
ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වුණු අඳුන්ගිර ටෙලි නිර්මාණයේ පත්මාගේ චරිතය නිරූපණය කරමින් මෙවර රයිගම් සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනාගත්තේ නයෝමි තක්ෂිලාය. රන්තිලිවැව මුතුමැණිකා, නීලපබළු හි පූජා මෙන්ම මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානුහි නිත්‍යා ද ඇයයි. එකිනෙකට වෙනස් අභියෝගාත්මක චරිත ඔස්සේ නිරතුරුවම පුංචි තිරයේ දිස්වන ඇය සමඟයි අද අපේ පිළිසඳර.
2022 රයිගම් සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි වුණේ නයෝමිට. ඒ මොහොත ගැන සිහිපත් කළොත්?
ඇත්තටම ගොඩක් සතුටුයි. 2019 සුමති ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියට සම්මානිත වුණත් හොඳම කියන කැටගරි එකට මෙතෙක් මාව නිර්දේශ වෙලා තිබුණේ නැහැ. මෙවර රයිගම් සම්මාන උලෙළේදී මට ඒ අවස්ථාව ලැබුණා. ඒ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ඉන්දික ධර්මතිලකගේ අඳුන්ගිර ටෙලි නාට්‍යයේ පත්මාගේ චරිතයට. ඒක මං ලොකු කැපකිරීමක් කරලා කරපු දුෂ්කර චරිතයක්. ඒවගේ චරිතයක් වෙනුවෙන් ඕනෑම කෙනෙකුගේ හිතේ සම්මානයක හීන ඇතිවෙනවා. ලැබුණු හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා මටත් ඒ ආසාව නොතිබුණාම නොවෙයි. ඒත් මං හිතුවා මං තාමත් මේ ක්ෂේත්‍රයට ආධුනික නිසා මට ඒ අවස්ථාව ලැබෙන එකක් නෑ කියලා. වාසනාවකට මට ඒ අවස්ථාව ලැබුණා.
ඔබට අඳුන්ගිරේ පත්මා වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
රන්තිලිවැව නිෂ්පාදනය කළ නුවනි වලිමුණි අක්කා එක්ක මං වැඩ කරලා තිබුණා. එයා තමයි මේ සඳහා මාව තෝරගෙන තිබුණේ. අඳුන්ගිර අධ්‍යක්ෂණය කළ ඉන්දික ධර්මතිලක අයියත් ඒකට කැමැති වෙලා තිබුණා. ඒ විදිහට තමයි මං අඳුන්ගිර පත්මා වුණේ.
හොඳම කියන කැටගරි එකට තේරෙන්න නම් චරිතයක් තුළ විශේෂත්වයක් තිබිය යුතුයි. පත්මාගේ චරිතයේ තිබුණු විශේෂත්වය මොකක්ද?
පත්මා කියන්නේ කසාද බැඳලා ගිහින් ස්වාමියා මැරුණට පස්සේ නැවතත් තම මව ළඟට එන ගැහැනියක්. කනවැන්දුම් ගැහැනියකට සමාජයේ ජීවත් වෙන්න අසීරුයි. ඇය සිය සොයුරියගේ සැමියා එක්ක යාළු වෙනවා. සමාජයේ ගැරහුම්වලට ලක්වෙනවා. ඔය වගේ ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන චරිතයක්. තනියම දඩයමේ යන, වහලවල් උඩ නැගලා පොල් අතු සෙවිලි කරන කාෂ්ටක ගැහැනියක් ඇය. ඒ චරිතය තුළ දුෂ්කරතා තිබුණ නිසා ලොකු කැපකිරීමක් කරන්න වුණා.
ඒ වගේ චරිතයක් කරද්දී අනිවාර්යයෙන්ම අමතක නොවන සිදුවීම් ඇති. ඒ ගැනත් සඳහන් කරමු?
ඔව්. මේක රූගත කළේ අනුරාධපුරේ. රූගත කළ සමහර තැන්වල වන අලි ගැවසුණා. එක දවසක් ෂූටින් ඉවර වෙද්දි ටිකක් රෑ වුණා. මිනිස්සු කිව්ව රෑ වෙද්දි වන අලි එනවා ඉක්මනින් යන්න කියලා. අපිත් ඉතින් බයවෙලා ඉක්මනින් බඩුත් පැක් කරන් බස් එකට ආවා. තව දවසක් අපි රූගත කරන තැනින්ම අලි යනවා දැක්කා. අපි බයවෙලා කෑගැහුවා. ඔය වගේ අත්දැකීම් ලැබුවා.
ඔබට ගොඩක් ලැබුණෙ දුෂ්කර ගැමි චරිත. ඔබ ඒ චරිතවලට ලොකු සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඒ චරිත ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
මං කරපු හැම ගැමි චරිතයක්ම ගොඩක් දුෂ්කර වුණු නිසා ඒවට ලොකු කැපකිරීමක් කරන්න වුණා. කොහොමත් මං චරිතයක් භාරගත්තම ඒක කැපවීමෙන් කරනවා. රන්තිලිවැව චරිතයේ වැවේ ගිලෙන, අලි පන්නන, කැලෑවේ යන අත්දැකීම් මට ලොකු අභියෝග වුණේ නෑ. මාත් ඒවගේ ගැමි පරිසරයක ජීවත් වුණු කෙනෙක් නිසා මට ඒවට ලොකු සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතෙනවා.
නීලපබළු කියන්නේ ඔබව චරිතාංග නිළියක් කළ නිර්මාණයක්. ඒ ගැන සඳහන් කළොත්?
නීලපබළු මෙගා නාට්‍යයක් වුණත් ඒකෙ පූජා කියන චරිතය මට ඒකාකාරී වුණේ නෑ. එක චරිතයක් තුළ මට චරිත කිහිපයක් කරන්න තිබුණා. ඒ චරිතය තුළ විවිධ හැඩතල තිබුණා. මුලින්ම ලස්සනට ඇඳලා වාහනවල ගමන් බිමන් යන ලොකු ඔෆිස් එකක ඩිරෙක්ටර් කෙනෙක්. එයාට නයෙක් දෂ්ට කළාට පස්සේ චරිතය වෙනස් වුණා. ඊට පස්සේ කොළඹින් පැනලා ඇවිත් ගමක ජීවත් වෙන චරිතයක්. ඊටත් පස්සේ පූජාට පිස්සු හැදෙනවා. ඒක වෙනස්ම අවස්ථාවක්. පස්සේ දෙමළ විදිහට ගමක ජීවත් වෙනවා. මේ වගේ ඒ චරිතය තුළ විවිධත්වයක් තිබුණා.
පූජා අන්තිමේ මානසික රෝගියෙකුත් වුණා. කොහොමද ඒ අවස්ථාවලට මුහුණ දුන්නේ?
දවස් කීපයක්ම මානසික රෝහලට ගිහින් ඒ අය එක්ක කතාබහ කරලා අධ්‍යයනය කරලා අත්දැකීම් ලබලා තමයි මං ඒ චරිතයට සූදානම් වුණේ. පූජාව මිනිස්සු කොතරම් වැලඳගෙන තිබුණද කියනව නම් එක දවසක් රත්මලාන ප්ලැට්ස්වල තිබුණු රූගත කිරීමක් අවසන් කරලා මං කාර් එකට වෙලා දොරත් ඇරගෙන හිටියා. ටිකක් බීපු මනුස්සයෙක් පොල්ලකුත් අරන් ඇවිත් තවත් කුරුලුට කරදර කරන්න එපා කියලා මට ගහන්න හැදුවා. සෙට් එකේ මල්ලිලා ඇවිත් තමයි මාව බේරගෙන වාහනේ දාගෙන ගිහින් වෙන තැනක නතර කළේ. මුලදි මුලදි කේන්තියෙන් පූජා දිහා බලපු පාඨකයොම පස්සේ සානුකම්පිත වුණා. මං වැඩිපුරම ආස ඒ මානසික රෝගියාගේ චරිතයට.
ඔබ දායක වුණු අලුත් නිර්මාණ ගැන සඳහන් කළොත්?
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ජානු‘හි නිත්‍යටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ‘සුබ සන්ධ්‍යාවක්‘ වේදිකා නාට්‍ය එක්ක තමයි මේ දවස්වල වැඩිපුරම කාලය ගත කරන්නේ. පසුගිය 29 සහ 30 ඒකෙ මංගල දර්ශනය තිබුණා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා ඒවා ඉදිරියේදී දකින්න ලැබේවි.
නයෝමිගෙ ආදරය ගැනත් කියමු නේද?
මෙහෙමයි, ආදරය කියන එක හැමෝටම ඕන. ඒත් විවාහය කියන්නේ ගොඩක් බැරෑරුම් දෙයක්. මං ආදරය කරලා ඒ ගැන පසුතැවිලි වෙලා තියෙනවා. මගේ වයසත් එක්ක ඒ අත්දැකීම් විඳලා තියෙනවා. විවාහය කියන්නේ දෙපාරක් නොවෙයි සිය දහස්වාරයක් හිතලා ගන්න ඕන තීරණයක්. මං ඒ සඳහා වැඩි කාලයක් ගන්නවා. ඒ කාලය ගත්තට වරදක් නෑ කියලයි මං හිතන්නේ.