එක්ස්ප්‍රස් පර්ල් ගැන සොයන්න ළඟටම යන්න ඉල්ලයි | Page 3 | සිළුමිණ

එක්ස්ප්‍රස් පර්ල් ගැන සොයන්න ළඟටම යන්න ඉල්ලයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට ගොස් අදාළ පරීක්ෂණ සිදු කිරීමට පහසුකම් සලසන්නැයි පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) දැනුම් දී තිබේ. 
 
2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරිවී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා මෙලෙස උපදෙස් ලබා දී ඇත. 
 
පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(04) පැවැති මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ. එසේම   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමේ නියෝජිතයන්ද (P & I Club), පරිසර ඇතුළු හානිය තක්සේරු කිරීම සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීහු ද පරිසරවේදීහු පිරිසක් ද මෙම අවස්ථාවට කැඳවා තිබිණි. 
 
පරිසර හා අනෙකුත් හානි පූර්ණය ගණනය සදහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේ නැව අසලටම හෝ නැව තුළට යාම නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති වූ බවයි. අනතුරු බව පෙන්වා දෙමින් නැව අසලට යාම වැළැක්වූවද ඒ සදහා නාවික හා ගුවන් හමුදාවල සහය ලබාගෙන පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුව තිබූ බවද විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. මේ අනුව නැව ආසන්නයෙන්ම මෙම සාම්පල ලබා ගැනීමට නොහැකිවීම වන්දි ඉල්ලා පවරන නඩුවේදී අවාසි සහගතවීමට ඉඩ ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් සලසන ලෙස කමිටු සභාපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ නාරා ආයතනයට උපදෙස් දුන්නේය. 
 
අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් බවත්, මේ වන විට කැබිනට් අනුමතිය හිමිවී ඇති පරිදි නඩු පැවරීම සිංගප්පූරුවේ සිදු කිරී‍ම අවාසි සහගත බවටත් මෙහිදී පරිසරවේදීහු ඇතුළු නීතීඥවරු පිරිසක් කරුණු දැක්වූහ. මේවන විට අනතුරට අදාළව ඇ.ඩො බිලියන 6.2 ක වන්දි  මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින්  නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බවත්, නඩුපැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකළයුතු බවත් මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා පැවසීය.  
 
මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පවසා සිටියේ එම වාර්තාව ඇසුරින් අදාළ වන්දි මුදල් ලබා ගැනීම සදහා  නඩු පැවරීමේ කටයුතු කඩිනමින්  සිදුකරන බවයි. 
 
මේඅනුව නඩු පැවරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සදහා අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් 2023.04.06 වන දින පැවැත්වීමටත්, නීතිපතිවරයා ඇතුළු අදාළ නීතිඥවරුන්  මේ සදහා සහභාගී වීමටත් මෙහිදී තීරණය විය.
 
එසේම මෙම සිද්ධියට අදාළ වන්දි අයකරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය සදහා අදාළ පාර්ශ්ව සමග පරිසර කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව නැවතත් අප්‍රේල් 25 වැනිදා රැස්වීමටත් මෙහිදී තීරණය විය.
 

Comments