ඉවානොෆ් යනු ඇන්ටන් චෙකොව්ගේ එනමින් යුත් චතුරාංක නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. මේ වනාහි චෙකොව්ගේ මුල්ම වේදිකා නාට්‍ය පිටපත වේ.
චෙකොව් සිංහල පාඨකයාට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ යැයි සිතමි. මන්ද ඔහුගේ කෘති විශාල සංඛ්‍යාවක් සිංහලට පරිවර්තනය වී ඇති සහ ඒ සියල්ල එකසේ ජනප්‍රිය ද වන නිසාය.
මේ නාට්‍යය, මොස්කව්හි කෝෂ්තියටර් නම් රඟහලේ හිමිකරුගේ ඉල්ලීම පරිදි චෙකොව් විසින් 1887 වසරේ ලියන ලදැයි සඳහන්ය. කෝෂ් ඉල්ලා ඇත්තේ ප්‍රහසනයකි. ඒ අනුව රචිත මෙය දින දහයක් තුළ ලියා නිම කරන ලදුව පුහුණු කටයුතු අරඹා කෙටි කලක් තුළ රඟ දක්වා ඇත.
මංගල දර්ශනය අසාර්ථක වූ අතර, එය චෙකොව් අධෛර්යයට පත් කරන්නට හේතු විය. වේදිකාව මත වූ මුල් දර්ශනය තමාගේමය කියා හඳුනා ගන්නට තමා නොසමත්වූ බව පසුව ඔහු සිය සොහොයුරාට ලීවේය. "නළුවෝ හරියට දෙබස් කියන්නට නොදනිති. ඔවුන් තමන්ගේ භූමිකා දැන නොසිටි බව මගේ අදහසයි."මෙය චෙකොව් නොරිස්සුමට පත් කළේය. ඉන්පසු ඔහු පිටපත සම්පූර්ණයෙන්ම පාහේ වෙනසකට බඳුන් කළේය.
කෙසේ වෙතත් නාට්‍යයේ චෙකොව් දුටු මේ අසාර්ථකත්වය කෝෂ්ට නිරීක්‍ෂණය නොවූ බව ද සඳහන්ය. සංශෝධිත නාට්‍යය 1889 දී ශාන්ත පීතර්ස්බර්ග් නුවර වේදිකා ගත කැරිණි. පසුව කිහිපවිටක්ම මෙහි පිටපත ඔහු අතින් සංස්කරණයට බඳුන් වූ බැව් පැවසේ.
මේ නාට්‍යය ඉවානොෆ් නම් පුද්ගලයා වටා ගොඩ නැඟේ. බුර්ෂුවා පැලැන්තියට අයත් ඉවානොෆ් මේ වනවිට ණය බරින් මිරිකී සිටින්නෙකි. සිය වතුපිටි පාලනය ඔහුගේ එතරම් උනන්දුවක් නැත. ඒවා බලා කියා ගන්නේ ඔහුගේ දුර නෑයකු වන මිඛායෙල් බෝර්කින් විසිනි. නාට්‍යය ඇරඹෙන්නේ නොවැදගත් චරිතයක් වන බෝර්කින් සහ ඉවානොෆ් අතර සංවාදයකිනි.
ඉවානොෆ්, සීනයිදා ලෙබදෙව් නමැති කාන්තාවකට රූබල් හත්සීයක් තරම් විශාල මුදලක් ණයය. සීනයිදා සැමියා වන පාවුල් ලෙබදෙව් ග්‍රාමීය කවුන්සලයේ සභාපති වන අතර, ඉවානොෆ්ගේ විශ්වාසවන්තම කුළුපග මිතුරාය. මේ යුවළගේ දියණිය වන විසි හැවිරිදි සාෂා ඉවානොෆ්ට පෙම් කරන්නීය.
ඉවානොෆ්ගේ බිරිය ආන්නා ය. සාරා ඒබ්‍රහම් සන් නමැති යුදෙව් ලියක් වන ඇය මේ විවාහය නිසා මවුපියන් විසින් පවුලෙන් පිටමන් කරන ලද්දී, අන්ත අසරණ බවට පත්වැ සිටින්නියකි. ඒ මදිවාට ඇය දැන් ක්‍ෂය රෝගයෙන් පෙළෙන්නීය.
ඇත්තටම ඉවානොෆ් ඇය විවාහ කැර ගත්තේ ඇය සතු ධනය නිසාය. එහෙත් විවාහයත් සමඟ ඇයට යුදෙව් ආගම අත්හරින්නට සිදුවූ හෙයින් ඇගේ මවුපියෝ "උඹ අපේ මරණෙටවත් එපා"කියා ඇය අතෑර දැම්මෝය. මේ නිසා ඉවානොෆ් බලාපොරොත්තු වූ ධනය අත්පත් කැර ගන්නට ඔහුට නොහැකි විය. ඒ හේතු නිසාම දැයි හරියට කිව නොහැකි වුවත් ඉවානොෆ් දැන් ඇයට ආදරේ නැත.
ඔහු එය ඇයට කියන්නේ මෙසේය. "ඔයාට දැන ගන්නම ඕන නම් මං කියන්නම්. ඒක කියන එක දුෂ්ටකමක් තමයි. ඒත් ඒක කියල දාන එක හොඳයි. මට මේ මානසික වේදනාව උග්‍ර වෙනකොට ඔයාට තියෙන ආදරේ නැතිවෙලා යනවා. ඉතින් මං ඔයාගෙන් ඈත්වෙනවා. මට ගෙදරින් පිටවෙලා ඉන්න හිතෙනවා එච්චරයි."
ආන්නාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා වන ල්ලොව් ඇයගේ රෝගය සුව වීමට නම් ක්‍රිමියාවේ නිවාඩුවකට ඇය කැටිව යා යුතු බව ඉවානොෆ්ට කියයි. එහෙත් ඔහු එය නෑසූ කන්වැ හිඳියි. එකක් ඔහුට මුදල් නැත. අනෙක ඔහු ඇයගේ මරණය ප්‍රාර්ථනා කරයි.
දිනෙක ඉවානොෆ් හා සාෂා වැලඳගෙන සිටිනු ල්ලොව් සමඟ ලෙබදෙව් නිවෙසට යන ආන්නා දකින්නීය. ඉවාන් බංකොලොත් බවට පත් වේ. සීනයිදාගේ ණය ගෙවනු නොහැකි තැනට පත් වෙයි. එහෙත් සීනයිදා අඩු තරමින් පොලියවත් ඉල්ලා පෙරළි කරයි. මෙහිදී ලෙබදෙව් දුර්මුඛ වෙයි.
කෙසේ වෙතත් සාෂා තමාට පෙම් කරන නිසා ඉවාන්ගේ සිතට අස්වැසිල්ලක් දැනේ. ඈව විවාහ කැරගෙන දෑවැද්දෙන් ණය පියවන්නට හැකි බව ඔහු වටහා ගනියි.
ආන්නාගේ මරණය සිදු වූ බව ප්‍රේක්ෂකයාට දැන ගන්නට ලැබෙයි. සාෂාගේ සහ ඉවාන්ගේ විවාහය තීන්දු වෙයි. විවාහය දින පල්ලියට නොව මනාලියගේ නිවෙසට යන මනාලයා වෙඩි තබාගෙන සිය දිවි තොර කැර ගනියි.
චෙකොව් 1888 දෙසැම්බර් 30 වැනිදා සුවෝරින් නමැති මිතුරකුට යැවූ ලිපියකින් ගත් ඡේද කිහිපයක් මෙහි පරිවර්තක උපුටා පළ කරයි. ඉන් උධෘතයකි මේ, "ඉවානොෆ් මහත්මයෙකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබුවෙකි. මොන අන්දමකින්වත් අසාමාන්‍ය නොවේ. බහුතර ශිෂ්ට සම්පන්න රුසියානුවන්ට මෙන් ඔහුට ද විශිෂ්ට අතීතයක් ඇත. ඉවානොෆ් වෙහෙසට පත් වැ සිටියි.
ඔහුට තමා වටහා ගත නොහැකිය. ජීවිතය ප්‍රශ්න ඇති කරයි.
තමා කැමැති වුවත් නැතත් ඔහු තීරණයක් ගත යුතුය. රෝගී බිරිය, ණය කන්දරාව, සාෂා දැන්, තමා මේ සියලු ප්‍රශ්න විසඳන්නේ කෙසේද? ඉවානොෆ් වැනි මිනිස්සු ගැටලු නිරාකරණය නොකරති, ගැටලුවලට යටවී වැනසෙති".
පරිවර්තකගේ සටහනේ මෙසේ දැක්වේ.
"චෙකොව් නාට්‍යවල ප්‍රධාන භූමිකාව බොහෝවිට ඉඩම් හිමි මධ්‍යම පාන්තිකයෙකි.
ඇතැම් විට ඔහු උගතෙකි. මේ පන්තිය තුළ පිළිකාවක් මෙන් වැඩෙන අශ්ලීලත්වය, අපවිත්‍රකම, අමනකම සහ කෑදරකම දෙස චෙකොව් බලන්නේ අනුකම්පාවෙනි.
එම පන්තියේ අලසකම හා උදාසීනත්වය ඔහුගේ ගර්හාවට බඳුන් වන්නේ තමන් එරී ඇති මඩ වගුරෙන් ගොඩ ඒමක් ගැන සිතන්නට පවා ඔවුන් අපොහොසත් හෙයිනි. චෙකොව් ඔවුන්ගේ වික්‍ෂිප්ත මනෝ භාව ඉතා ශූර අන්දමින් හා සියුම්ව සිය නාට්‍යවලට හා කෙටිකතාවලට පිවිස වන්නට සමත් වූයේය. ඉවානොෆ් යනු එකී උගත් බුර්ෂුවා පන්තියේ සාමාජිකයෙකි."
ඉවානොෆ්, ආරියරත්න විතානගේ
පරිවර්තනයකි.