හත් දෙනෙකුට ජීවිතය දී අකාලේම මිලින වූ විහඟනා | Page 3 | සිළුමිණ

හත් දෙනෙකුට ජීවිතය දී අකාලේම මිලින වූ විහඟනා

- මරණයට හේතුව මොළයේ ඇති වූ ගෙඩියක් පැතිරීම නිසා මොළය මිය යෑමයි
- ඇය සමාජ සත්කාර්යයට උපරිමයෙන් දායක වූ ක්‍රියාකාරිනියක්

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අ.පො.ස. උසස්පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ විහඟනා නුවන්මිණි ආරියසිංහ සිසුවිය හත් දෙනකුට ජීවිතය ලබා දී තම දිවි සැරියෙන් සමු ගෙන හයවන දිනයේ සිළුමිණ අපි කුරුණෑගල අඹන්පොල පිහිටි ඇය දිවි ගෙවූ නිවෙස සොයා ගියෙමු. ඒ ඉකුත් මාර්තු 28 දා ය.

⁣එදින අප දුටු ඉහත කවි පෙළ රචනා කර තිබූ විහඟනාගේ පන්ති භාර ගුරුතුමිය වන ලක්මිණි සමරකෝන් අපට හමු වූයේ විහඟනාගේ නිවසට පැමිණ සිටිය දී ය.

"දෙව්ලොවින් ආ 
සුරලියක් වී 
මනුලොවට ජීවය ලබා දී 
නුඹ ගියත් නොකියාම 
හිතේ නුඹ හිදීවි හැමදාම 
සුවඳ මල් කැකුළක්ව..." 

විහඟනාගේ පියා උපුල් ආරියසිංහය (58). මව වසන්ති කුමාරිය (53).

තාරුක ආරියසිංහ (22) සහ අචලා ආරියසිංහ (27) 19 හැවිරිදි විහඟනාගේ අයියා සහ අක්කාය.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොළය මිය යෑමේ තත්ත්වයකට පත්වූ විහඟනා මෙලොව හැර යන්නේ තවත් හත් දෙනකුට තම ජීවිතයෙන් ජීවිතය ලබා දෙමිනි.

මේ අයියා අක්කා සහ නංගී අතර තිබුණේ නොබිඳෙන නොසිඳෙන මහා සහෝදර බැඳීමකි.

අයියා තාරුක ආරියසිංහය. තාරුක තම නංගිලා දෙදෙනා රැක බලා ගන්නේ තම ඇස් දෙක මෙනි.

"අපි තුන් දෙනා එකටම හැදුණ එකට සෙල්ලම් කරපු එකට හැමදේම බෙදා ගත්ත තුන්දෙනෙක්. අපි තුන්දෙනාගෙ ජීවිතේ හැම දෙයක්ම අපි බෙදා ගත්තා. බට්ටි (විහඟනා) අපේ පවුලෙ බඩපිස්සි. මගෙයි ලොකු නංගිගෙයි වගේම අම්මගෙයි තාත්තගෙයි ආදරය බට්ටි තමයි අත්පත් කරගෙන හිටියෙ.

එයා පාසල් ගියෙ මහව අධ්‍යාපන කලාපයේ ගජනැග්ගම ජාතික පාසලට. අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණ එයා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණේ උසස් පෙළ වාණිජ අංශයෙන් හදාරන්න.එයා ඉංග්‍රීසි මාධ්‍යයයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. 2023 ජනවාරිවල විභාගෙට පෙනී සිටියෙ.

විභාගෙ අවසන් වෙලා ගෙදර ආපු දා "අක්ක වගේම කැම්පස් යන්නම මම විභාගෙ පාස් වෙනවා අයියෙ" කියලා මට කිව්වා.

එයා කාලෙක ඉඳලා මට කිය කිය හිටියා; එයාව සිරීපාදෙ එක්ක යන්න කියලා විභාගෙ ඉවර වුණට පස්සෙ ඒ ඉල්ලීම නිතර නිතර එයා මට ඉදිරිපත් කළා. නමුත් මට මගෙ බට්ටි නංගිව සිරීපාදේ එක්ක යන්න බැරි වුණා. එයා ඊට කලින් අපිව දාලා ගියා."

දැනට වයඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිය හදාරමින් සිටින තම ⁣එකම සොහොයුරිය වූ අචලා ආරියසිංහ මෙන්ම සරසවි වරම් පතමින් සිටි විහඟනාගේ එම සිහිනය හොරු අරන් ගියා යැයි පවසන්නේ විහඟනාගේ පන්ති භාර ගුරුතුමිය ලක්මිණි සමරකෝන් ය.

"විහඟනා අපේ පාසලේ හිටියෙ වසර දෙකයි. එයා කවදාවත් කාගෙවත් හිත රිදෙව්වෙ නැහැ.නැහැ බැහැ කියන වචන විහඟනාගෙ ශබ්ද කෝ⁣ෂයේ තිබුණෙම නැහැ. මේ දරුවා ඉතා නිරෝගී දරුවෙක්. කවදාවත්ම රෝගී තත්ත්වයක ලකුණක්වත් ඇයගෙන් අප දුටුවෙ නැහැ.

හරීම නිහතමානී, සිරියාවන්ත දරුවෙක්. විභාගය සමත් වෙන ඉලක්කයේ හිටියත් හරිම සැහැල්ලුවෙන් සතුටින් සිටි දරුවෙක්. විභාගය අවසන් කියලා අපෙන් ඈත් වුණේ නැහැ. මට නිතර දුරකතනයෙන් කතා කරනවා. පරිත්‍යාග ශීලී ගුණය ඇතුළු ගුණ පිරුණු මේ දරුවා ගැන දැන් හිතනකොට එච්චරම හොඳ ගතිගුණ මේ දරුවගෙ තිබුණෙ මෙහෙම අපිව දාලා යන්න ද කියලා හිතෙනවා.

බොදුනුවන් හැටියට නැවත ඉපදීම පිළිගන්න අපට හිතෙනවා විහඟනා දෙව්ලොව ඉඳලා දේවත්වයේ ඉඳන් පින් කරන්න බැරි නිසා මිනිස් ලොවට ඇවිත් කුසල් රැස් කරගෙන ආපසු දෙව්ලොව ගියා කියලා.

ඒකයි විහඟනා ගැන මා අතින් අර වගේ කවියක් ලියවුණේ.

හිස පැත්තකට ඇල කරලා අහිංසක විදිහට අපි හැමදාම දැකපු විහඟනාගෙ සිරියාවන්ත සිනහව අපෙන් උදුර ගෙන එයා නැවතත් දිව්‍යලෝකෙ ගියා කියලමයි මට හිතෙන්නෙ"

විහඟනා අසනීප ව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව දැන ගත් වහාම මම කුරුණෑගල රෝහලට ගියා. දැඩි සත්කාර ඒකකයේ සිටි විහඟනාට කිට්ටුවෙන්න පුළුවන් උපරිම සීමාවේ සිට අපි විහඟනාට සෙත් පතමින් පිරිත් සඡ්ඣායනා කළා. බොහෝ අය එහෙම අසනීප තත්ත්වයන්ට පත් වුණාම මුහුණ කළු වෙලා තෙහෙට්ටු ගතියකට පත් වෙනවා. නමුත් විහඟනාගෙ මුහුණෙ තිබුණු සුපුරුදු සිරියාව දැඩි සත්කාර ඒකකයෙදි පවා අපි දැක්කා.

මොළය ආශ්‍රිතව හටගෙන තිබූ ගෙඩියක් ⁣හේතුවෙන් එය මොළය පුරා පැතිරීමත් සමඟ ඇති වූ මොළය මිය යාම හේතුවෙන් අපට අපේ රටට අහිමි වූ විහඟනාගේ ශරීර අවයව දන්දීමේ කතාව ද අපට බොහෝ පූර්වාදර්ශ සපයයි.

විහඟනා වෙනත් බොහෝ එම වයසේ දරුවන්ට වඩා වෙනස් දරුවෙකි. 

ඇය ප්‍රිය කළ බොහෝ දේ තුළ තිබුණේ පරෝපකාරයයි. සමාජ යහපතයි. අවිහිංසාවයි.

තාරුක, අචලා, විහඟනා යන මේ තුන් දෙනා තුළම එම ගතිගුණ පිහිටා තිබුණේය. අක්කේ දැන් මරණයෙන් පස්සෙ මුළු සිරුරම දන් දෙන්න පුළුවන්ලු. අපිත් එහෙම දන් දෙමු. විහඟනා සිය සොහොයුරිය වූ අචලා සමඟ නිතර පවසනු විහඟනාගේ පියා වූ උපුල් ආරියවංශගේ මතකයට ආවේ විහඟනා මොළය මිය යෑමේ තත්ත්වයට පත්ව ඇති බව දැනගත් මොහොතේය. විවිධ හේතු මත මොළය මිය යාමෙන් මියයන රෝගීන්ගේ නිරෝගී ශරීර අවයව වෙනත් රෝගීන්ට බද්ධ කළ හැකිය.

ඒ අනුව එසේ මියයන රෝගීන්ගේ සමීප ඥාතීන්ගේ කැමැත්ත මත එම අවයව වෙනත් රෝගීන් සඳහා බද්ධ කිරීම සඳහා ඉවත් කර ගැනේ.

මෙය ඉතා වගකීමෙන් සහ නීත්‍යානු කූලව සිදුවන්නකි.

එවන් රෝගියකුගේ මොළය මියගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් සනාථ කළ යුතුය. අනතුරුව යන්ත්‍ර මාර්ගයෙන් එම රෝගියා ජීවත් කරවමින් එම අවයව ඉවත් කිරීම සිදු කළ යුතුය. මෙම අවයව ඉවත් කිරීමේ කාර්යය ද පිළිගත් සෞඛ්‍ය විද්‍යානුකූල මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ යුතුය. මෙහිලා සමීප ඥාතීන්ගේ කැමැත්ත ප්‍රධානතම සාධකය වේ.

මෙම තීන්දුව ගන්නට නම් මේ පිළිබඳව අවබෝධයක් මෙන්ම ඉන් සිදුවන මහා මෙහෙවර පිළිබඳ හැඟීමක් එම සමීප ඥාතීන්ට තිබිය යුතුය.

විහඟනාගේ පියා මව ඇතුළු සමීප ඥාතීන් එම තීරණය නොගත්තා නම් විහඟනා වෙනුවෙන් කළ හැකි මහා පින්කමක් මඟ හැරී යන්නට තිබුණි.

"බට්ටි දුව (විහඟනා ) දනට පිනට හරිම ළැදියි. එයා තමන්ගෙ අධ්‍යාපන කටයුතු ටික හරියටම කරගෙන යන ගමන් නිතර දන් පින් කළා; සතුන්ට කන්න දෙන, පිහිට වෙන, ලෙඩට දුකට බලන සත්වවේදියකු සමඟ එකතු වෙලා ඒ කටයුතුවලට උදව් කළා. වෙහෙර විහාර චෛත්‍යය හැදීමේ ශ්‍රමදානවලට දායක වුණා.

නැති බැරි අයට උදව් උපකාර කළා. දන් දීම එයාගෙ ජීවිතය බවට පත්වෙලා තිබුණා. මැරුණම පොළොවට පස්වෙන අපේ ශරීරය අපිට දන් දෙන්න පුළුවන් . අපි අපේ මරණයෙන් පසුව අවයව දන්දෙමු. බට්ටි එයාගෙ අක්කා එක්ක කතා වෙනවා මට නිතර ඇහිලා තිබුණා. ඉතින් මේ දරුවාගේ මොළය මියගිය බව දැන ගත්ත වෙලාවෙ ඇති වුණ මහා දරු දුකත් එක්ක මට ⁣මගෙ දරුවගෙ මේ කැමැත්ත මතක් වුණා.

ඒ අනුව මා ඇතුළු සමීප ඥාතීන් දුවගේ ශරීර අවයව ඉවත් කර වෙනත් රෝගීන්ට බද්ධ කිරීම සඳහා අපේ කැමැත්ත පළ කළා."

මේ අයුරින් විහඟනාගේ සිරුරෙන් ඉවත් කර ගත් හෘදය වස්තුව සහ පෙණහලු බද්ධ කෙරුණේ එම ඉන්ද්‍රියයන් අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකටය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකාවේ දී හෘදය වස්තුව සහ පෙණහලු බද්ධ කිරීම එකවර සිදු කළ ප්‍රථම සැත්කම බවට ද මෙම සැත්කම පත්වීමයි.

කොළඹ ජාතික රෝහලේදී ⁣විහඟනාගේ අවයව ඉවත් කර ගැනීමේ කාර්යය කරමින් සිටිය දී පැය භාගයක පමණ විදුලි විසන්ධියක් සිදු වුව ද එම බාධකය ජයගෙන සාර්ථකව එම අවයව ඉවත් කර ගැනීමට එම කාර්යයෙහි නිරත වූ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම සමත් වී ඇත. විහඟනාගේ හෘදය වස්තුව, පෙණහලු වකුගඩු දෙක, අක්මාව සහ අක්ෂි පටල මෙලෙස වෙනත් රෝගීන්ට බද්ධ කිරීමෙන් අනතුරුව එම බද්ධ කිරීම් සාර්ථක වී ඇති බවත් එම රෝගීන් නිරෝගී තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍ය ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් එම රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් විහඟනාගේ පියා මව ඇතුළු ඥාතීන්ට සිය කෘතවේදී බව ප්‍රකාශ කරන බව විහඟනාගේ පියා උපුල් ආරියසිංහ අප හා පැවසීය.

මෙම රෝගීන් අතරින් එක රෝගියකු සඳහා වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ වකුගඩු රෝගියකුට බද්ධ කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව පැවසීය. විහඟනාගේ අවයව දන්දීමේ මහා පුණ්‍යකර්මය අගයමින් කුරුණෑගල ශික්ෂණ රෝහල මඟින් විශේෂ උපහාර ලිපියක් ද නිකුත් කර ඇත.

අප අඹන්පොළ පිහිටි විහඟනාගේ නිවෙසට ගිය ඉකුත් මාර්තු 28 දින ගිය විට ඇයට පින් ප්‍රාර්ථනා කරමින් පැවැති පින්කමක තොරතුරු අපට දැන ගන්නට ලැබුණි.

මෙම පින්කම සංවිධානය කර තිබුණේ උදය විජේසිංහ නම් සත්වවේදියෙකි.

ඔහු අඹන්පොළ ප්‍රදේශයේ කුසගින්නෙන් පෙළෙන සහ අයිතිකරුවන් නොමැතිව අයාලේ යන බල්ලන්ට කවා පොවා ලෙඩ දුක් බලා රැක බලා ගන්නා සත්කාර්යයක නිරත වේ. ඔහුගේ පිහිට රැකවරණය ලබන බල්ලන් ප්‍රමාණය දෙසීයයකට වැඩිය.

විහඟනා මෙම සමාජ සත්කාර්යයට උපරිමයෙන් දායක වූ ක්‍රියාකාරිනියකි.

විහඟනා දුව මට හමුවන්නේ බල්ලන්ට වැලදෙන භයානක රෝගයක් වූ පාවෝ රෝගයට ගොදුරු වූ බලු පැටවු කිහිප දෙනෙක් නිසා.

විහඟනා දුව මේ බලු පැටවුන්ට ප්‍රතිකාර කරන්න මගෙන් උපදෙස් පැතුවා.

මම ඒ උපදෙස් දෙමින් විහඟනාට එම ප්‍රතිකාර කරන්න උදව් කළා. රෑ දවල් නොබලා නිදිමරාගෙන ඒ සතුන්ට ප්‍රතිකාර කරලා එම සතුන් මරණයෙන් බේරා ගන්න ඇය සමත් වුණා.

එතැන් සිට ඇය මගේ මේ සත්කාර්යයට එක් වුණා; සහයෝගය දුන්නා.

මේ අතර මට හෘදය රෝගී තත්ත්වයක් ඇතිවෙලා ප්‍රතිකාරවලට යොමු වෙන්න වුණා. එතකොට මම රැක බලාගන්න සතුන්ට මොකද වෙන්නෙ කියලා ප්‍රතිකාර පමා කරමින් ඉන්නකොට විහඟනා දුව දොස් කියලා එයා සතුන්ට කන්න දෙන්නම් රෝහල් ගත වෙන්න කිව්වා.

මම රෝහල්ගත වෙලා රෝහලෙන් එන දවසෙ විහඟනා දුව රෝහල් ගත කළේ.

එයාගෙ අවයව ඉවත් කළ දවසේ මගෙ එන්ජියෝග්‍රෑම් එක කළේ.හැමදාම අනුන්ගෙ දුකේ දී පිහිටට එන විහඟනා දුවට පින් පිණිස මා අද සතුන්ට දානයක් දෙනවා "

විහඟනාගේ අවසන් ප්‍රායෝගික පින්කම වූයේ මිහින්තලේ චෛත්‍යය ඉදි කිරීමේ කටයුතුවලට අදාළ ගඩොල් දීමේ ශ්‍රමදානයයි. තම යහළු යෙහෙළියන් සමඟ ඇය මෙම පින්කමට සහභාගි වූවාය.

එම ශ්‍රමදානය නිම කර පැමිණි විහඟනාට ඇතිවූ හිසේ කැක්කුමක් සහ වමනය යාම හේතුවෙන් ඉකුත් මාර්තු 17 දා ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ රෝගී තත්ත්වය බරපතළ බව අවබෝධ කරගත් වෛද්‍යවරු ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

අනතුරුව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මොළය මිය යාමේ තත්ත්වයකට පත් වන්නේ නැවත සිහි නොලබාමය.

සැබෑ මිනිසා සදා නොමියෙයි යන්න පසක් කරමින් මිය ගියද නොමියෙන 19 වියැති යෞවනියක ලෙස නික්ම ගිය විහඟනාගේ අවයවවලින් තවත් බොහෝ කළක් ජීවත්වන හත් දෙනෙකුගේ මෙන්ම ඔබ මම අප සැමගේ හදවත්වල සදා ජීවත්වන විහඟනා නුවන්මිණි ආරියසිංහ දියණිය සැබැවින්ම අමරණීය නමක් තබා නික්ම ගිය දිරිය දියණියකි.


සුනිල් පොරමඬල, කුරුණාෑගල

Comments