ව්‍යවසායකත්වයට චින්තනය එක් කළ සංස්කෘතික සිටුවරයා ඩී. ආර්. විජයවර්ධන | Page 3 | සිළුමිණ

ව්‍යවසායකත්වයට චින්තනය එක් කළ සංස්කෘතික සිටුවරයා ඩී. ආර්. විජයවර්ධන

ජීවත් ව සිටිය ද නැත්තා සේ පෙනෙන, දැනෙන චරිත තිබේ. ජීවතුන් අතර නැත ද අප හා ජීවත් වෙනවාක් මෙන් සජීවී ව දැනෙන චරිත ද තිබේ. ඒ සජීවී චරිත අතර ද පරපුරක් පරපුරක් පාසා ගරු බුහුමනට ලක්වෙන විරල ගණයේ චරිත තිබේ. ඩී. ආර්. විජයවර්ධන චරිතය වැටෙන්නේ තව සියවසක් ගෙවී ගිය ද අද ද ජීවත් වන්නාක් මෙන් දැනෙන ඒ දුර්ලභ ගෞරවනීය චරිත අතරට බව අවිවාදිත ය.

විශිෂ්ට පුද්ගල පෞරුෂ බිහි වීම සඳහා බලපෑම් කරනු ලබන සාධක කිහිපයක් වෙයි. ඒ අතරෙන් චින්තනමය හා සංස්කෘතිකමය පෞරුෂයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. විශ්වවිද්‍යාල බිහි නොවුණු සමයෙක, ඉංග්‍රීසි භාෂාවේ පෙළැන්තිමය ඒකාධිකාරයක් පවතිද්දී, තොරතුරු ගලනය වීමට ඉඩක් නැති වපසරියක ජාතික චින්තනයක් ගොඩනැංවීමේ ලා කිසිවකු හෝ ප්‍රමුඛ කාර්යභාරයක් කරන්නේ ද එය සංස්කෘතිකමය හා චින්තනමය විප්ලවයකි. ඒ සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ හොඳ ම මාර්ගයකට අවතීර්ණ වීමේ අභිලාෂයෙන් සිටින්නකුට අවශ්‍ය කරන මාවතක් විවර වෙන්නේ හදිසියේ ම ය.

ඒ අභිලාෂය ගැන දීර්ඝ ව කතා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නෙමු. ඩී. ආර්. විජයවර්ධන නිදහස් සටන් ව්‍යාපාරයේ දැවැන්ත මෙහෙවරක් ඉටු කරමින් සිය කාර්ය සාධනයේ ලා සියල්ලන් තමා වටා ඒකරාශී කරගනිමින් සිටියේ පැවැත්ම උදෙසා නොවීම මෙහි වැදගත් ම කරුණයි.

රට, දැය, සමය වෙනුවෙන් කතා කරන්නට, ක්‍රියා කරන්නට පෙළ ගැසෙන්නන් අරමුණ නමැති මාවත ඔස්සේ වර්ග කරන්නේ නම් කොටස් දෙකකි. එක් කොටසක් නිස්සරණාධ්‍යාශයෙන් ම දෙස, බස, රැස රැක ගන්නට පෙරට ආවෝ වූහ. තවත් පිරිසක් තමාට නැති තත්ත්වයක්, බලයක්, ධනයක් උදෙසා වීරකම් පෑමට පෙරට පැමිණෙන්නෝ ය. උපතින් ම ප්‍රභූවරයකු වී, පෙළවහෙන් ද සම වී, ධනවතකු ද වූ ඩී. ආර්. විජයවර්ධනට දෙවැනි වර්ගයේ අවැසිකම් අවැසි වූයේ නැත. ඔහු ඉපැදෙන්නේ ද ඒවා කරපින්නා ගනිමිනි. එබැවින් හේ මුල් පෙළ සිටගත්තේ රට දැය සමය වෙනුවෙන් පටු අරමුණුවලින් තොරව ය. ඌව කැරැල්ලේ සිය මුත්තණුවන්ගේ කාර්යභාරය ඉදිරියට දැමුවේ නම් ඔහුට කිසිදු පැකිළීමකින් තොරව ඓතිහාසික ආකර්ෂණයක් ද ලබා ගැනුමට හැකි ව තිබිණි. එහෙත් පිරිසුදු චේතනාවෙන් ම හේ නිදහස් සටනට උර දුන්නේ චින්තනම ය විප්ලවයක් ද සමඟිනි. එය ඔළුව හැදීම හෙවත් ආධ්‍යාත්මය පෝෂණය කිරීමේ ලා විප්ලවීය පියවරක් විණි. යටත්විජිතවාදයෙන් රට බේරා ගැනීමට නම් ප්‍රබල හා ශක්තිමත් ජනමතයක් ගොඩනැඟිය යුතු විය. ඒ සඳහා ශක්තිමත් චින්තනයක් හා පෞරුෂ වර්ධනයක් කළ යුතු ව තිබිණි. ඔහු ඒ සඳහා වඩාත් ම ඵලදායී යැයි සිතෙන මාධ්‍ය තෝරා ගන්නා අතර, සාක්ෂරතාව දියුණු පිරිසක් මෙරට සිටීම ඊට බෙහෙවින් උපකාරයක් විණි.

ඩී. ආර්. එංගලන්තයේ ඉගෙනුම ලබන අවදියේ සිට ම කල්පනා කළේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, ඇෆ්.ආර්. සේනානායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා ලංකාවේ ගෙන යන නිදහසේ ගිනි පුපුර තවදුරටත් පෝෂණය කරමින් අවුළුවලන්නේ කෙසේ ද කියා ය. ඒ අනුව ඔහු අවදානම් සහගත, නමුත් වඩාත් ම ප්‍රතිඵලදායක ව්‍යාපාරයකට අත ගැසුවේ ය. එය එදා අවදානම් වූයේ ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය විසි වැනි සියවසේ මුල් භාගයෙහි සුවිශාල ලාබයී ආයෝජන ක්‍ෂේත්‍රයක් වීමට වඩා නොවීමට සාධක බහුල වූ බැවිනි. මෙදා ද තව බොහෝ අංශ නිසා ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය ඇත්තේ අවදානමක ය. එහෙත් අතගසන ඕනෑ ම කාර්යයක් සාධනය වීමේ ලා බලපාන සාධක ද්විත්වයක් වෙයි. ඒ තමන් කරන කාර්යය ගැන වන අවධානය හා ඊට එක් කරන පිළිවෙළයි. දෙවැන්න තමන් පටන් ගත් කාර්යය ආරම්භ වූයේ කුමන අරමුණක් වෙනුවෙන් ද යන්නයි. ඒ අරමුණෙහි ක්‍රියාවට නඟන්නා කෙතරම් සාධනීය ව ව්‍යාවෘත වන්නේ ද යන්නත් ඔහුට ඒ සඳහා කෙතරම් උනන්දුවක් හා අවංක කැපවීමක් තිබෙන්නේ ද යන්නත් බලපායි. පුවත්පතක් ඇරඹෙනවා යනු විශ්වවිද්‍යාලයක් ඇරීමක් වැනි ය. ගලන්නේ තොරතුරු ය; දැනුම ය; විෂය සමයාන්තර ඉලක්ක ය.

ඩී. ආර්. විජයවර්ධන අවදානම් වුවත් පුවත්පත් කර්මාන්තයට අත ගසන්නේ පෙර කී ලක්ෂණ දෙක ම ඔහුගේ ජීවිතය හා බෙහෙවින් සම්බන්ධ වූ නිසා ය. ඒ අනුව ඔහු 1914 දී එච්. එස්. පෙරේරාට අයත් ව තිබූ දිනමිණ දිනපතා සිංහල පුවත්පත මිල දී ගන්නේ ය. පසුව නව කාර්ය මණ්ඩලයක් ද යොදවා පිටකොටුවේ නොරිස් වීදියේ ගොඩනැඟිල්ලක දිනමිණ කාර්යාලය පටන් ගත්තේ ය. පසුව 1918 දී ‘සීලනීස්’ ඉංග්‍රීසි පුවත්පත මිලට ගෙන ‘ඩේලිනිවුස්’ වශයෙන් නම වෙනස් කර එය මෙරට ඉංග්‍රීසි දත් පාඨකයන් වෙනුවෙන් මුද්‍රණය කරන්නට පටන් ගත්තේ ය. දිනමිණ හා ඩේලිනිවුස් පුවත්පත් ආරම්භයේ දී මුද්‍රණය කළේ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට තිබූ සීලනීස් කාර්යාලයේදී ය. ඊට පසු 1923 දී යුරෝපීයන් සතුව තිබූ ‘ඔබ්සර්වර්’ පුවත්පත ද මිලට ‍ගනිමින් හේ මෙරට වාණිජ පුවත්පත් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාලතම සමාගම ඇරඹීමට සූදානම් වූයේ ය. ඒ අනුව කොළඹ කොටුවේ බේරේ වැව අසල මනරම් බිමක ලේක්හවුස් මන්දිරය ඉදිකරමින් හේ 1926දී මෙරට ප්‍රථම හා මහා පරිමාණ වාණිජ පුවත්පත් ආයතනය අරඹන්නේ ය. ලාබදායී නොවේ යැයි බිය වුව ද සිය එක ම අරමුණ වූ දෙස බස රැස රැක ගැන්මේ ලා ඔහුගේ ව්‍යායාමයට සොබාදහමේ ආශීර්වාදය ලැබෙන්නේ එලෙසිනි.

සේදවත්තේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්ගේ හා හෙලේනා විජයවර්ධනගේ තෙවැනි දරුවා ලෙස 1886 පෙබරවාරි 23 වැනිදා උපත ලබන දොන් රිචඩ් විජයවර්ධනට සහෝදර සහෝදරියෝ අටකි. ඇලෙක්සැන්ඩර්, ලුවිස්, චාර්ලිස්, එඩ්මන්, ඇල්බට් හා වෝල්ටර් ඔහුගේ සොහොයුරෝ වූහ. ඩී.ආර්. විජයවර්ධනගේ සොහොයුරියන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය වන ඇග්නස් හෙලන් එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනප්‍රිය විනිශ්චයකාරවරයකු වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන අධිනීතිඥවරයා සමඟ විවාහ වූවාය. ඔවුන්ට දරුවන් 11කි. ලංකාවේ පළමු වැනි මුදල් ඇමැතිවරයා වූ ප්‍රථම විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන ඒ දෙදෙනාගේ කුලුඳුල් පුත්‍රයාය. අනිත් සොහොයුරිය ලිසී හැරියට් කොළඹ නයනාරෝග්‍ය ශාලාවේ ජනප්‍රිය ප්‍රධාන වෛද්‍යවරයා වූ ආතර් සෙනෙවිරත්න හා විවාහ වූවාය.

පවුලේ පිරිමි දරුවන් හත්දෙනා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මෝදර පිහිටි ශාන්ත තෝමස් විදුහලෙනි. එකල මෙරට විශ්වවිද්‍යාලයක් නොතිබූ බැවින් වත්කම් ඇති තරුණයන් උසස් අධ්‍යාපනය සඳහා ගියේ එංගලන්තයට ය. ඒ අනුව ඩී. ආර්. විජයවර්ධනත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියේ අධිනීතිඥවරයකු ලෙස ඉගෙන ගැනීමේ අභිලාෂයෙනි. ඔහු 1912දී නැවත මෙරටට පැමිණියේ අධිනීතිඥවරයකු ලෙස ය. ලංකාවට නිදහස ලබා ගැනීමේ මූලික අරමුණ ඔහු ලංකාවට එන විට සිතෙහි බරට තැන්පත් වී තිබිණි. එකල නිදහස් සටනේ පෙරමුණ ගත්තේ ලංකා ජාතික සමිතියයි. දේශප්‍රේමීහු හා උගත් සල්ලිකාර පාර්ශ්ව මෙහි සාමාජිකත්වය දැරූහ. සර් ඩී. බී. ජයතිලක, ඒ. ඊ. ගුණසිංහ, පොන්නම්බලන් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක හා සිද්ධි ලෙබ්බේ වැනි නිදහස් සටනේ පෙරමුණේ සිටි පිරිස හා ඔහු එක්වූයේ ලංකාවට ආ මුල් සමයේ පටන් ය. ඒ අනුව 1913 ඔක්තෝබර් මස 23 වැනිදා පැවති ලංකා ජාතික සමිතියේ රැස්වීමේදී ඩී. ආර්. විජයවර්ධන එහි ලේකම් ධුරයට පත් වූ අතර සභාපති වූයේ ආතර් අල්විස් ය.

ඩී. ආර්. විජයවර්ධන විවාහ වෙන්නේ 1916 ජනවාරි 26 වැනිදා ඇලිස් ගර්ට්රූඩ් රූබි මෙණෙවිය සමඟ ය. විජයවර්ධන යුවළට විවාහයෙන් පසු දරුවන් පස්දෙනකි. ඔවුහු පිළිවෙළින් සීවලි, නාලනි, රාණි, කුසුමා සහ විජය පුවත්පත් සමාගමේ වත්මන් සභාපති රන්ජිත් සුජීව වෙති. වත්මන් ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහගේ මෑණියන් වන්නේ විජයවර්ධන යුවළගේ වැඩිමල් දියණිය වෙන නාලිනී ය. මේ පරම්පරාවේ මුනුබුරු මිනිබිරියන් 18 කි. ඒ රොහාන්, අනිල්, වරිනි, ශාන්තිලාල්, රනිල්, ක්ෂණිකා, නිරාජ්, චන්න, ජානකී, ශලිනි, රජිතා, අයෝමා, අර්ජුන්, අමිතා, අරුෂි, සුජාන්, ඉරුෂි හා රුවන් ය. මී මුනුබුරු මිනිබිරියන් 28කි. හතරවැනි පරම්පරාවේ දරුවන් 14කි.

1915 කැරැල්ල ඇතිවන විට ඩී.ආර්. විජයවර්ධනගේ දිනමිණ පත්‍රය රට පුරා ජනතාව අතර ප්‍රචලිත ව තිබූ අතර එය ජනතා මත වේදිකාවක් විය. මේ සිද්ධියේදී ඔහුගේ වැඩිමල් සොයුරු ඇලෙක්සැන්ඩර් හා සර් ඩී. බී. ජයතිලක, ඩබ්ලියු. ඒ. ද සිල්වා, ඩී. ඇස්. සේනානායක සහ සී, බටුවන්තුඩාවේ බ්‍රිතාන්‍ය පාලකයන් සැක පිට අත්අඩංගුවට ගෙන සිරගත කළේ ය. මේ සමයේ අදහස් ප්‍රකාශනයට වාරණ පැනවී තිබිණි. එහෙත් රට යථා තත්ත්වයට පත් වූ වහා ඩී. ආර්. විජයවර්ධන වැදගත් යැයි කල්පනා කළ සියලු ලේඛන සහ කතු වැකි ප්‍රසිද්ධ කිරීමට ක්‍රියා කළේ ය. මතවාදී ම ය හා ස්ව චින්තනමය අධිපත්‍යයක් රටේ ඇති කරන්නට තරම් මේ ශූර ව්‍යවසායකයා චින්තකයෙක් බවට පත් වූයේ එලෙසිනි.

ලංකා නිදහස් සටනේ පළමු වෙඩිල්ල වූ ‘‘අපේ දේශපාලන ඕනෑකම්’’ යනුවෙන් සර් පොන්නම්බලම් අරුනාචලම් කළ කතාවේදී ඩී. ආර්. විජයවර්ධනට හොඳ ම සහතිකයක් ලැබෙයි. ඒ ඩී.ආර්. විජයවර්ධන නිහඬවත්, බාහිර පෙනුමෙන් තොරවත්, වැඩ කරන නමුත් ස්වාභාවධර්මයේ බලවේගයක් මෙන් ඔහු ක්‍රියාශීලී යැයි ජාතියට ප්‍රසිද්ධියේ කියමිනි. ඩී. ආර්. විජයවර්ධන ලංකාවේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණවාදි හඬ දිනමිණ පත්‍රය ඔස්සේ ප්‍රවාහයක් ව රැගෙන ගියේ ය. ඩේලි නිවුස් ඉංග්‍රීසි පුවත්පත යොදා ගනිමින් යටත්විජිත පාලකයන්ගේ ස්ව භාෂාවෙන් ම හේ මේ පණිවිඩය ජනතාව අතරට ගෙන ගියේ යටත්විජිත පාලනයේ හැලහැප්පීම් ඇති කරමිනි. ඩොනමෝර් කොමිෂන් සභාව, සෝල්බරි කොමිෂන් සභාව ආදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිටුපස ඩී.ආර්. විජයවර්ධන යෝධ සෙවණැල්ලක් ව සිටියේ ය. එය කෙළවර වුණේ සෝල්බරි ආණ්ඩුක්‍රමය හරහා මේ රට ස්වාධීනත්වය ලැබීමෙනි. සෝල්බරි කොමිසමේ කොමසාරිස්වරුන් මේ රටෙන් නික්ම යෑමට පෙර විජයවර්ධනගේ ආගන්තුකයන් ලෙස එක් සති අන්තයක් දියතලාව ප්‍රකට ආකේඩියා නිවාසයෙහි ගත කර තිබේ. ඔහු මිත්‍රත්වයත් උපයෝගී කර ගත්තේ රටේ නිදහස වෙනුවෙනි. එවන් ශූර කල්පනාවක් හා අනාගතය දැකීමක් තිබුණකුට චින්තකයකු කියා හැර වෙන කුමක් කියන්න දැයි ඔබට වැටහෙනු ඇත.

ඩී. ආර්. විජයවර්ධන සිය සියලු වත්කම්, හරකම් හා උත්සාහ දැරුවේ රට ජාතිය, ආගම ගැන වූ දැඩි භක්තියෙනි. ලේක්හවුස් පත්‍ර සම්ප්‍රදායත්, තොරතුරු ඔස්සේ ජනතා සවිඥානිකත්වයත් ඇති කිරීමේ ලා ඔහුගේ මෙහෙවර අනාගත වකෘෘත්වයක් විය. ඩී. ආර්. විජයවර්ධන මේ රටේ තරුණ පෙළ ගැන අසීමිත ව විශ්වාස කළේ ය. ඒ විශ්වාසය පෙරළා ඔහුට යම් සාධනීය පිළිතුරක් ලබා ගැනීමේ මාර්ගය ද විවර කළේ ය. රට යනු තරුණ පෙළ බව ඔහුගේ දැඩි විශ්වාසය විය. ඔහුගේ ස්වදේශික චින්තනය එවැන්නකි. ලංකාවේ පුවත්පත් කර්මාන්තයට පර්යාය පදයක් කියන්නට යැයි කිසිවකු හෝ කියන්නේ නම් ඒ ඩී. ආර්. විජයවර්ධන නාමය යැයි කියන්නට තරම් ඒ චින්තනය ප්‍රාබල්‍යය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් මඟින් ජනතාවගේ සිතෙහි මුල් බැස තිබූ පරගැති චින්තනයත් පරගැති මානසිකත්වයත් තුරන් කොට, ජාතිකත්වය හා නිදහස පිළිබඳ ආකල්ප වර්ධනය කිරීමේ ඔහුගේ අභිප්‍රාය සාධනයේ ලා ඔහු ගත් පියවරෙහි ප්‍රතිඵල අද ද ජීවමාන ය. විශ්වවිද්‍යාල නොතිබි සමයෙක දෙස් විදෙස් තොරතුරු සපයමින් ජනතාව ඥානණය කිරීම ම මේ පියවරේ අනාගත ආයෝජනයක් විය. සිළුමිණ සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වීමට තරම් සාරගර්භ වෙන්නේ එපරිද්දෙනි.

ඩී. ආර්. විජයවර්ධනගේ දේශමාමකත්වයත්, ශාසනමාමකත්වයත් නිසා ආරම්භ කරන ලද ජාතික ශාසනික ව්‍යාපාර අද රටේ සංස්කෘතිය හා සම්මිශ්‍රිත සංස්කෘතික සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. සිළුමිණ, දිනමිණ ප්‍රවෘත්ති පත්‍රවල පළ වූ සාරගර්භ ජාතික ආගමික අභිවෘද්ධියට තුඩු දෙන ලිපි ලේඛන, පරිවර්තන ආදිය ලේක්හවුස් යන්ත්‍රාලයේ හෙවත් දිනමිණ යන්ත්‍රාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කළේ ජාතික ශාස්ත්‍රීය සේවාවක් වශයෙනි. 1933 ආරම්භ කළ දිනමිණ වෙසක් කලාපය එවක ධර්ම සන්නිවේදනය අරබයා ආරම්භ කෙරුණකි. දෙස් විදෙස් ඉංග්‍රීසි උගතුන් වෙනුවෙන් Daily News Vesak Annual නමින් වෙසක් සඟරාවක් ද අඛණ්ඩ ව පළ කළේය. පසුව ආරම්භ කළ ‘බුදු සරණ’ මෙරට ගිහි පැවිදි බෞද්ධ ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතියත්, ධර්ම ඥානයත් පිණිස කරන්නා වූ මෙහෙවර අතිවිශාල ය. දිනමිණ, සිළුමිණ මඟින් මෙන්ම, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත් ඔස්සේ ද සාහිත්‍ය, නාට්‍ය, සිනමාව, වාස්තු විද්‍යාව ඇතුළු දේශීය සංස්කෘතියට මාහැඟි මෙහෙවරක් ඉටු කළේ ය. ජී.එල්. ගෞතමදාස, එල්. ටී. පී. මංජු ශ්‍රී, සිබිල් වෙත්තසිංහ වැනි චිත්‍ර ශිල්පීහු ද නිහාල් රත්නායක, එඩ්වින් ආරියදාස, බෙනඩිකට් දොඩම්පෙගම, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. බී. සේනානායක, ගුණපාල මලලසේකර, ඊ. ඩබ්ලිව්. අදිකාරම්, දයාසේන ගුණසිංහ වැනි විචාරකයන්ගේ හා බොහෝ ලේඛකයන්ගේ ද දායකත්වය ලබා ගත්තේය. මේ බොහෝ පඬිවරුන්ගේ නිර්මාණ සඳහා පුවත්පත නිරන්තරයෙන් හේ වාහකයක් කළේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ලා පුරෝගාමී මෙහෙයක් කරන ඔහු අපේ එක ම ජාතික විශ්වවිද්‍යාලය අපේ සංස්කෘතික පිළිබිඹුවක් විය යුතු බව තරයේ ඇදහුවේ ය; ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. චින්තකයකු රටක සංස්කෘතික පෙළගැස්මක් නිර්මාණය කරන්නේ ඒ ලෙසිනි.

බටහිර අධ්‍යාපනය ලැබූව ද ඔහු සිංහල සිරිත් විරිත් අනුගමනය කිරීමට කිසි විටෙක පසුබට වී නැත. ලේක්හවුස් මන්දිරයට ගෙවැදුණ අවස්ථාවේ කිරි ඉතිරීමේ චාරිත්‍රය ඔහු මහත් ආඩම්බරයෙන් කළ බව කියැවේ. ඔහු වචනාර්ථයෙන් ම සැදැහැති බෞද්ධයකු විය. වාර්ෂික ව හේවිසි හොරණෑ හඬවා සධාතුක කරඬුව පෙරටු කොට උඩුවියන් පාවාඩ සහිත ව මහා සංඝයා වහන්සේ වැඩමවා සාංඝික දන් දුන් බව කියැවේ. ඒ සම්ප්‍රදාය පෙරදැරි ව අදත් ඔහුගේ ජන්ම සමරුව ලේක්හවුස් මන්දිරයේදී සැමරෙන්නේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකින් අනතුරු ව සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙනි. මෙවර එය පෙබරවාරි 22 හා 23 දෙදිනේ අතිඋත්කර්ෂවත් අයුරෙන් ලේක්හවුස් මන්දිරයේදී පැවැත්වීමට ආයතනය පේ වෙමින් සිටී.

පුවත්පත් කලාවත්, කර්මාන්තයත් කිසි විටෙකත් විජයවර්ධන පවුලෙන් ඈත් කිරීමට හැකි වූයේ නැත. 1956 පෙරළිය පටන් ගත්තේ ලේක්හවුස් පත්‍ර ගිනි තබමිනි. 1970 ලේක්හවුසිය රජයට පවරා ගත්තේ ය. එහෙත් විජයවර්ධන පවුල රටට හිමි කළ පුවත්පත් කලා සම්ප්‍රදාය අහිමි කළ නොහැකි විය. එය තවත් අක්මුල් විහිදා මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතන දෙකක් බිහි කිරීමේ පදනම සැලසී ය. චින්තනයක අසිරිය එපරිදි ය. ලිපිය ආරම්භයේ කියූවා සේ ම අරමුණු ජය ගන්නට මාවත් දෙකක් පූර්ණ විය යුතුය. ඒ කරුණු දෙක ම එකට පෙළගැසුණු විට ජය ගන්නට අපහසු මාවතක් නැත. ජීවිතයේ ඕනෑ ම දුෂ්කර කටයුත්තක් අරමුණු හා අධිෂ්ඨාන මත පදනම් ව අරඹන්නේ නම් සොබාදහම පවා ඊට අනුකූල ව පෙළගැසෙන්නේ ය.

ව්‍යවසායකයකු විසින් අරඹන ලද චින්තනමය විප්ලවයක අසිරිය එපරිදි ය. අක්මුල් විහිදා මුළු මහත් පුවත්පත් ක්ෂේත්‍රය ම එක ම වනස්පතියක සෙවණ ලබන්නන් සේ අද ද එකට එකතු කරන්නට තරම් මූලික චින්තනය ප්‍රබල වීම ඒ අසිරියේ අග්‍ර ඵලයයි.

 

Comments