
- අපි මේ ඉන්නෙ ලොකු ව්‍යාධියක කියන එක ‘සහෝ’ තුළින් සියුම්ව විග්‍රහ කරනවා
- හොඳ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීමම මටනම් සම්මානයක් තමයි
අරගල, නවක වදය, දේශපාලන මැදිහත්වීම් විශ්වවිද්‍යාල ජීවිතය තුළ එදා මෙදාතුර දැකිය හැකි දේය. ඒ පිළිබද සියුම් අධ්‍යයනයක යෙදෙන මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් තම පළමු දිගු සිනමා සිත්තම ලෙසින් ‘සහෝ‘ නිර්මාණය කරන්නේ ඒ ගැන මේ සමාජයට අලුත්ම අයුරකින් සිතන්නටය. අද සමාජය තුළ සැබෑවටම අත්විඳින විශ්වවිද්‍යාල ජීවිතය ගැන දිගහැරුමකි “සහෝ“ චිත්‍රපටය. මෙය කථිකාචාර්යවරියක ලෙස විශිෂ්ට රංගනයක යෙදෙන නවක රංගන ශිල්පිනී ඩිනාරා පුංචිහේවාගේ දෙවැනි සිනමා අත්දැකීමයි. ඇගේ ප්‍රථම සිනමා අත්දැකීම වන්නේ ගාඩි චිත්‍රපටයයි.
‘සහෝ’ කියන්නේ ඔබේ දෙවන සිනමා අත්දැකීම. එය ඔබට දැනෙන්නේ කෙසේද?
මගේ මුල්ම සිනමා අත්දැකීම ගාඩි චිත්‍රපටය. එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට පෙර ජාත්‍යන්තර සම්මාන උලෙළයන් නියෝජනය කර සම්මානයට පාත්‍ර වුණා. සහෝ කියන්නේ මගේ දෙවැනි සිනමා අත්දැකීම. මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නිර්මාණයක්. අමාත්‍ය බන්දුල ගුණවර්ධනයන්ගේ නිෂ්පාදනයක්. එයත් මේ වනවිට ජාත්‍යන්තර සම්මාන උලෙළයන් නියෝජනය කර සම්මාන රැසක් හිමිකරගෙන තියෙනවා. අද මට පුදුම සතුටක් දැනෙන්නේ. මට සම්මාන ගැන නම් ලොකු බලාපොරොත්තුවක් නෑ. මේ වගේ හොඳ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීමම මට නම් සම්මානයක් තමයි.
‘සහෝ’ කියන්නේ මොන වගේ තේමාවක් ඔස්සේ යන නිර්මාණයක් ද? එහි ඔබේ දායකත්වය ගැන සඳහන් කළොත්?
සහෝ නිර්මාණයට පාදක වෙන්නේ සාමාන්‍ය රොමෑන්ටික් ජීවිතයට එහා ගිය විශ්වවිද්‍යාල ජීවිතේ ඇතුළත සිදුවන සිදුවීම් පෙළක්. ප්‍රධාන වශයෙන් සඳු, හිරූ, රතූ වගේ චරිත 4ක් ඔස්සේ යමින් තමයි මේ කතාව දිගහැරෙන්නේ. මට තියෙන්නේ සඳූ කියන කථිකාචාර්යවරියකගේ භූමිකාව. කථිකාචාර්යවරියක් කීවට එයා ඉගෙන ගන්න අතරෙම දක්ෂතා පෙන්නලා ලබාගත් ජයග්‍රහණයක් ඒක. ඒ නිසාම එකට හිටිය යාළුවන්ගෙන් ඇයට එල්ල වන ගැටලු හමුවේ ඇය මුහුණ දෙන ආකාරය. මම, හර්ෂි අංජුමාලා, දසුන් පතිරණ සහ බියංක අමරසිංහ තමයි ප්‍රධාන චරිත 4 ට දායක වෙන්නේ. සහෝ කියන්නේත් අපේම යාළුවෙක්. නමුත් එයා මේක ඇතුළේ සජීවීව දායක වෙන්නෙ නැහැ. එයාට සිදු වුණු යම්කිසි සිද්ධියක් පාදක කරගෙන තමයි මෙය ගෙතෙන්නේ. සාමාන්‍ය මිනිස් සංතානයේ හට ගන්නා ඊර්ෂ්‍යාව, තරහ වැනි හැඟීම්, සමාජයීය ගැටලු වගේම විශ්වවිද්‍යාල ජීවිතේ තුළ අපට අත්දකින්න සිද්ධ වෙන අරගල වගේ සිද්ධි තමයි ගොඩක්ම කතා වෙන්නේ. අපි මේ ඉන්නෙ ලොකු ව්‍යාධියක කියන එක ‘සහෝ’ තුළින් සියුම්ව විග්‍රහ කරනවා. මේක තුළ අරුත් ගොඩක් තියෙනවා. ප්‍රේක්ෂකයාට නරඹලාම මේ ගැන නිගමනයකට එන්න කියලා ආරාධනා කරනවා. ඇත්තම කිවුවොත් මේක බැලුවම ඇත්තටම මෙයාල මේ රඟපානවද? කියන ගැටලුව ප්‍රේක්ෂකයාගේ සිතට නැගේවි. එතරම්ම ඒ චරිත තුළ කාලීන සජීවී බවක් තියෙන්නේ.
ගාඩි අත්දැකීමට වඩා සහෝ තුළ ඔබගේ අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස්. කොහොමද ඔබට ඒක දැනුණේ?
ඔව්. ගාඩි කියන්නේ 1815ට පෙර යුගයක කාන්තාවකගේ චරිතයක්. ඒත් සහෝ කියන්නේ 2019 වගේ මෑත කාලය හා බැඳුණු කාන්තා චරිතයක්. සිතුම් පැතුම්, හැසිරීම, පෙනුම එක්ක ගත්තම හාත්පසින්ම වෙනස්.
සහෝ රූගත කළේ අවදානම් කාලෙක නේද කොහොමද ඒ අත්දැකීම?
2019 කියන්නේ කොවිඩ් වසංගතය ආව මුල් කාලේ. කැලණිය විශ්වවිද්‍යාලයේ තමයි බොහෝ රූගත කිරීම් කළේ. ඒ වගේම හෝර්ටන් ප්ලේස්, රිවස්ටන්වලත් දර්ශන කිහිපයක් තිබුණා. සම්පූර්ණයෙන්ම කොවිඩ් රූල්ස්වලට අනුගත වෙලා තමයි අපි රූගත කිරීම් කළේ. ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. කැම්පස් එකෙත් ප්‍රශ්න තිබුණා. කැම්පස් අරිනවා වහනවා. ටිකක් රූගත කරනවා. ආයේ නවත්තනවා. ආයේ පටන්ගන්නවා. ඒ දේවලුත් අපේ කතාවට ස්වාභාවිකත්වයක් දුන්නා කිවුවත් හරි. ඒ වගේ දුෂ්කරතා මැද තමයි මේක කළේ. ඒ දවස්වල මාතලේ රිවස්ටර්න්වල රූගත කිරීමක් කරනවා කියන්නෙත් ලොකු අවදානමක්.
නවක රංගන ශිල්පිනියක් හැටියට අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහාය ගැන සඳහන් කළොත්?
ඇත්තටම ඒ ගැන නම් කියන්නම ඕන. ඇතුගල සර් කියන්නේ පුදුමාකාර දැනුමකින් සන්නද්ධ චරිතයක්. ඔහු විශ්වවිද්‍යාල ජීවිතේ තුළ ලබාගත් අත්දැකීම් ගොඩක් මේකට ඉවහල් වෙන්න ඇති. සර් ගොඩක්ම වේදිකාව හා සම්බන්ධ කෙනෙක්. මමත් මුලින්ම ආවේ වේදිකාවෙන්. සිංහල වගේම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට මං ගොඩක් දායක වෙලා තියෙනවා. ගොඩක් දුරට වේදිකා නාට්‍යවල එක්සසයිස් ක්‍රම තමයි සර් මේ සඳහා යොදා ගත්තේ. ඒ වගේම දසුන් කියන්නෙත් අත්දැකීම් බහුල සම්මානිත නළුවෙක්. ඒ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබුණා.
ඔබට සහෝ චිත්‍රපටයට ආරාධනා ලැබුණ හැටිත් කියමු ද?
ඇත්තම කිවුවොත් ගාඩි හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ගාඩි ටේලර් එක එළියට ආවට පස්සෙ තමයි මට මේ සඳහා ආරාධනා ලැබුණේ. මං සහෝ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. ඒකෙන් තේරුණා. මේ වෙද්දි තවත් චිත්‍රපට දෙකක් සඳහා වෙනස්ම භුමිකාවන් ඔස්සේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ටෙලි නාට්‍ය රැසකටත් ආරාධනා ලැබිලා තියෙනවා. චරිතය තුළ ජීවත්වෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඩිනාරාගේ සැමියා ලොවක් හඳුනන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගේ පුතා බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ හමුවීම ගැනත් සඳහන් කරමු නේද?
එයා සංජය වෙත්තමුණි. එයා ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ ගුවන් කපිතාන් කෙනෙක්. යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි අපේ හමුවීම සිදු වුණේ. අපි ක්ෂේත්‍රයන් දෙකක වුණත් අප අතරේ හොඳ අවබෝධයක් තියෙනවා. එයා මගේ ගමනට ලොකු සහායක් දෙනවා. ඒ වගේම එයාගේ පවුලෙනුත් ලොකු සහායක් ලැබෙනවා.