වෛද්‍ය පර්යේෂණ ඉතිහාසයට රන් ලකුණක් එක් කළ මහාචාර්ය චන්දිම ජීවන්දර | Page 3 | සිළුමිණ

වෛද්‍ය පර්යේෂණ ඉතිහාසයට රන් ලකුණක් එක් කළ මහාචාර්ය චන්දිම ජීවන්දර

ලංකා වෛද්‍ය පර්යේෂණ ඉතිහාසයේ රන් සලකුණක් තබමින් බ්‍රිතාන්‍ය ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්ගේ සංගමය විසින් පවත්වනු ලබන ‘ප්‍රතිශක්තිකරණවේද සම්මාන උලෙළ‘ BSI Immunology Awards 2023 සඳහා පර්යේෂණ අංශයේ හොඳම තරුණ විද්‍යාඥයන්ගේ ඛාණ්ඩය එනම් BSI Early Career Research Excellence Award යටතේ තේරී පත් වූ අවසන් තරගකරුවන් 6 දෙනා අතරට ලංකාවේ වෛද්‍ය විශේෂඥවරයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජිවන්දර සුදුසුකම් ලැබීය. මෙම අංශය සඳහා තේරී පත් වූ අවසන් තරගකරුවන් 6 දෙනා අතරින් ඉතිරි පස් දෙනාම බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යාඥයන් වන අතර වෙනත් රටකින් සුදුසුකම් ලැබූ එකම විද්‍යාඥයා මහාචාර්ය චන්දිම ජීවන්දර වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කරන අතර මෙවැනි සම්මානයකට සුදුසුකම් ලැබීමට ලංකාවට අවස්ථාව හිමිවූයේ මුල්ම වතාවටය. අප්‍රේල් 20 වැනිදා ලන්ඩන් නුවරදි අවසන් තරගය පැවැත්වෙයි.

මහාචාර්ය චන්දිම පසුගිය වසර 10 ක් පුරාවට සිදු කළ පර්යේෂණ රාශියකි. බෝවන රෝග වන ඩෙංගු හා කොවිඩ් 19 මෙන්ම අසාත්මිකතා සම්බන්ධව ඔහු විසින් සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් මේ තෝරා ගැනිම සිදු කර තිබුණි. ඩෙංගු හා ඊට අදාළ ඖෂධ සම්බන්ධයෙන් වූ මූලික විද්‍යාගාර පර්යේෂණ මෙන්ම පසුකාලීනව කොවිඩ් 19 සම්බන්ධව බොහෝ පර්යේෂණ හා ඊට අදාළ එන්නත්වල සාර්ථකත්වය සම්බන්ධයෙන් ඔහු විසින් පරීක්ෂණ රැසක් සිදු කර තිබුණි. ඒ සියලු දෙය මේ ඇගැයීමට ලක්වීමට හේතු විය.

පහ වසර දක්වා කළුතර සිරිකුරුස විදුහලින් ද අනතුරුව කොළඹ නාලන්දා විදුහලින් අධ්‍යාපනය ලද මහාචාර්ය චන්දිම එම්. බී. බී. එස් උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනි. රාජකීය පවුල් වෛද්‍ය සංගමයේ අන්තර් ජාතික සාමාජිකයකු ද වන ඔහු ප්‍රතිශක්තිකරණ විද්‍යා සම්බන්ධව ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙනි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු පසුව ලන්ඩන් ඉම්පීරියල් කොලේජයට ඇතුළු විය.

මහාචාර්ය චන්දිම ජීවන්දරගේ මව අමිතා ගුණරත්න හා පියා කීර්ති ජීවන්දරය. ඔහුගේ බිරිය සුභානි ධර්මසේන හා පුත් ලිසර ජීවන්දරය. මේ වන විට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට අමතරව , ප්‍රතිශක්තිකරණ විද්‍යා හ අනුක ජිව විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන වන්නේ ද ඔහුය. ඊට අමතරව යුරෝපියානු ප්‍රතිශක්තිකරණවේද සංගමයේ ළමා අසාත්මිකතා සම්බන්ධයෙන් ද ඔහු කටයුතු කරයි.

Comments