
මේ වසරේ ඔස්කාර් සම්මාන උලෙළ ගැන විවිධ අදහස්, විවිධ තොරතුරු තවමත් මාධ්‍ය තුළ පළවෙමින් ඇති ආකාරය දකින්න පුළුවන්. ඒ අතර බොහෝ විචාරකයන් පළ කර තිබෙන අදහසක් වන්නේ මෙවර ඔස්කාර් සම්මාන උලෙළ තුළ ආසියානුවන් සහ ආසියානු නිර්මාණ විශේෂයෙන් කැපී පෙනුණු බවයි.
ආසියානු නිර්මාණ කිහිපයක් සහ ශිල්පීන් කිහිප දෙනෙකු මෙවර සම්මාන හිමි කර ගැනීම සැබැවින්ම අවධානය දිනාගත් සිදුවීමක් වුණා. මෙවර හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනිමින් සහ බොහෝ දෙනාගේ අැගැයීමට ලක් වෙමින් ඔස්කාර් ඉතිහාසයට එක් වූ මිචෙල් යෝහ් මැලේසියානු ජාතික නිළියක්. වසර 90කට වැඩි ඔස්කාර් ඉතිහාසය තුළ මෙයට පෙර කිසිදු අවස්ථාවක ආසියානු නිළියක් හොඳම නිළිය සම්මානය දිනාගෙන නැහැ. ඒ නිසා ඇයට මෙම සම්මානය හිමි වීම ඉතා විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ඇයට සම්මානය හිමි වූයේ මෙවර හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7ක් දිනාගත් Everything Everywhere All at Once චිත්‍රපටයේ කළ අද්විතීය රංගනය වෙනුවෙන්. මිචෙල් එහි රඟපාන්නේ එකවර විශ්වයන් කිහිපයක් තුළ, විවිධ ස්වරූපයෙන් හැසිරෙන ගැහැනියකගේ සංකීර්ණ චරිතයක්. එක් විශ්වයක ඇය ලොන්ඩරි හිමිකාරියක්. තවත් විශ්වයක නර්තන ශිල්පිනියක්. තවත් එකක සටන් කලා ශිල්පිනියක්. තවත් එකක අවන්හල් සේවිකාවක්. මෙම චරිත ගොන්න ඉතාම පරිසමාප්ත ආකාරයෙන් නිරූපණය කිරීමට ඇය සමත් වෙනවා.
මේ වනවිට 60 වැනි වියෙහි පසුවන මිචෙල් බෞද්ධ කාන්තාවක බවත් සඳහන්. බෞද්ධ දර්ශනය ජීවිතයට අදාළ කර ගැනීමට තමා නිරන්තරයෙන් උත්සාහ කරන බව ද ඇය පවසනවා. ‘පොළොවේ පය ගහලා ජීවත් වෙන්න බෞද්ධ දර්ශනයෙන් අපිට විශාල පිටිවහලක් ලැබෙනවා’ යැයි ඇය පවසයි. රඟපෑමට අමතරව මිචෙල් සමාජ සහ පාරිසරික ක්‍රියාකාරිනියක ලෙස ද විශාල වැඩ කොටසක් කරනවා. කලක් ඇය සහ ආමීර් ඛාන් දෙදෙනා Live to Love නමැති රාජ්‍ය නොවන සංවිධානයකට ද සම්බන්ධ වී සිටි බවත් සඳහන්. එය පරිසරය රැක ගැනීම සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධානයක්. තමා ආමීර්ගේ ඉතා හොඳ රසිකාවියක බවත් කලකට පෙර මිචෙල් පවසා තිබුණා. 3 Idiots චිත්‍රපටය ද තමා බෙහෙවින් රස විඳි චිත්‍රපටයක් බවත්, ආමීර් සමඟ රඟපෑමට කැමැත්තක් ඇති බවත් ඇය වරක් සඳහන් කළා.
මිචෙල් එක් අවස්ථාවක අවුන් සාන් සූකිගේ චරිතයත් රඟපා තිබුණා. ඒ 2011 වසරේ නිශ්පාදනය වූ The Lady නමැති සිනමාපටයේ යි.
මෙවර හොඳම සහය නළුවා සම්මානය හිමි කරගත් කේ හ්වි ක්වොන් ද ආසියානු සම්භවයක් සහිත කෙනෙක්. ඔහු උපත ලබා තිබුණේ වියට්නාමයේ සයිගොන් නුවරයි. ක්වෝන්ටත් මෙම සම්මානය හිමි වූයේ Everything Everywhere All at Once චිත්‍රපටයේ රංගනය වෙනුවෙනුයි. ඔහුත් මිචෙල් වගේම එහි විශ්වයන් කිහිපයක චරිත කිහිපයක් රඟපානවා.
ක්වෝන් කුඩා කාලයේ බොහෝ දුක්ගැහැටවලට මුහුණ දුන් කෙනෙක්. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් 8 දෙනෙකු සිටි බව පැවසෙනවා. වියට්නාමයේ ඇති වූ විවිධ දේශපාලන ගැටුම් නිසා ඔවුන්ගේ පවුල 1978 වසරේ එරටින් පලා ගොස් තිබුණා. ඒ වනවිට ක්වෝන්ගේ වයස අවුරුදු 8 කි. ඔහුගේ පියා ක්වෝන් සහ තවත් දරුවන් පස් දෙනෙකු සමඟ හොංකොං වෙත පැමිණ තිබූ අතර ඔහුගේ මව අනෙක් දරුවන් තුන් දෙනා සමඟ මැලේසියාවට ගොස් තිබුණා. එයින් පසු ක්වෝන් ටික කලක් ගත කර තිබුණේ සරණාගත කඳවුරකයි. පසුව ඔවුන් සියලු දෙනාට ඇමරිකාවට පැමිණීමට අවස්ථාවක් ලැබී තිබුණා. Everything Everywhere All at Once චිත්‍රපටයේ ඔහු රඟපාන වේමන්ඩ් වැංග් ගේ චරිතය වසර 30කට පමණ පසු ඔහු රඟපෑ පළමු ප්‍රධාන චරිතය බව පැවසෙනවා. සම්මානය පිළිගනිමින් ක්වෝන් කළ කතාවේ දී තමා ගත කළ දුෂ්කර ජීවිතය ගැනත් සඳහන් කළ අතර එම අවස්ථාවේ ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා.
ඉන්දියාවට ඔස්කාර් සම්මාන දෙකක්ම හිමි වීමත් මෙවර උලෙළේ දී ආසියානු සිනමාව ලද විශාල ජයග්‍රහණයක් වුණා. එම සම්මාන හිමි වූයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ RRR නමැති තෙලිඟු චිත්‍රපටයේ ‘නාටු නාටු’ නමැති ගීතයට සහ The Elephant Whisperers නමැති කෙටි වාර්තා චිත්‍රපටයට යි. ‘නාටු නාටු’ හොඳම ගීතය සඳහා පිදෙන සම්මානය දිනාගත් අතර The Elephant Whisperers හොඳම කෙටි වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා. The Elephant Whisperers චිත්‍රපටය කාන්තාවන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්. ඒ මවක් සහ දියණියක්. කාර්තිකි ගොන්සාල්වේස් මෙහි අධ්‍යක්‍ෂවරිය වන අතර කතා රචිකාව වන්නේ ඇයගේ මව ප්‍රිසිලා ගොන්සාල්වේස්.
මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ රඝු නමැති අනාථ අලි පැටවකු රැකබලා ගැනීමට උත්සාහ ගන්නා බෝමන් සහ බෙලී නමැති ආදිවාසී යුවළක් පිළිබඳ කතාවක්. මෙය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසුබිම් කරගත් දෙමළ චිත්‍රපටයක්. අලි පැටවා සහ ඉහත කී ආදිවාසී යුවළ අතර ඇතිවන සමීප සම්බන්ධය මෙන්ම මෙම ආදිවාසී ජනතාවගේ ජීවන රටාව, සංස්කෘතිය, ඔවුන් සහ පරිසරය අතර ඇති බැඳීම වැනි කාරණා ද මෙම චිත්‍රපටයෙන් ව්‍යක්ත ලෙස ප්‍රකාශයට පත් වෙනවා.
2023 ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්‍ෂ සම්මානය දෙදෙනකු අතර බෙදී ගියා. ඒ Everything Everywhere All at Once චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා වන ඩැනියල් ක්වොන් සහ ඩැනියල් ෂයිනර්ට් යන දෙදෙනා අතරයි. මේ අතරින් ඩැනියල් ක්වොන් ද ආසියානු සම්භවයක් සහිත නිර්මාණකරුවෙක්. ඔහුගේ මව තායිවානයේ උපන් කෙනෙකු බවත් පියා හොංකොංහි උපන් කෙනෙකු බවත් සඳහන්.