ජනතාවට සහන දැනෙන්නේ IMF නිසාද? | Page 2 | සිළුමිණ

ජනතාවට සහන දැනෙන්නේ IMF නිසාද?

ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ගමන වේගවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලේ පළමු වාරිකය වූ ඩොලර් මිලියන 330 ක මුදල ලැබුණේ පසුගිය මාර්තු 22 වැනිදාය. IMFණය සහනාධාරය ලංකාවට ලැබීමත් සමඟ ජනතාව අපේක්ෂාවෙන් සිටි අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ගේ මිලද අඩුවීමට පටන් ගෙන ඇත. පසුගියදා ජනතාවට දැනෙන ඉන්ධන මිල අඩුවීමක් සිදු විය. බස් ගාස්තු, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ගේ හා සේවාවන්ගේ මිල අඩුවිය. ජනතාවට දැනෙන මේ අඩුවීම සිදු වූයේ IMF සහනාධාරය හේතුවෙන්ද? IMF ද අපිට ගෙවීමට ඇති ණයක් නිසාවෙන් මේ මිල අඩුවීම තාවකාලිකද? මේ පිළිබඳ හොඳම දෘෂ්ටිකෝණය වූ ආර්ථික විද්‍යා විශේෂඥවරු මේ මිල අඩුවීම, රුපියල ශක්තිමත් වීම මෙන්ම IMF ණය සහනාධාරය ලැබීම සම්බන්ධයෙන් සිළුමිණට දැක්වූයේ මෙවන් අදහස්ය.

මේ සියල්ල තාවකාලික ණය සහනය නිසා ලැබුණු දේවල් 
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සිරිමල් අබේරත්න

 IMF කියන්නේ දැනට පවතින අර්බුදයෙන් මිදෙන්න අපිට ලැබුණු තාවකාලික සහනයක්. ඒ සහනයත් සමඟයි, අපිට වැසී තිබුණු ණය ලබා ගැනීමේ දොරටු විවෘත වුණේ. මේ තත්තවය තුළ බඩු මිල අඩුවීම, විනිමය අනුපාතය පහත වැටීම දැකිය හැකියි. එය සර්ව සම්පූර්ණ තත්ත්වයක් නෙමෙයි. මේ සියල්ල අපිට තාවකාලිකයි. රට වැටි ඇති අර්බුධකාරී තත්ත්වයෙන් තව දුරටත් පහත වැටීම වළක්වා ගැනීමට මෙය සහනයක් වෙනවා. මේ සියල්ල විදේශීය ණය. එමනිසා විදේශීය ණයවලින් ගොඩ ඒමයි, අපිකළ යුත්තේ. IMF කොන්දේසිවලත් එය සඳහන් වෙනවා. විදේශීය ණය දළ දේශිය නිෂ්පාදිතයෙන් 4.4% දක්වා ඉදිරියේදී අඩු කිරිමට ඉලක්ක කරගත යුතුයි. ණය ගනිමින් ණය අඩුකර ගත යුතුයි. අපේ ණය ගැනීමේ තත්ත්වය IMF නිසා වැඩි විය හැකියි. එසේනම් අපි ණය ලබාගැනීම් හරහා ණය බර අඩු කරන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතුයි. විදේශ ආයෝජන වැඩි කිරීමෙන් අපනයන වැඩි කළ යුතුයි.

IMF හරහා බඩු මිල අඩුවීමක් සිදුවිය හැකියි. තෙල් මිල අඩුවීම නිසා බොහෝ දේ අඩු වෙනවා. මේ සියල්ල තාවකාලික ණය සහනය නිසා ලැබුණු දේවල්. රුපියල ශක්තිමත් වීම සිදුවන්නේ විදේශීය ලැබීම් හා ගෙවීම් අනුවයි. ලැබීම් ශක්තිමත් වීමට මේ IMF ණය සහනාධාරය හේතු වුණා. නමුත් මෙය ස්ථිරසාර ශක්තිමත් විමක් නෙමෙයි. ඒ සඳහා ආයෝජන වැඩි කළ යුතුයි. ඉන් අපනයන වැඩිකළ යුතුයි. ඉදිරි IMF ණය මුදල් ලබා ගැනීමටත් අපිට ණය බර අඩු කළ යුතු වෙනවා. විදේශීය සංචිත ප්‍රමාණය වැඩිවිය යුතුයි. අයවැය පරතරය අඩු කළ යුතුයි. අපිට ණය මත යැපීම ක්‍රමක්‍රමයෙන් අඩු කළ යුතුයි. ඒ සඳහා අපනයන වැඩි කළ යුතුයි. ගිය වසරේ ඉන්දියාවට ඩොලර් බිලියන 82 ක විදේශීය ආයෝජන ආවා. නමුත් අපේ රටට ආපු ප්‍රමාණය ඩොලර් බිලියන 1 ටත් අඩුයි. අපනයන ප්‍රවර්ධනයෙන් ඉදිරියට යාම හොඳම දර්ශකයක් වෙනවා.

ණය මුදල් ආයෝජන වෙනුවෙන් වැය කළ යුතුයි 
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය නවරත්න බණ්ඩා

අපිට ලැබී ඇත්තේ ණයක් බව සිතාගෙනයි අපි වැඩ කටයුතු කළ යුත්තේ. IMFවලින් අපිට ලැබුණු ඩොලර් මිලියන 330 න් 120 ක්ම ඉන්දියන් ක්‍රෙඩිට් ණය පහසුකමට ගෙවා තියෙනවා. ආර්ථික විද්‍යාඥයකු ලෙස ණයෙන් ණය ගෙවීම ගැන මගේ කිසිම සතුටක් නැහැ. මේ ණය අපි ආයෝජනය කර ප්‍රතිලාභ තබා ගත්තා නම් ඒ ප්‍රතිලාභවලින් මේ ණය ගෙවිය යුුතුව තියෙනවා. මේ ණය හරහා රටේ දේශීය කර්මාන්ත, සංචාරක කර්මාන්තය, විදේශ රැකියා පුහුණුවීම්, කුඩා හා මධ්‍යම පරිමාණ රැකියා දියුණු කිරීමේ හැකියාව පවතිනවා. අපිට වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලා, රබර්, කොහු ආශ්‍රිත කර්මාන්ත ශාලා, කොකෝවා, කපාපු පොල් ආශ්‍රිත කර්මාන්ත ශාලා මෙන්ම අපේ අපනයන කාර්මාන්ත ශාලා දියුණු කළ හැකි නම් එය මේ අවස්ථාවේදී කළ යුත්තක්.

තෙල් මිල අඩුවීම සිදු වුණේ ඩොලරයේ අගය පහළ යෑමෙන් ලැබුණු සහනයක් නිසාවෙන්. අපි තවම ණය නොගෙවන රටක්. බඩුමිල අඩුවීමෙන් යම් සහනයක් ලැබුණත් කවදා හෝ මේ ණය අපිට ගෙවීමට සිදු වෙනවා. ණය ගෙවීමට පටන් ගත් පසු මේ සහනය නැතිව යන නිසා මෙසේ ගත් ණය මුදල් ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයෙන් අයෝජනයන් කළ යුතුයි. මේ වන විට ඩොලරය බැසීම නිසා රුපියල් ශක්තිමත් වෙලා. රට දියුණු කර ණය ගෙවිය හැකි ආර්ථිකයක් ඇති කළ යුතුයි. මේ මුදල් අහවර වූ පසු අප කළ යුත්තේ කුමක්ද? රජයට මේ සඳහා නිසි සැලැස්මක් තිබිය යුතුයි. දෙවැනි වාරිකයෙන් හෝ ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය කළ යුතුයි. එසේ නොවුනොත් යළි බදු බරටම මේ බරත් එක්වේවි.

IMF හා බඩු මිල අඩුවීම අතර විශාල සම්බන්ධතාවක් නැහැ 
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල

IMF සහනාධාරය හා ලංකාවේ බඩු මිල අඩුවීම අතර විශාල සම්බන්ධතාවක් මම දකින්නේ නැහැ. ලංකාවේ බඩු මිල අඩුවීම තුළ බලපෑ ප්‍රධාන කාරණා ගණනාවක් තිබුණා. පසුගිය කෘෂි කන්නවල නිෂ්පාදන යම් පමණකට වැඩි වුණා. ඒවා වෙළෙඳපොළ කරා දැන් පැමිණෙමින් තියෙනවා. අනිත් පසින් යම් ආකාරයකට විදේශ විනිමය අනුපාතයේ වැඩිවීමක් සිදු වුණා. රුපියල් ශක්තිමත් වීම තුළ තෙල් ඇතුළු ආනයනය කරන දේ මිල පහළ යැම නිසා ප්‍රවාහන ක්ෂේත්‍රයේ වියදම් පහළ ගියා. එසේම පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල්, ගෑස් මිල විශාල වශයෙන් අඩු වුණා. එයත් තෙල් මිල අඩුවීමට බලපෑවා. IMF එකෙන් ලැබුණේ සහනයක්. එය මත පදනම්ව බඩු මිල පහළ ගිය බවට මතයක් පළ කළ නොහැකියි. නමුත් ඒ ලැබුණු මුදල ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කිරීමට හා රටේ වියදම් පාලනය කිරීමට හැකි වුණා. එය යම් සහනයක්. මේ මුදල් ප්‍රමාණය මත රුපියල ශක්තිමත් වේ නම් එය අස්ථාවර ශක්තිමත් වීමක්. IMF මුදල ලංකාව තුළ නිවැරදිව භාවිත වීමට නම් එය ආර්ථිකය නඟා සිටුවීමට වෙන්විය යුතුයි. අපි ලබා ගන්නා ණයක් පාරිභෝගික වියදමට යොදවන්නේ නම් එය රටට හානියක්. නමුත් මේ මුදල වියදම් කළ යුත්තේ රටේ ආර්ථිකය ශකිත්මත් වීමටයි. නමුත් මේ අවස්ථාවේ එවැනි ආයෝජන සැලැස්මක් දැක ගන්නට හැකිවන්නේ නැහැ. මේ ණය වැඩසටහනට ඉලක්ක රාශියක් තියෙනවා. ඒ සඳහා දේශිය ආර්ථිකය නඟා සිටුවන වැඩ පිළිවෙලක් රජය ඇති කළ යුතුයි. ඊළඟ වාරිකය ලබා ගැනීමට IMFකොන්දේසි සමඟ ඉදිරියට යා යුතුයි. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ ණය හිමියන්ගෙන් ඉදිරියට තවත් කොන්දේසි පැමිණිය හැකියි. ඒ අය දැඩි ක්‍රියාමාර්ග ඔත්සේ අපේ ආර්ථිකයට මැදිහත් වීමට ඇති ඉඩකඩ වැඩියි. අභියෝගය ඇත්තේ එතැනයි.

ලැබෙන වාසිය ඒ අවස්ථාවේදීම ජනතාවට ලබා දුන්නා
- කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම නිසා ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට හා ආර්ථිකය ක්‍රමවත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එසේම ඩොලරයේ අගය පහත බැසීම නිසා රුපියල තව දුරටත් ශක්තිමත් වෙලා තියෙනවා. මේ නිසා ලැබෙන වාසිය ඒ අවස්ථාවේදීම ජනතාවට ලබා දීමටයි රජය තීරණය කළේ. එය ධනාත්මකයි. ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක වාසියෙන් කොටසක් ලබාදීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට පහසුවක් සපයනවා. විවිධ ප්‍රතිසංස්කරණ සිදු කරද්දි වෘත්තීය සමිති නැඟී සිටියට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කරන්නට ජනතාව දැන් නැඟී සිටිනවා. ඊට හේතු වුණේ ජනතාවට තෙල් මිල අඩුවීමේ වාසිය ලැබීම නිසයි. ජනතාව කෙටි කාලීනව IMF වාසිය බලාපොරාත්තු වෙනවා. ඉන්ධන මිල හා බඩු මිල අඩුවීම මේ වැඩ සටහන වේගයෙන් ඉදිරියට ගෙන යාමට පහසුවක්. ආර්ථික කටයුතු ශක්තිමත් කිරීමට, ඉදිරි IMF ණය ලබා ගැනීමේදි ජනතාව තුළ විශ්වාසය ලබා ගැනීම වැදගත්.

භාණ්ඩ මිල ඉහළ යාමට වෙළෙන්දන්ගේ සූරා කැමත් හේතුවක් වුණා. ආර්ථික අවිනශ්චිතතාවකදී අඩුමිලකට ලබා දිය හැකි වුවත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කෘතීමව මිල වැඩි කළා. නමුත් දැන් තරගාකාරිත්වය හමුවේ මිල ගණන් පහළ වැටෙමින් තියෙනවා. මේ අවස්ථාවේ ඇති වන බඩු මිල පහළ යෑම තාවකාලික අඩුවීමක් නෙමෙයි. එමනිසා මිල ගණන් පහළට හැඩ ගැස්සවිය යුතුයි. බිත්තර ලැබෙන කොට මිල පහළ බසිනවා. ඉදිරියේදී ආනයන සීමා ඉවත් වූ පසු වැඩි මිලට විකිණීම් හා භාණ්ඩ සැඟවීම්වලට ඉඩක් ලැබෙන්නේ නැහැ. තෙල් මිලට සේම අනිකුත් සෑම දෙයටම පාරිභෝගික අයිතීන් සුරැකීමට මිල සුත්‍රයක් හඳුන්වා දිය යුතුයි. ඊට අදාළ නිති රීති හා නියාමන ආයතන හඳුන්වා දිය යුතුයි.

බඩු මිල අඩුවීමට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතු වුණා
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ හිටපු අංශාධිපති හා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

IMF වලින් අපිට ලොකු ණය පහසුකමක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ තුළ ආයෝජකයන්, ව්‍යාපාරකයන්, ණය දෙන ආයතන අපි දෙස බලන ආකල්පයේ ධනාත්මක වෙනසක් ඇති වුණා. මේ නිසා රුපියලේ අගය වැඩි වී එහි ස්ථාවරත්වය තීන්දු වන්නේ ආර්ථික කාර්ය සාධනය මතයි. රුපියල ශක්තිමත් වෙන විට බොහෝ භාණ්ඩවල මිල අඩු වෙනවා. අපේ බොහෝ භාණ්ඩ ගෙනෙන්නේ විදේශයන්ගෙන්. ඉන්ධන ආදියේ මිල අඩු වීම හරහා බස් ගාස්තු, බේකරි නිෂ්පාදන මිල අඩු වෙනවා. විදේශ රටවල සිට ලංකාවට මුදල් එවන අයට රට ගැන විශ්වාසය ඇති වෙමින් පවතිනවා. ඊට හේතුව රුපියලේ අගය වැඩි වීමයි. සංචාරකයන් පැමිණීම වැඩි වෙමින් පවතිනවා. පසුගිය කාලයේ රුපියල් මාරු කර ඩොලර් එකතු කරන්න පටන් ගත්තා. අපනයනකරුවන් මුදල් දුන්නේ නැහැ. දැන් රුපියල ස්ථාවර වීම නිසා තම ඩොලර් එළියට දැම්මා. ඊට අමතරව ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීම බඩු මිල අඩුවීමට බලපෑවා. ආහාර මිල පහත වැටීමට කෘත්‍රිම පොහොර ලබා ගැනීමේ හැකියාව බලපෑවා. දේශගුණය හොඳ මට්ටමක පවතිනවා. මේ නිසා දේශීය හා විදේශීය ආහාර ගෙන්වීම හා බෙදා හැරීම වැඩි වුණා. විදේශයන්ගෙන් ගෙනෙන භාණ්ඩවලට රජය අනුගමනය කරන බදු අඩු වැඩි කිරීමත් මෙයට බලපෑවා.

නමුත් අපේ රටේ පාරිභෝගිකයා සූරාකෑමේ සම්ප්‍රදාය තියෙනවා. පිරිසක් මිල අඩු කළාට සමහරු මිල අඩු කිරීමක් කළේ නැහැ. තවමත් භාණ්ඩ සැඟවීම කරනවා. ඒ බරත් අවසානයේ ජනතාවට. ඒ නිසා දියුණු සංස්කෘතියක් ඇති කර ගත යුතු වෙනවා. මේ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු වෙනවා. මේවා නියාමනයට පාරිභෝගික අධිකාරිය තියෙනවා. නමුත් ඊට බලයක් නැහැ. සෑම තැනක්ම ඔවුන්ට සොයා බැලීම අපහසු බව ඇත්ත. එම නිසා කළ යුත්තේ දියුණු සංස්කෘතියක් ඇති කිරීමයි.

Comments