබුවේ වර්ෂ 1940 දී. ඒ මහනුවර මීපාවල ගම්මානයේ, කලන්සූරියගේ පියාණන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඔහු නමින් කලන්සූරිය ෆ්‍රැන්සිස් අප්පුහාමි. බෙංගමුව ආරච්චිගේ පොඩි හාමිනේ ඔහුගේ මෑණියන් ය. ඔහුට සිටියේ එක් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරයන් දෙදෙනක් පමණයි.
කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති විද්‍යාලයෙන් සහ පේරාදෙණිය ශාන්ත ක්‍රිස්ටෝපර් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීම ආරම්භ කළ කලන්සූරිය වැඩිදුර අධ්‍යාපනයට පිවිස ඇත්තේ මහනුවර කීර්තිමත් විද්‍යාලයකට. ඒ ධර්මරාජ විද්‍යාලයටයි. එම විද්‍යාලයේ දී ඔහු අධ්‍යාපනයට වඩා මුල් තැනක් දී තිබුණේ ක්‍රීඩා කටයුතුවලටයි. මලල ක්‍රීඩාවල නියුතු වී ඇති ඔහු ජයග්‍රහණ ලබමින් ක්‍රීඩා කෞෂල්‍යයන් මැනවින් ප්‍රකට කළේ බොක්සිං ක්‍රීඩාව තුළින්. සිනමාවේදීත් ඔහු නිරූපණය කළ ඇතැම් සටන් ජවනිකා සාර්ථක කර ගැනීමටත්, බොක්සිං ක්‍රීඩාව මහත් සේ ප්‍රයෝජනවත් වූ බවයි ඔහු බොහෝ අවස්ථාවල පැවසූයේ.
පාසල් දිවිය නිමා කළ කලන්සූරියට කලා ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට මත්තෙන් වෘත්තීන් කිහිපයකම නිරත වීමට සිදු වේ. ඔහු වරෙක ගල් කඩන ස්ථානයක කම්කරුවකු ලෙසත්, මහනුවර කැෆේ එකක සහ චිත්‍රාගාරයකත් සේවයේ යෙදී තිබේ. එවක මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම ඡායාරූප සංගමයක සාමාජිකයකුවූ රංජිත් පෙරේරා නිර්මාණය කළ
“රැයත් දවාලත්” චිත්‍රපටයෙහි ප්‍රධාන නළුවා වී ඇත්තේ, කලන්සූරියයි. එමෙන්ම ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවෙහි සෙබළකු ලෙස සේවයට එක් වන විට කලන්සූරියට වයස අවුරුදු 18 කි. “මයි ඉන්” ඔහු විසින් ආරම්භ කළ ප්‍රධානම රෙදිපිළි ව්‍යාපාරයයි. මෙම අවධියේ දී ඔහුට යුගදිවියට එළඹීමටද අවස්ථාව උදා වී තිබේ. ඒ අජන්තා තලතා කුමාරි ඒකනායක සමඟය. පසුව මෙම යුවළට පුතෙකු සහ දියණියන් දෙදෙනකු ද ලැබී තිබේ.
අමරසිරි කලන්සූරිය සිනමාලෝලීන් පමණක් නොව, බොහෝ සිනමාකරුවන් ද හඳුනාගනු ලැබුවේ, ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජගේ මඟපෙන් වීමෙන් සම්බන්ධ වූ “හන්තානේ කතාව” චිත්‍රපටයෙන්. වර්ෂ 1969 දී කලන්සූරිය සමඟම සිනමාවට අවතීර්ණ වූ ජනකාන්ත රංගධර විජය කුමාරතුංගයන් ද රඟපෑ “හන්තානේ කතාව” ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතාගේ නිර්මාණයක්. එලෙසින්ම ඔහු ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ “අහස් ගව්ව” සහ “බඹරු ඇවිත්”, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “අක්කර පහ”, ප්‍රවීණ සිනමාවේදී එච්. ඩී ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ “අපේක්ෂා” ප්‍රවීණ මාධ්‍යෙව්දීයකු වූ ධර්මසිරි ගමගේ විසින් අධ්‍යක්ෂණය කළ “පූජා” චිත්‍රපටයෙත් ඉටු කරනු ලැබුවේ දුර්ලභ ගණයේ රංගන කාර්යයන්. ඒ අනුව කලන්සූරියට සම්මාන ගණනාවකටම හිමිකම් කීමට අවස්ථාව උදා වූවා. ඒවාගේම මෙරට නිෂ්පාදිත ප්‍රථම රූපවාහිනී ටෙලි නාට්‍යයේ රඟපෑමේ භාග්‍ය ද උදාකර ගනු ලැබුවේත්, අමරසිරි කලන්සූරිය විසින්. ඒ ප්‍රවීණ සිනමා සහ රූපවාහිනී ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු වූ ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන් ගේ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයට දායක වෙමින්.
අමරසිරි කලන්සූරිය වූ කලී දුක් කම්කටොලු මධ්‍යයේ අප්‍රතිහත ධෛර්යකින් ස්වකීය රංගන දිවිය තරණය කළ ගෞරවනීය නිර්මාණකරුවෙක්. වර්තමානයේ රංගන ක්ෂේත්‍රයට ප්‍රවේශ වී දිගු ගමනක් යාමට අපේක්ෂිත නවකයන්ට වැඩිදුරටත් ඔහු පිළිබඳ අධ්‍යයනය තුළින්, ලබා ගත හැකි ආදර්ශ ඉමහත්. සෑම විටම විරල ගණයේ නිර්මාණවලට දායක වී, රසික සිත්වලට ආනන්දයක් ගෙන දුන් ඔහු මෙදවසෙහි ජීවන ගමන නිමා කළ ද, ඔහුගේ නාමය සහ නිර්මාණ මෙරට කලා ක්ෂේත්‍රය තුළ තවත් දීර්ග කාලයක් නොනැසී පවතිනු ඇත.