මෝටර් රථයක් තනා සිතුම් සැබෑ කරගත් මාතර පැතුම් | Page 2 | සිළුමිණ

මෝටර් රථයක් තනා සිතුම් සැබෑ කරගත් මාතර පැතුම්

- හදන්න අවුරුදු 2යි, වියදම ලක්ෂ 2යි
- මට ආසාවක් වගේම ඉලක්කයක් තිබුණා, කවදහරි මෝටර් සයිකලයක්, මෝටර් රථයක් නිර්මාණය කරනවා කියලා
- අවුරුදු 3ක මෝටර් කාර්මික පාඨමාලාවක් හැදෑරුවා
- වේගය පැයට කිලෝමීටර් 50ක් 60ක්. පෙට්‍රල් ලීටරයකින් කිලෝ මීටර් 35ක් ධාවනය කළ හැකියි
- පියාත් මෝටර් කාර්මිකයෙක්

සිහින සැබෑ කරගැනීමට නම් සිහින දැකිය යුතුය. දකින ඒ සිහිනය තුළ යළි යළිත් ජීවත් විය යුතුය. එපමණක් ද නොව ඒ වෙනුවෙන් අපමණ කැපවීම් ද කළ යුතුය. අප මේ කියන්නට යන කතාවේ කතානායකයා ද එවැන්නෙකි. කුඩා වියේ සිට දුටු සිහිනයක් සැබෑ කරගත් වාසනාවන්තයෙකි. ඔහු ඩී. කේ. පැතුම් උදයංග නමැති 25 හැවිරිදි තරුණයෙකි. මාතර මොරවක, අලපලාදෙණිය, මෝදරවිල ප්‍රදේශයේ පදිංචි ඔහු සිය සහජ දක්ෂතා එළි දක්වමින් මෝටර් රථයක් නිෂ්පාදනය කර ඇත. මේ ධෛර්යවන්ත තරුණයාගේ කතාව අපි ඔහුගේම වදන්වලින් අසමු. 

“ඕනම කෙනෙකුට අනාගත සිහින තියෙනවනේ. පුංචි කාලේ ඉඳලම මගේ හිතේ ඇඳිල තිබුන සිහිනයක් තමයි අද මේ සඵල වෙලා තියෙන්නේ. මට ආසාවක් වගේම ඉලක්කයක් තිබුණා, කවදහරි මෝටර් සයිකලයක්, මෝටර් රථයක් නිර්මාණය කරන්න ඕන කියල. ඒ ඉලක්කයට මම ළඟා වුණා. මේ කාර් එක නිෂ්පාදනය කළේ මෝටර් බයිසිකලයක එන්ජිමක් උපයෝගී කරගෙනයි. ත්‍රිරෝද රථ ටයර් යොදා ගත්තා. රෝද හතරටම තිරිංග පද්ධතියක් තියෙනවා. එන්ජින් ධාරිතාව 97 CC යි. පසුපසට ධාවනය කරන්න අවශ්‍ය නිසා ගියර් බොක්ස් එකක් ඊට සම්බන්ධ කළා. ඒ ආකාරයට අංගසම්පූර්ණ මෝටර් රථයක් ලෙස මෙය නිපදවන්න හැකි වුණා.”

පැතුම් කීවේ සතුටු පිරුණු හඬිනි. පැතුම් දක්ෂ වෑද්දුම් ශිල්පියකු වන අතර, තමන් අතින් නිමැවුන මෝටර් රථයේ සියළු වෑද්දුම් කටයුතු සිදු වී ඇත්තේ ද ඔහුගේම දෑතිනි. එක් අයකුට පමණක් ගමන් කළ හැකි එම මෝටර් රථය නිපදවීමෙන් පැතුම්ගේ පැතුම් අවසන් නොවනු ඇත. ඔහුගේ පැතුම තම නිෂ්පාදනය තවදුරටත් දියුණු කරගැනීමයි.

“මේ කාර් එක මම හැදුවේ තනි පුද්ගලයෙකුට ගමන් කරන්න පුළුවන් විදිහට වුණත් හතර දෙනෙකුට ගමන් කරන්න පුළුවන් මෝටර් රථයක් නිර්මාණය කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා සුදුසු විදිහට ආසන පෙළගස්සවමින් ඉන්නවා. පැයට කිලෝමීටර් 50 -60ක වේගයෙන් කාර් එක පදවන්න පුළුවන්. පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 35ොක් ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී කාලයේත් ධාවනය කරන්න පුළුවන් විදිහට හොඳ ඉහළ මට්ටමක විදුලි ආලෝකය තියෙනවා. කිසිම ගැස්සීමක් නැතිව ධාවනය කරන්න පුළුවන්. ටින්කරින්, වෑද්දුම් වැඩ , පොටි අල්ලල තීන්ත ආලේප කළේ මමමයි. පෙට්‍රල් පාවිච්චි කරන නිසා ටිකක් වියදම සැරට යන එක තමයි එකම ගැටලුව.”

එහෙත් පැතුම් ළඟ ඒ සඳහා ද විකල්ප විසඳුමක් තිබිණ.

“මම දහ අතේ කල්පනා කළා මොකක්ද මේකට තියෙන විසඳුම කියල. විදුලිය පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් කාර් එකක් හැදුවත් දැන් විදුලි මිළ ඉහළ යෑම නිසා ඒක දරන්න අසීරු වියදමක්. අනිත් එක මේ කාලයේ හැටියට ගමනක් ගිහින් වෙනත් නි‍ෙවසකින් බැටරිය ආරෝපණය (BATTERY CHARGE) කරන්න ඉල්ලන්නත් බැහැ නේ. මේව ඔක්කොම ගැන දීර්ඝව හිතල මම තීන්දු කළා සූර්ය කෝෂ (SOLAR CELLS) භාවිත කරල සූර්ය බලයෙන් (SOLAR POWER) එන්ජිම ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලකට යන්න. මේ දවස්වල මම ඒ භාරදූර කටයුත්තට අත ගහලා ඉන්නේ. වර්තමානයට එය වඩාත්ම ගැළපෙන බව මම විශ්වාස කරනවා. මේ කාර් එක නිර්මාණය කරන්න මට රුපියල් ලක්ෂ 02ක පමණ මුදලක් වැය වුණා. ස්ටීරියන් වීල් එක සහ වෙනත් භාණ්ඩ කිහිපයක්ම පරණ යකඩ බඩු විකුණන කඩවලින් අඩු මුදලකට ලබාගත්තා. අම්මා තාත්තගෙන් වගේම රථවාහනවල සුළු නඩත්තු කටයුතු කරල උපයා ගත්ත මුදල් ද මේ කටයුත්තට යෙදෙව්වා. මගේ හොඳම යාළුවා වන උදාර මධුශංක ඇතුළු යහළුවන් මට ගොඩක් උදවු උපකාර කළා. ඒ වගේම මේ භාරදූර කටයුත්තට මගේ මවුපියන් සහ මගේ එකම සොයුරිය විශාල ශක්තියක් වුණා.”

පැතුම් මේ සඳහා තමන්ට උපකාර කළ දිරිමත් කළ අය පිළිබඳ සිහි කළේ කෘතවේදීවය. පැතුම් උදයංග අලපලාදෙණිය, මෝදරවිල පදිංචි ඩී.කේ. සුනිල් සහ පද්මිණී මදරසිංහ දෙපළගේ කුලුඳුල් දරුවාය. පැතුම්ට සිටින්නේ එකම බාල සහෝදරියකි. ඇය පවිත්‍රා උදයංගනීය. අලපලාදෙණිය විදුහලෙන් නර්තන අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන ඇය නර්තනයටත් ගී ගැයුමටත් දස්කම් දක්වන්නීය. පැතුම්ගේ නව නිර්මාණයට ඇයගෙන් ලැබී ඇත්තේ ද මහඟු උපකාරයකි. පැතුම් සිනාසෙමින් පැවසුවේ නැඟණිය තමාට හොඳ අත්උදවුකාරියක බවය.

කුඩා වියේ සිට නිවෙසේ තිබූ පරිසරය පැතුම්ගේ සිත මෝටර් කාර්මික ශිල්පය කෙරෙහි නැඹුරු වන්නට විසල් පිටුවහලක් විය. ඊට හේතුව පැතුම්ගේ පියා ද වෘත්තියෙන් මෝටර් කාර්මිකයකු වීමය. නිවෙසේ පසෙක පියා කාර්මික කටයුතුවල නිරත වෙන කුඩා ගරාජය පිහිටියෙන් කුඩා වියේ සිට පැතුම්ගේ ඇස ගැටුණේ ඒ කාර්මික කටයුතුය. කුඩා වියේ සිට පැතුම් ද කාර්මික කටයුතු කෙරෙහි ඇල්මක් දැක්වුවද පැතුම්ගේ පියාට අවැසි වූයේ පුතුට හොඳ අධ්‍යාපනයක් ලබාදී ඔහුගේ අනාගතය සමෘද්ධිමත් කරන්නටය. පැතුම් ද මවුපියන්ගේ අපේක්ෂා සඵල කරමින් හොඳින් ඉගෙන ගත්තේය. නිව­ෙසට නුදුරින් පිහිටි මාර/අලපලාදෙණිය ද්විතීයික පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ පැතුම් අපොස උසස් පෙළ විභාගය සමත් වුවත් කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවීමෙන් සරසවි වරම් අහිමි වුවද පැතුම් එයින් අධෛර්යට පත් වූයේ නැත. බොහෝ කලෙක සිට සිය හදවතේ ජීවත් වූ කාර්මිකයාට පණ දෙන්නට ඔහුට සිතුණා විය හැකිය. පැතුම් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයට ඇතුළත්ව වසර 3ක මෝටර් කාර්මික‍ පාඨමාලාව (NVQ Level 4) හදාරන්නේ ඒ ඇසුරෙන් සිය ජීවන වෘත්තිය සකසා ගැනීමේ අපේක්ෂාවෙනි. තමාගේ ජීවනෝපාය වන මෝටර් කාර්මික ශිල්පය තුළින් සිය පුතු මෙපමණ පෙරළියක් කරනු ඇතැයි නොසිතූ පැතුම්ගේ පියා අද පැතුම්ගේ දස්කම් ගැන විසල් සතුටක් විඳියි. ඩී.කේ. සුනිල් ඒ සතුට වදන්වලට මුසු කළේ මෙලෙසිනි.

“පොඩි කාලයේ ඉඳලම පුතාට විවිධ හැකියාවන් තිබුණා. ඒත් අපි හිතුවේ නෑ තනියම කාර් එකක් හදයි කියල. මෝටර් සයිකලයක් හදනව කියල කිව්වා. මෝටර් සයිකල් එන්ජිමක් අරගෙන පෙරළ පෙරළ බලමින් වැඩ කරනවා දැක්කා. මම මොනවත් කිව්වේ නැහැ. මගෙන් ප්‍රශ්න අහනවා. මම උත්තර දෙනවා. සමහර බඩු ගන්න සල්ලි ඕන කිව්වම මම සල්ලි දුන්නා. මං හිතන්නේ පුතාගෙ යාළුවොත් මුදල්වලින් එයාට උදවු කළා. ටික දවසක් යනකොට තමයි පෙනුණේ මේ හදන්නේ කාර් එකක් කියල. මට ඇත්තටම සතුටුයි පුතා අපිට වඩා දුරට අඩිය තැබීම ගැන. මේ ගැන දැනගත්ත දවසේ ඉඳල පුතාගේ අම්මත් මමත් පුතාට උදවු උපකාර කළා. ගමටත් රටටත් නම්බුවක් ගෙන දෙන දරුවෙක් ගැන එයාගේ මවුපියන් විදිහට අපිටත් අහිංසක සතුටක්, ලොකු ආඩම්බරයක් දැනෙනවා. අද අපේ දරුවා ඉංජිනේරුවෙක් වෙලානේ.”

පිය සෙනෙහස දෝරගලා යන එවදන්වලින් පසුව පැතුම් ගැන කතා කළේ ඔහුගේ ආදරණීය මව පද්මිණී මදරසිංහය. 

“හැම මවුපියන් වගේම අපිත් උත්සාහ කළේ අපේ දරුවා විශ්වවිද්‍යාලයට යවන්න. දරුවා තනියම මේ වගේ විශ්මකර්ම වැඩක් කරාවි කියල අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒත් පුතා එයාගේ දක්ෂතාව ලෝකයට පෙන්නල තියෙනවා. දරුවගේ මේ දක්ෂකම්වලට අත දෙන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් ඔහු මීට වඩා ඉහළට යමක් කරන බව අපිට විශ්වාසයි.”

මවුපිය සෙනෙහස පිරුණු ඒ විශ්වාසය පැතුම්ගේ ඉදිරි දිවියට ආශිර්වාදයක් වනු නිසැකය. පැතුම් නැණ නුවණින් මෙන්ම යහ ගුණයෙන් ද පිරිපුන් දරුවකු ලෙස සමාජයට දායාද කිරීමේ සතුට අද ඔහුගේ මවුපියෝ සිත් පුරා විඳිති. අලපලාදෙණිය විහාරස්ථානයෙන් දහම් පාසැල් අධ්‍යාපනය ද මනාව ලැබූ පැතුම්, විහාරස්ථානයේ සිදු කෙරෙන සියලු වැඩසටහන්වලට සිය පූර්ණ දායකත්වය ලබා දීම ද අතපසු නොකළේය. ඒ නිසාම විහාරාධිපති හිමි ඇතුළු මහා සංඝරත්නයේ මෙන්ම දහම් පාසැල් ආචාර්ය මඬුල්ලේද ආදරය ද නිරායාසයෙන්ම පැතුම්ට හිමි විය. තලපෙකුඹුර ශ්‍රී සම්බුද්ධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය දමයන්ති වනිගසේකර පැතුම් ගැන කතා කළේ ඒ සෙනෙහස පෙරදැරිවය.

“පැතුම් උදයංග අපේ දහම් පාසලේ ආරම්භක සිසුන් අතර සිටී ඉතාමත් දක්ෂ ගුණ ගරුක විනය ගරුක ශිෂ්‍යයෙක්. මනා සංයමයකින් යුතුව ඔහු ආගමට දහමට මුල් තැන ලබා දෙමින් දහම් පාසලට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා. කුඩා කාලයේ ඉඳලම පැතුම් දහම් අධ්‍යාපනයට මුල් තැන දෙමින් චිත්‍ර, කැටයම් මෙන්ම නව නිර්මාණ කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වුවා. ඔහුට මැටි පිඬක් ලබා දුන්නොත් ඔහු එයින් විස්මිත දෑ නිර්මාණය කළා. යකඩ කැබැල්ලක් දුන්නම අදහාගන්න බැරි විදියට නොයෙක් දේවල් නිර්මාණය කළා. දහම් අධ්‍යාපනය සහ උසස් පෙළ අධ්‍යාපන කටයුතු අවසන් කරල මාතර කාර්මික විද්‍යාලයේ ඉගෙන ගන්න ගියත් සම්බුද්ධ දහම් පාසලේ ආචාර්යවරයකු ලෙස දිගටම කටයුතු කළා. දහම් ගුරුවරයකු ලෙසින් තවමත් අපේ දහම් පාසලට ඔහුගේ සේවය ලබා දෙනවා. පැතුම් දහම් පාසලට වගේම ගමටත් රටටත් ආදර්ශයක්. මවුපියන්ට බරක් නොවී, ඔවුන්ට අභිමානයක් වෙමින් පියාගේ අඩි පාරේ යමින් නව නිර්මාණයක් බිහි කරන්නට සමත් වූ පැතුම් ගැන අපිට තියෙන්නේ විශාල අභිමානයක් වගේම ආඩම්බරයක්. ඒ වගේම පැතුම්ගේ මේ දස්කම් තවත් දියුණු කරගැනීම සඳහා කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් ඉදිරිපත් වෙනවා නම් එය ඔහුගේ දිගු ගමනට ශක්තියක් වෙනවා නොඅනුමානයි.”

ගුරු දෙගුරුන්ගෙන් එකසේ ප්‍රසාද ලබන්නට තරම් වාසනාවන්ත වූ පැතුම් සමාජයට හිත හොඳ තරුණයෙකි. මිතුරන් අතර හොඳ මිතුරෙකි. පැතුම්ගේ අඹ යහළුවා, උදාර මධුශංක වෘත්තියෙන් (Software Engineer) මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු පැතුම් ගැන කතා කළේ සතුටිනි.

“පැතුම් මල්ලී පුංචි කාලේ ඉඳන් මා එක්ක එකටමයි ඉගෙන ගත්තේ. පාසලේ උත්සවවලදී පුංචි පුංචි කාර්මික හපන්කම් කළා. පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවවලට පැතුම් බොහෝ‍ නිර්මාණශීලී දායකත්වයක් ලබා දුන්නා. තමන්ගේ නිවාසයට විතරක් නෙවෙයි උදවු ඉල්ලන ඕනම නිවාසයකට නිර්මාණවලින් දායකත්වය ලබා දුන්නා. එයාට උපතින්ම කාර්මික ඥාණය ලැබිල තිබුණු බව දැන් තමයි අපිටත් වැටහෙන්නෙ. විභාගවලින් හොඳට සමත්වුණාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න බැරි වුණත් පැතුම් කාර්මික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීම එයාගේ මේ දක්ෂතාවලට ලැබුණු අත්වැලක් කියලයි මට හිතෙන්නේ. පැතුම් මල්ලිට කාර් එකක් නිෂ්පාදනය කිරීමේ අදහස තිබුණෙ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේදී. මා එක්ක ඒ ගැන කතා කරල තියෙනවා. ඒ අදහස දවසින් දවස පස්සට ඇදුණේ ආර්ථික අපහසුකම් නිසා වුණත් එයා අදහස අත්ඇරියේ නැහැ. තනියම කාර් එක හදන්න පටන් ගත්තා. මගෙන් කිසිම උපදෙසක් බලාපොරොත්තු වුණේ නැහැ. විවේකයක් ලැබුණාම මා එක්ක කියනවා මෙන්න මේකයි මම කරන්න හදන්නේ කියල. පැතුම් මල්ලිට තවත් ඉදිරියට යන්න හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. යාළුවෙක් විදිහට අපිටත් එයා ගැන ගොඩක් සතුටුයි.”

පසුබිම් වාර්තා සහ ඡායාරූප විජිත සල්ගාදු, අකුරැස්ස මධ්‍යම විශේෂ

Comments