ආත්මාර්ථකාමීත්වය සෝදා පිරිසිදු කරන අයුරු | Page 2 | සිළුමිණ

ආත්මාර්ථකාමීත්වය සෝදා පිරිසිදු කරන අයුරු

භාවනාව පිළිබඳ වැරැදි හැඟීම් 7ක් මේ වන විට ඔබ දන්නවා ඇත. එහි ඉතිරි වැරැදි හැඟීම් 4 අද ඉදිරිපත් කෙරේ.

8 වන වැරදි හැඟීම : 
මහත් ප්‍රීති ප්‍රමෝදයක් අත් කරගනු සඳහා භාවනාව කදිම මාර්ගයක් යැයි සිතීමය.

පිළිතුර? ඔව් සහ නැත.

භාවනාවේ යෙදෙන සමහර අවස්ථාවලදී ප්‍රමෝදවත් හැඟීම් ජනිත වෙයි. නමුත් ඒවා ප්‍රධාන අපේක්ෂාව නොවෙයි. ඒවා සෑම භාවනා කාලයකදී ම අත්නොදකියි. සිහි කල්පනාව (එළැඹි සිහිය) වඩා ගැනීමේ අභිප්‍රායෙන් තොරව, ප්‍රමෝදයක් අපේක්ෂාවෙන් භාවනාවට වාඩි වූ විට එය ඉටු නොවීමේ ඉඩ කඩ වැඩියි. ප්‍රමෝදය හට ගන්නේ මානසික විවේකය තුළිනි. මානසික විවේකය ඇති වන්නේ ආතතිය මුදා හළ විටයි. භාවනාවෙන් ප්‍රමෝදය බලාපොරොත්තු වීම නිසා ඉපදෙන ආතතිය මඟින් ක්‍රියාදාමය විසිරී යයි. එය තවත් උගුලකි. ප්‍රමෝදය ලබා ගැනීමට නම් එය පසු පස හඹා නො යා යුතුයි. ඔබ ලබා ගැනීමට උත්සාහ දරන්නේ ඉතා සුන්දර හැඟීම් හා මහත් ප්‍රීතිය නම්, ඒවා ලබා ගත හැකි අන් පහසු ක්‍රම ඇත. භාවනාවෙන් අප සොයන්නේ මහත් සොම්නසක් හෝ දිව්‍ය සැපත නොවෙයි. නිතරම ඇති වුණ ද එය අතුරු ඵලයක් පමණක් ලෙස සැලකිය යුත්තකි. එය ඉතා ප්‍රියජනක වූ ද දිගු කාලයක් භාවනාවේ යෙදෙන විට නිතර නිතර අත්විඳීමට හැකි අතුරු ඵලයකි. ඉතා ප්‍රවීණ භාවනානුයෝගීන් වුව ද මෙම කරුණු පිළිබඳ එකඟ වනු ඇත. 

9 වන වැරදි හැඟීම : 
භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවකි

සැබවින්ම එය පෙනෙන්නේ එසේය. භාවනානුයෝගියා කුෂන් කොට්ටයක් මත වාඩිවී හිඳියි. ඔහු ලේ දන් දෙමින් හිඳියි ද? නැත. ඔහු ආපදාවන්ට ලක්වූවන්ට සහන සලසමින් සිටියි ද? නැත. නමුත් අපි ඔහුගේ චේතනාව විමසා බලමු. ඔහු මෙසේ කරන්නේ කුමක් නිසා ද?

තමාගේ සිතෙන් තරහව, අගතිය හා වෛරය පහ කිරීමේ අදහසින් ඔහු එසේ කරයි. ඔහු ඉතා ක්‍රියාශීලී ලෙස තෘෂ්ණාව, ආතතිය, අසංවේදී බව ඉවතලෑමේ ක්‍රියාවේ නිරතව සිටියි. අන් අය වෙත දක්වන කරුණා මෛත්‍රියට හරස් කපන්නේ ද මෙම සිතුවිලි වෙයි. මෙම කිලිටි සිතුවිලි පහවී නොයන තුරු, ඉටු කරන යහපත් ක්‍රියාවන් බොහෝදුරට තමාගේ මමත්වය තහවුරු කරන්නක් පමණක් විය හැකි බැවින් අවසානයේදී ඉන් එතරම් වැඩක් නොවීමට පුළුවන. උපකාර කිරීමේ නාමයෙන් අවැඩක් කිරීම, ඉතා පැරණි අභ්‍යාසයකි. ස්පාඤ්ඤ පරීක්ෂණ සභාවේ ප්‍රධාන විමර්ශකයා එම පරීක්ෂණයට උදාර හේතු දැක්විය. "සාලෙම්" මායාකාරියන්ට විරුද්ධ අපරාධ නඩු විභාගයක් පවත්වන ලද්දේ "මහජන සුබසිද්ධිය" සඳහා බව කියන ලදී. ප්‍රවීණ භාවනානුයෝගීන්ගේ පෞද්ගලික ජීවිත පිරික්සා බලන කල ඔවුන් සැබවින්ම මානව සුබසිද්ධිය උදෙසා සේවයේ යෙදී සිටින බව දැකගත හැකිය. උසස් ආගමික අරමුණක් උදෙසා බව අඟවමින් අනුන්ගේ ජීවිත බිලි දීමට නොපසුබට වන ඇතැම් ධර්ම දූතයන් මෙන් ඔවුහු ක්‍රියා නොකරති. ඇත්ත පිළිගන්නේ නම් සිතා සිටිනවාට වඩා අපි ආත්මාර්ථකාමීහු වෙමු. මමත්වය මුල් වූ විට ඉතාම උදාර කාර්යයක් පවා නොවටිනා පහත් තත්ත්වයකට ඇද වැටෙයි. ආත්මාර්ථකාමි බව ප්‍රකාශ වන විවිධ සියුම් ක්‍රම හැඳින්වීම තුළින් භාවනාවේදී අපි අපගේ සැබෑ ස්වරූපය දැක ගනිමු.

10 වන වැරදි හැඟීම : 
භාවනාවේදී අපි වාඩි වී උදාර සිතිවිලි කල්පනා කරමු

නැවත වතාවක් ඔබ වැරදියි. මෙවැනි මෙනෙහි කිරීම් සිදු කරන කණ්ඩායම් ද ඇත. නමුත් එය විපස්සනාව නොවෙයි. විපස්සනාව යනු එළැඹි සිහියෙන් හිඳීමට පුරුදු පුහුණු වීමයි. පරම සත්‍යය හෝ වේවා තුට්ටුවක් නොවටිනා දේ හෝ වේවා වෙනසක් නැතිව සිත තුළ පවතින දේ පිළිබඳව දැන ගැනීමයි. සැබැවින්ම ඔබගේ භාවනා කාලය තුළදී උදාර සිතිවිලි පැන නැඟීමට ඉඩ ඇත. ඒවා කිසිසේත්ම මඟ හැරිය යුතු නැත. එමෙන්ම එවැනි දේ සොයා යෑම ද නොකරන්න. ඒවා හුදෙක්ම ප්‍රසන්න අතුරු ඵලයන් පමණක්මය. විපස්සනාව සරල අභ්‍යාසයකි. විශේෂ මනාපයක් හෝ මානසික ලේබල ඇලවීමක් නැතිව, තම ජීවිතයේ සිදුවීම් ඍජුවම අත්දැකීම විපස්සනාවේ කාර්යයයි. අපක්ෂපාතීව ඔබගේ ජීවිතය මොහොතින් මොහොත ඔබ ඉදිරියේ දිග හැරෙන සැටි බලා හිඳීම විපස්සනාවයි. සිදුවන දේවල් සිදු වෙයි. එය තරම්ම සරලය.

11 වන වැරදි හැඟීම : 
සති කිහිපයක් භාවනා පුහුණුවෙන් මගේ සියලුම ගැටලු නිරාකරණය වෙයි.

බොහොම කනගාටුයි. භාවනාව සියල්ල සඳහා වූ ක්ෂණික ප්‍රතිකාරයක් නොවෙයි. මුල සිටම ඔබට වෙනස්කම් දැකිය හැකි වුවද, ප්‍රබල ප්‍රතිඵල ලැබෙන්නේ වසර ගණනාවකට පසුවය. මෙය විශ්වය නිර්මාණය වී ඇති ආකාරයයි. වටිනා කිසිවක් එක රැයකින් දිනාගත නොහැකිය. සමහර පැතිවලින් ගත් කල භාවනා පුහුණුව අසීරු වීමට පිළිවන. දැඩි විනය සහ වේදනාකාරී පුහුණුවීමේ ක්‍රියාවලියක් එයට අවශ්‍ය කරයි. සෑම භාවනා අභ්‍යාස කාලයක්ම ප්‍රතිඵලදායී වන නමුදු ප්‍රතිඵල ඉතා සියුම්ය. ගැඹුරු මනසේ හටගන්නා වූ එම වෙනස්කම් ප්‍රකාශ වීමට දිගු කාලයක් ගත වෙයි. වාඩි වී යෙදෙන භාවනා කාලයකදී ඔබ නිරතුරුවම ප්‍රබල ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම්, සියුම් වෙනස්කම් ඔබට මඟ හැරී යයි. මින් අධෛර්යයට පත්වෙන ඔබ උත්සාහය අත්හැරදමා වෙනසක් කිසිදාක සිදු නොවනු ඇති බවට සපථ කරයි. මෙහිදී ඉවසීම වැදගත් කුසලතාවකි. ඔබ වෙන කිසිවක් ඉගෙන නොගත්ත ද භාවනාවෙන් ඉවසීමට පුරුදු වෙයි. ඔබ ලබන ඉතා වටිනා පාඩම එය විය හැකියි.

විවිධ කථිකයෝ වචන විවිධ ආකාරයට භාවිත කරති. ‘භාවනාව‘ යන වදන ද එසේය. එය අවශේෂ කාරණාවක් ලෙස පෙනුණ ද එසේ නොවෙයි. යම්කිසි කථිකයෙක් භාවිත කරන වචනවලින් ඔහු හෝ ඇය අදහස් කරනුයේ කුමක්ද යන්න නිවැරදිවම සන්නිවේදනය වීම බෙහෙවින් වැදගත්ය. බොහෝ සෙයින් එකිනෙකට වෙනස් මෙම ක්‍රම ශිල්ප පිළිබඳ සමීක්ෂණයක් කිරීම මෙම ලිපියේ බලාපොරොත්තුව නොවේ. ඒ සඳහා වෙනත් පොත පත ඇත. බටහිර පාඨකයින්ට හුරුපුරුදු, ඔවුන් භාවනාව යන නමින් අදහස් කරන අභ්‍යාස සාකච්ඡාවට පමණක් මෙය සීමා කෙරේ.

යාඥාව සහ මෙනෙහි කිරීම යනුවෙන් හැඳින්වෙන තරමක් දුරට සමාන කමකින් යුත් ක්‍රියාකාරකම් දෙකක් යුදෙව් ක්‍රිස්තියානු සම්ප්‍රදායන් තුළින් හමුවෙයි. යාඥාව, ආධ්‍යාත්මික ඒකකයක් වෙත එක එල්ලේම ඍජු ආමන්ත්‍රණය කිරීමකි. නියමිත කාල පරිච්ඡේදයක් තුළදී ආගමික අරමුණක් පිළිබඳව හෝ බයිබල් පාඨකයන් පිළිබඳව හොඳින් විමසා බැලීම මෙනෙහි කිරීමයි. සිත දියුණු කිරීම පැත්තෙන් ගත් කල මෙම ක්‍රියාවන් යුගලය සිත එකඟ කිරීමේ අභ්‍යාසයන් බව පැහැදිලි වෙයි. එය සාමාන්‍ය සිතිවිලි දහරාව සීමා කර, සිත එක ක්‍රියාකාරී ප්‍රදේශයකට ගෙන ඒමයි. මෙහි ප්‍රතිඵලය අනෙකුත් කායික ක්‍රියාවලියේ නිරායාස තැන්පත් බව හා සාමකාමී සුවදායක හැඟීමක් ඇති වීමයි. මුළුමනින්ම සිත එකඟ කිරීමේ අභ්‍යාසයක් වන යෝගි භාවනාව හින්දු සම්ප්‍රදායෙහි පවතියි. මෙම අභ්‍යාසයන් මඟින් සිදු කරන්නේ, සිත විසිරී යෑමට නොදී එක අරමුණක් වෙත යොමු කිරීමයි. ගල් කැටයක්, පහන් දැල්ලක්, ශබ්ද මාත්‍රයක් වැනි කුමක් හෝ අරමුණු කර ගත් යෝගියා සිත විසිරී යාම වළක්වා ගනියි. ඔහු ඊළඟට උත්සාහ කරන්නේ භාවනාත්මක මන්තරයක්, වර්ණවත් ආගමික රූපයක් හෝ ශරීරයේ ශක්ති නාළිකාවක් වැනි වඩාත් සංකීර්ණ වස්තුවක් අරමුණු කරගෙන තමාගේ පුහුණුව පුළුල් කර ගැනීමටයි.

බෞද්ධ සම්ප්‍රදායට අනුව ද සිත එක අරමුණක පිහිටුවීමට ඉහළ වැදගත්කමක් ලබා දෙයි. ඒ අතරම එළැඹි සිහිය යන අංගය එකතු වෙයි. එය වඩාත් අවධාරණයට ලක්වෙන අංගයයි. සෑම බෞද්ධ භාවනා ක්‍රමයකම පරමාර්ථය සිත එකඟ කිරීමේ උපකාරයෙන් එළැඹි සිහිය වර්ධනය කිරීමයි. ඉතා පුළුල් වූ බොදු සම්ප්‍රදාය තුළ, මෙම පරමාර්ථය කරා ළඟාවිය හැකි විවිධ මාර්ග පවතියි. සෙන් බුදුදහම වෙනස් වූ මාවත් දෙකක් භාවිත කරයි. තමාගේ අධිෂ්ඨාන බලයෙන්, ඍජුවම, එළැඹි සිහිය තුළට අවතීර්ණ වීම පළමු ක්‍රමයයි. ඒ බිම වාඩි වී, වාඩිවී සිටින බව දැනීම හැර අනෙක් සියලුම දේ මනසින් එළියට විසි කිරීමයි. ඉතා සරල ලෙස පෙනෙන නමුත් එය ලෙහෙසි කටයුත්තක් නොවෙයි. පුංචි උත්සාහයක් දැරීමෙන් එහි අසීරු බව තේරුම් ගැනීමට ඔබට පිළිවන. උපායශීලීව, උඩු සිතේ සිතුවිලිවලින් මුදාගෙන සිත නිර්මල එළැඹි සිහියට ගෙන ඒම, රින්සායි ගුරු කුලයට අනුව භාවිත වන දෙවන සෙන් ක්‍රමයයි. විසඳිය නොහැකි ප්‍රහේලිකාවක් සෙන් සිසුවාට ලබාදී, ඔහුගෙන් විසඳුමක් බලාපොරොත්තු වීමෙන්, සිසුවාට තැති ගැන්වෙන සුළු පුහුණුවීම් අවස්ථාවක් සලසා දෙයි. මෙහිදී, එම අසීරු අවස්ථාවේ වේදනාවෙන් පලා යා නොහැකි බැවින්, ඔහුට හෝ ඇයට නිතැතින්ම එම මොහොත මුළුමනින්ම අත්දකින්නට සිද්ධ වෙනු ඇත. එයින් ගැලවී යා හැකි අන් ස්ථානයක් නැත. 

සෙන් සැබැවින්ම අසීරු පුහුණුවකි. එය බොහෝදෙනාට ප්‍රතිඵලදායි වන නමුත් ඇත්තෙන්ම මහත් අසීරු කාර්යයකි. තවත් උපක්‍රමයක් වන තාන්ත්‍රික බුදු දහම මෙයට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයකි. "ඔබ" යැයි සිතා සිටින "ඔබ" යනු උඩු සිතෙහි කල්පනාවන් තුළින් මමත්වය විවිධ ආකාරයෙන් ප්‍රකාශ වීමක් ලෙස සලකනු ලබයි. මෙම විඥානික සිතිවිලි "තමා" යන සංකල්පය සමඟ තදින් බැඳී පවතියි. මමත්වය නොහොත් ස්ව-සංකල්පය යනු ගලා යන පිරිසිදු එළැඹි සිහියට කෘත්‍රිම ලෙස ඇලවුණු ප්‍රතික්‍රියා හා ප්‍රතිරූප විනාශ කර, නිර්මල එළැඹි සිහිය අත්පත් කර ගැනීමේ තාන්ත්‍රික බුදුදහමේ පරමාර්ථයයි. සිතින් රූප මවා ගැනීමේ ක්‍රියාවලියක් ආශ්‍රයෙන් මෙය මුදුන්පත් කර ගනියි. මෙහිදී තමා වෙනුවට එම දෙවියාගේ අනන්‍යතාව තමා වෙත ආරෝපණය කර ගනියි. ඒ සඳහා තරමක කාලයක් ගත විය හැකි වුව ද, එය සැබැවින්ම ප්‍රතිඵලදායකයි. මෙම ක්‍රියාවලියේදී මමත්වය හෝ තමා යන සංකල්පය සෑදී ඇති ආකාරය දැක ගැනීමට සිසුවාට හැකියාව ලැබේ. තමාගේ සහ සමස්ත මමත්වයන්ගේ පදනම් විරහිත ස්වභාවය හඳුනා ගැනීම තුළින් ඔහු, තමා යන සංකල්පය කෙරෙහි ඇති බන්ධනවලින් නිදහස ලබයි. අවසාන ප්‍රතිඵලය වන්නේ තමාගේ කැමැත්ත පරිදි අවශ්‍ය විටෙක තමාගේ හෝ අන් අයකුගේ අනන්‍යතාවක් ආරෝපණය කර ගැනීම හෝ කිසිම අනන්‍යතාවකින් තොරව සිටීමට වුව ද හැකියාව සිසුවා ලබා ගැනීමයි. නමුත් තාන්ත්‍රික බුදුදහම ද ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.

විපස්සනාව ඉතා පැරණිම බෞද්ධ භාවනා ක්‍රමයයි. එය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සතිපට්ඨාන සූත්‍රයට ඍජුවම සම්බන්ධකම් ඇත. විපස්සනාව ඍජුවමත් ක්‍රමානුකූලවත් එළැඹි සිහිය වැඩීමේ ක්‍රමයයි. එය කොටසින් කොටස වසර ගණනාවක් මුළුල්ලේ සිදු වන ක්‍රියාවලියකි. විපස්සනා සිසුවා අවධානය යොමු කරනුයේ තම පැවැත්මෙහි විවිධ පැති දැඩි ලෙස පරික්ෂා කිරීම පිණිසයි. තමාගේ ගලා යන ජීවිත අත්දැකීම් වැඩියෙන් දැක ගැනීමට ඔහුව පුහුණු කරයි. විපස්සනාව සන්සුන් ක්‍රමවේදයකි. එසේම ඉතා අංග සම්පූර්ණ ක්‍රියාදාමයකි. ඔබගේ සිත පුහුණු කළ හැකි පැරණි වූත් ක්‍රමානුකූල වූත් උපදෙස් සංග්‍රහයකින් යුක්ත අභ්‍යාස ක්‍රමයකි. ඔබගේ ජීවන අත්දැකීම් ගැන වඩාත් සිහි කල්පනාවකින් සිටීම සඳහාම වූ අභ්‍යාස මාලාවකින් යුක්ත ක්‍රියා පිළිවෙතකි. එය ක්‍රියාකාරී ඇහුම්කන් දීමක්, සිහියෙන් යුතුව දැකීමක් මෙන් ම සුපරික්ෂාකාරී අත්හදා බැලීමක් ද වෙයි. තීව්‍ර ලෙස ගඳ සුවඳ බැලීමටත්, පූර්ණ ස්පර්ශය හා සිදුවන සෑම සිදුවීමක් කෙරෙහිම පූර්ණ අවධානයෙන් යුතුව සිටීමටත් අපි එයින් ඉගෙන ගනිමු.

විපස්සනා භාවනා පුහුණුවේ පරමාර්ථය වන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ධර්මතාවන්හි සත්‍යතාව දැක ගැනීමට ඉගෙන ගැනීමයි. දැනටමත් එය දන්නා බව අප සිතා සිටීම මායාවකි. අපගේ ජීවිත අත්දැකීම් කෙරෙහි අප අවධානය යොමු කරන්නේ ඉතා අල්ප වශයෙන් බැවින් එය හරියටම අප ගැඹුරු නින්දක පසුවනවා වැනිය. සරලව ගත් කල අපගේ අනවධානය දැක ගැනීමට ප්‍රමාණවත් අවධානයක් අපට නොතිබීමයි. එය තවත් උගුලකි.

තමා යන සංකල්පයට යටින් පවතින්නේ මොනවා දැයි දැන ගැනීම සිදුවන්නේ එළැඹි සිහියෙන් සිටීමේ ක්‍රියාවලිය තුළිනි. එවිට සැබෑ ජීවිතය යනු කුමක්ද කියා අපි අවබෝධ කර ගනිමු. එය දුක සැප හෝ ජය පරාජය අතර ගෙවීයන්නක්ම නොවේ. අප දැකීමට වෙහෙස ගන්නවා නම් හා හරියාකාරව බලනවා නම් ජීවිතයට, වඩාත් ගැඹුරු රටාවක් ඇත.

(ලබන සතියේ ජීවිතය අත්දැකීමට ඔබට කියාදෙන මානසික පුහුණුව)

Comments