
2021 මහ කන්නයේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් මහ කන්නයේ මෙරට අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53කින් අඩු වූ බව සමීක්ෂණයකින් හෙළි වෙයි. 2021 මහ කන්නයේ දී මෙරට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් වී වගාව තුළ අක්කරයකට ලැබූ අස්වැන්න සියයට 53කින් අඩු වූ බව මෑතක දී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙලිදරව් වී තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනමත් සමග වගාවට එල්ල වූ බලපෑම සම්බන්ධව 2022 අවසාන කාර්තූවේ හා 2023 මුල් මාසය තුළ මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
මෙම සමීක්ෂණය සහිත සමීක්ෂණ පත්‍රිකා 05ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දීම ඇතුළුව එම සමීක්ෂණ ජනගත කිරීම පසුගියදා එම ආයතනයේ දී සිදු කරනු ලැබීය.
මෙම සමීක්ෂණය යටතේ වී වගාව, එළවලු වගාව, අර්තාපල් වගාව හා මල් වගාව යන අංශ සම්බන්ධව සමීක්ෂණය මෙහෙයවා තිබේ.
ඒ අනුව 2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමග මෙම සෑම අංශයකම විශාල කඩා වැටීමක් මෙන්ම අස්වනු අවම වීමක් සිදු වී ඇති බව ද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
2021 මහ කන්නයේ වී අස්වනු අඩුවීම සියයට 53කි. ඒ යටතේ මහාවාරිමාර්ග යටතේ සියයට 54ක්, මහවැලි ව්‍යාපාරය යටතේ සියයට 54ක්, සුලු වාර්මාර්ග යටතේ සියයට 53ක්, වර්ෂාපෝෂිත යටතේ සියයට 51ක් වශයෙන් සමස්ත අස්වනු අවම වීම සියයට 53ක් බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
අර්තාපල් හා අනෙකුත් බෝගවර්ග වල අස්වනු කෙරෙහි එල්ල වූ බලපෑම නිසා එම අස්වනු සියයට 52කින් අවම වී තිබේ.
ඒ අනුව බඩඉරිඟු සියයට 68ක්, ලොකු ලූනු සියයට 52ක්, අර්තාපල් සියයට 52ක්, හා මිරිස් අස්වැන්න සියයට 43කින් පහත වැටිනි.
2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් එළවළු වගාව සියයට 57කින් පහතට වැටුනි. එමෙන්ම සියයට 86ක් පමණ මල් වගාකරුවන් මල් වගාවෙන් ඉවත් වී තිබේ.
ඒ අනුව එළවලු වගාවේ පහත වැටීම සළකා බලන කළ වැටකොළු වගාව සියයට 64ක්, තක්කාලි වගාව සියයට 62ක්, ගෝවා වගාව සියයට 61ක්, බෝංචි වගාව සියයට 54ක්, බණ්ඩක්කා වගාව සියයට 49ක්, හා වම්බටු වගාව සියයට 42කින් පහත වැටී තිබේ.
රසායනික පොහොර නොමැති කම හේතුවෙන් කාබනික පොහොර භාවිතය සියයට 57කින් ඉහළ ගියේය.
ඒ අනුව බඩඉරිඟු වගාවේ කාබනික පොහොර භාවිතය කළින් සියයට 05ක් වුවද, පසුව එය සියයට 47 දක්වා ඉහළ ගියේය. අර්තාපල් වගාවේ සියයට 99 සිට 95 දක්වා පහත වැටිනි. මිරිස් වගාවේ සියයට 32 සිට සියයට 67 දක්වාත්, ලොකු ලූනු වගාවේ සියයට 11 සිට සියයට 47 දක්වාත් කාබනික පොහොර භාවිතය ඉහළ ගිය බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වුවද ගොවිතැන තුළ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත යෙදීම සිදු කළ යුතු යැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ.