අපේකම ලොවට ගෙන ගිය Siging Chef කැන්ගරු දේශයම නළවයි | Page 2 | සිළුමිණ

අපේකම ලොවට ගෙන ගිය Siging Chef කැන්ගරු දේශයම නළවයි

Siging Chef එහෙමත් නැතිනම් දොන් සර්මන්. අපේ මුළු රටම ආදරය කළ සූපවේදියෙක්. ඔහු ඉහුම් පිහුම් කලාවේ දක්ෂයෙක් වගේම ගීත ගායනයටත් ඒ වගේම දක්ෂයි. ශ්‍රී ලාංකිකයකු ලෙසින් අපේ රට ජාත්‍යන්තරයට ගෙන යන්න මහත් වෙහෙසක් ගත්තා.

කාලයක පටන් සිහින දැක්ක, කාලයක පටන් වෙහෙස මහන්සි වුණු දොන්ට පසුගිය දවසක එහි ඵල නෙළා ගන්න හැකියාව ලැබුණා. ඔස්ට්‍රේලියාවේ සූපවේදීන් අතර පැවතුණ තරගයකින් රන් පදක්කමක් දිනා ගත්තු දොන් ශ්‍රී ලාංකේය නාමය කැන්ගරු දේශයේ රන් අකුරින් ලිව්වේ ඔහුගේ හැකියාවෙන් මුළු ඔස්ට්‍රේලියාවම මවිත කරලා. මේ ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍යජාල ඔස්සේ විස්තර පළ වුණා විතරක් නොවෙයි ඔහුට ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබපැතුම් දහස් ගණනක් ලැබුණා. ඔස්ට්‍රේලියාවේ සිට දුරකතනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වූ ඔහු මේ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ මෙලෙසිනි.

“මම මුලින්ම ඔස්ට්‍රේලියාවට යන්න ඉල්ලුම් කළේ 2008 වර්ෂයේදී. ඒ කාලයේ රටේ පැවැති වාතාවරණයත් සමඟ මම තීරණය කළා ඔස්ට්‍රේලියාවට යන්න ඕනේ කියලා. හැබැයි මට ස්ථිර පදිංචිය සඳහා වීසා ලැබෙන්නේ 2013 වසරේදී. ඒ කාලේ රටේ තිබුණේ සන්සුන් වාතාවරණයක්. මම රෙස්ටුරන්ට් තුනක් ආරම්භ කරලා සාර්ථකව ඉන්නකොට තමයි මට මේ අවස්ථාව හිමි වුණේ. ඊට පස්සේ මම තීරණය කළා දරුවන්ගේ අධ්‍යාපනයයි, අපේ පවුලේ අනාගතයයි ගැන හිතලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට යනවා කියලා. මම සූපවේදියෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ බොහෝ තැන්වල වැඩ කළා. අද වන විට මම මෙහෙට ඇවිත් අවුරුදු දහයක් වෙනවා.

දැන් මම ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සූප ශාස්ත්‍ර පිළිබඳ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් සහ අගය කිරීමේ නිලධාරියකු ලෙසත් කටයුතු කරනවා. මට දැන් විශාල සිසුන් ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන් විදේශ රටවල සිට ඔස්ට්‍රේලියාවට එන සිසුන්ට සූප ශාස්ත්‍රය ඉගැන්වීමේ කටයුතු කරනවා. සූප ශාස්ත්‍රය උගන්වලා ඔවුන්ට ඒ හැකියාවෙන් පුළුවන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වීසා ලබාගන්න.

මම මේ රටට ආවට පස්සේ උත්සහ කළේ ඕස්ට්‍රේලියාවට අනුව අනුගතවෙන්න. මම ලංකාවේ කරපු දෙයටම වඩා මේ රටේ හැටියට මොනවාද කරන්න පුළුවන් කියලා මම හිතුවා. මුලින්ම හෝටල් කිහිපයකම සූපවේදියෙක් ලෙස වැඩ කළා. ඊට පස්සේ මේ රටේ තියෙන ඔස්ට්‍රේලියා සූපවේදීන්ගේ සංගමයේ නැතිනම් ඔස්ට්‍රේලියා කරනර් ෆෙඩරේෂන් එකේ සාමාජිකයෙක් වුණා. ඒ සංගමයේ පොදු වැඩ රාශියකට මම එකතු වෙලා ප්‍රදර්ශන, සම්මන්ත්‍රණවලට සහභාගී වුණා. මෙහෙ තියෙන තවත් සූපවේදීන්ගේ සංගමයකට සම්බන්ධ වුණා. ඒ සංගමයට කියන්නේ ඔස්ට්‍රේලියා ටෙක්නිකල් කියලා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ පළපුරුද්ද සහ සුදුසුකම් ති‍ෙයන සූපවේදීන්ට විතරයි. මම දැන් ඒ සංගම් දෙකේම මුල් කමිටු සාමාජිකයෙක් සහ පූර්ව කමිටු සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ සංගම් දෙකේම වැඩිපුර ඉන්නේ ඔස්ට්‍රේලියානු සාමාජිකයන්. ඒ සාමාජිකයන් අතර මම වැඩිපුර ජනප්‍රියත්වයක් හා අගය කිරීමක් දිනාගෙන සිටිනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ සූප ශාස්ත්‍ර කලාව දියුණු කිරීම සඳහා මට හොඳ අවස්ථාවක් මේ සංගම් දෙක හරහාම ලැබී තිබීම විශාල ශක්තියක්. පිළිගැනීමක් බව ශ්‍රී ලාංකිකයකු ලෙස මම පවසන්නේ හරිම ආඩම්බරයෙන්.

මගේ ජයග්‍රහණ ගැන සඳහන් කළ යුතු වැදගත් කරුණු කිහිපයක්ම තිබෙනවා. මම ජයග්‍රහණය කළ මේ තරගය සංවිධානය කළේ ඔස්ට්‍රේලියානු සූපවේදීන්ගේ සංගමය විසින්. ඔවුන් ඒ තරගය පැවැතවූයේ Online ක්‍රමයට. එම තරගයේදී මට තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදන 40% භාවිත කරලා මම විසින්ම නිර්මාණය කරගත් කෑමක් හදලා එය වීඩියෝ කරලා Youtube එකේ ප්‍රදර්ශනය කිරීම. මම ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කළා. මම ඇතුළුව අපේ රටේ සූපවේදීන් ගණනාවක්ම මේ තරගයට සහභාගී වුණා. ඒ අතුරින් ජූරිය විසින් තීරණය කළ වැඩිම ජනප්‍රිය වුණු වැඩිම like දැමූ, අගය කිරීම කළ හොඳම රෙසිපිය ලෙස මගේ නිර්මාණයට රන් සම්මානය හිමිවුණා. මට ඒ සම්මානයට අමතරව ඉතාලි සංචාරයක් සඳහා අවස්ථාව ලැබෙනවා. ඉතාලියේ ඒ ආයතනයේ නිෂ්පාදන පිළිබඳ පුරුදු පුහුණුවීමේ අවස්ථාවත් හිමි වෙනවා. ඇත්තට මෙය මට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙසයි සලකන්නේ.

දොන් එහෙම කියන්නේ තමන් ලැබු ජයග්‍රහණය ගැන බොහෝ සතුටිනි. ඔහු තමන්ගේ ඉදිරි කටයුතු ගැන අප හා පැවැසුවේ මෙලෙසිනි.

“මම ඔස්ට්‍රේලියාවේ සූප ශාස්ත්‍ර කලාව දියුණු කිරීමට බොහෝ දේවල් කරන්න දැනටමත් සැලසුම් කරලා තියෙන්නේ. මට මේ සංගමය මඟින් ලැබිලා තියෙන අවස්ථාව හා අගය කිරීම තුළින් මගේම කුකරි ප්‍රදර්ශනයක් මුළු ඔස්ට්‍රේලියාව පුරාම පවත්වන්න. මේ වගේ දෙයක් ඔස්ට්‍රේලියාවේ සූපවේදියෙක් කරලා නැති නිසා මෙය විශේෂ දෙයක්.“

ඊට අමතර ඔහු අපේ රට වෙනුවෙන් යමක් කරන්න සැලසුම් කර ඇති බවත් පැවැසුවා.

“ලංකාවේ සූපවේදී කලාවට දක්ෂ නිර්මාණශීලි තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රයේ සූපවේදී සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් හා පුරප්පාඩු පවතිනවා. ඒ නිසා මම කැමැතියි ලංකාවේ තරුණ පිරිසට උදව් කරන්න. ඇත්තට දක්ෂතාවය හැකියාව ති‍ෙයන අයට පුළුවන් ඔස්ට්‍රේලියාවට එන්න ඉල්ලුම් කරන්න. ඒ සඳහා අනුගත වෙන්න සුදුසුකම් මාලාවක් තියනවා. ඔවුන්ට ඒ සඳහා උදව් කරන්න මම සැමවිටම සූදානම්. මගේ සමාජ මාධ්‍ය face book ගිණුම හරහා මෙන්ම Youtube නාළිකාවේ මගේ විස්තර හා දුරකතන අංක සියල්ලම ඒ ගිණුම්වල තිබෙනවා. මම ආරාධනා කරනවා අපේ රටේ සියලුම තරුණ තරුණියන්ට මම වගේ හැකියාව පෙන්වන්න අපේ රටේ නාමය ලෝකයට ගෙනියන්න කියලා.”

Comments