ණය පොලිය අඩු කරන්නේ කොහොමද? | Page 2 | සිළුමිණ

ණය පොලිය අඩු කරන්නේ කොහොමද?

ර්තමානයේ රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් වාණිජ බැංකුවල ණය පොලී අනුපාත බෙහෙවින් ඉහළ ගොස් තිබේ. මේ සම්බන්ධව විවිධ පක්ෂ නියෝජනය කරන දේශපාලන වේදිකාවල නොයෙකුත් අර්ථකථන මෙන්ම විවේචන ඉදිරිපත් කිරීම්ද නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. මේ පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂ දක්වන මතය විමසා බැලීමට පහත ප්‍රශ්නාවලිය අපි ඔවුන් වෙත ඉදිරිපත් කළෙමු.

සජබෙ බලයට පත්වුවහොත් නිශ්චිතවම පොලී අනුපාත අඩු කරනවා

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

- රටේ සංවර්ධනයට, සමාජ පැවැත්මට බැංකු පොලී අනුපාතය ඉතා වැදගත්. මෙය තනි ඉලක්කමකට පවත්වා ගෙන යාම හරහා සිදුවන්නේ ආයෝජනයට වැඩි අවස්ථා ලැබීම මෙන්ම රටේ ජීවන මට්ටම පවත්වා ගැනීමට උරදීමයි. සංවර්ධන ඉලක්ක පවත්වා ගෙන යන සෑම රටක්ම බැංකු පොලිය තනි ඉලක්කමකට ගෙන යෑමට දැඩි වෙහෙසක් ගන්නවා. මේ වන විට බැංකු පොලිය 30%-35% දක්වා ඉහළ යාමෙන් සිදු වන්නේ ජනතාවට ඔරොත්තු නොදෙන බැංකු පොලියක් ඇති වීමයි. මෙයින් වන ප්‍රධාන දේ රටක ආයෝජනය අඩු වීමයි. ආයෝජනය අඩු වීමෙන් නිෂ්පාදනය, රැකී රක්ෂා ආදායම් මාර්ග අඩුවීම ඇතුළු සෑම අංශයකටම බලපානවා. රටක ආර්ථික ප්‍රතිපත්තියක් සකස් විය යුත්තේ මෙය තනි ඉලක්කමට ගෙන ඒමටයි. දැන් සියල්ල පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වෙලා. උද්ධමන තත්ත්වය වැඩි වීම, මූල්‍ය සංචරණය අඩුවීම හා මුදල් අච්චු ගැසීම හා ද්‍රවශීලතාවයේ හිඟකම මේ තත්ත්වය උදාවන්නට බලපෑවා. දීර්ඝකාලීන හා කෙටිකාලීන සැලසුමකින් මෙය පාලනය කළ යුතුයි.

- මෙය මහ බැංකුව නියම කරන්නේ මූල්‍ය වෙළෙඳ පොළේ ඉල්ලුම සැපයුම යන මූලික කාරණා දෙකත් සමඟයි. මුදල් ඉල්ලුම හා සැපයුම අතර සමබරතාවක් තිබිය යුතුයි. නමුත් අපිට ඔරොත්තු නොදෙන පරිදි ආයෝජන අවස්ථා, මූල්‍ය ණයට ගැනීම් නිසා අවසානයේ මහ බැංකුවේ පාලනයකින් තොරව මේ තත්ත්වය ගිලිහි යන්නට පටන් ගන්නවා. රටක මූල්‍ය තත්ත්වය, බැංකු පොලි අනුපාතය තීරණය කරන්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවයි.

- මේ තත්ත්වය චක්‍රලේඛ හෝ වෙනත් ආකාරයෙන් වෙනස් කළ නොහැකියි. පසුගිය කාලයේ ඩොලරයේ අගය තබා ගැනීමට මහ බැංකුව කළ දේවල් මෙයටත් කළොත් වන්නේ මෙය පුපුරා යාමකට ලක්වීමයි. ඒ නිසා නිශ්චිත ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළකින් පමණයි, මේ තත්ත්වය පාලනය කිරීමට හැකි වන්නේ. මේ වන විට 30 % ක් දක්වා ඉහළ ගොස් ඇති බැංකු පොලි අනුපාතය ක්‍රමානුකුලව පහළට ගෙන ඒමට නම් ඉල්ලුම හා සැපයුම දෙස බලා, විදේශීය ආදායම් මාර්ග දෙස වැඩි අවධානයක් යොමු කරමින් නිෂ්පානය වැඩි කිරීම හරහා කළ යුතුයි. දේශීය නිෂ්පාදන අංශය දිරිමත් කළ යුතුයි. වර්ෂයකට ඩොලර් බිලියන 12 ක අපනයන ආදායම වසර 3 කදී ඩොලර් බිලියන 20 කට ඉලක්ක කළ යුතුයි. ශ්‍රමිකයන්ගේ මුදල් හෝ විදේශීය ආධාර ලැබිය යුතුයි. ඒ හරහා ආර්ථික මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. නාස්තිය, හොරකම දූෂණය පාලනය කළ යුතුයි. සමගි ජන බලවේගයේ දැඩි මූල්‍ය විනයක් හා සැලසුම් කළ ආර්ථික වැඩපිළිවෙළක් හරහා ආර්ථිකය පාලනය කිරීමට යෝජනා ගෙනැවිත් තියෙනවා. අපි බලයට පත්වුවහොත් නිශ්චිතවම මේ තත්ත්වය වෙනස් කළ හැකියි.

- මෙය රජයට හා මහ බැංකුවට අදාළ දෙයක්. මහ බැංකුව නිල නියෝජිතයා බව ඇත්ත. නමුත් රජය ප්‍රතිපත්ති තීන්දු කරන්නා. ඒ අනුව මහ බැංකුව ගන්නා තීරණ අපිට බලපානවා. පොලී අනුපාතය තීරණය කරන්නේ අපි නෙමේ කියලා රජයට කියන්න බැහැ. වම් අත කරන දේ දකුණු අත දැන ගත යුතුයි.


උද්ධමනයට බෙහෙත පොලී අනුපාත වැඩි කිරීමද?

ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

- රජය මෙලෙස බැංකු පොලී ඉහළ දැමීම බරපතළ වරදක්. අද ජනතාවට ණයක් අරගෙන ගොඩ එන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.

බැංකු පොළ අනුපාතය ඉහළ දැමීම නිසා ව්‍යාපාර සියල්ල අද වන විට කඩා වැටිලා. බැංකු පොලී මේ තරමට ඉහළ දැම්මේ උද්ධමනය වැඩිවීම නිසා කියලයි මේ අය කියන්නේ. උද්ධමනයට හේතුව මුදල් ගැවසෙන ප්‍රමාණයේ වැඩිවීමක්ම පමණක් නෙමෙයි.

අයුතු ලාභ, ආණ්ඩුවේ බදු යන මේ සියල්ල එකතු වීමෙනුයි බඩු මිල ඉහළ යන්නේ. සාධාරණ මිලකට අත්‍යාවශ්‍ය ආහාර බෙදා හරිනවා නම් මේ ආකාරයෙන් උද්ධමනයක් ලංකාවේ ඇති වන්නේ නැහැ.

මේ හේතුව නිසා අද ආයෝජනයන් කිරීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වන්නේ නැහැ. උද්ධමනයට බෙහෙත් දෙනවා කියා පොලී අනුපාත වැඩි කිරීමෙන් වන්නේ ආයෝජන කඩා වැටීමක් සිදුවිම පමණයි. ආයෝජන කඩා වැටීම නිසා රටේ ආර්ථිකය වර්ධනය පහළ වැටෙනවා.

- ණය පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුවයි. ණය පොලී අනුපාතය ඉහළ දැමීමේදී ඔවුන් එය විවිධාකාරයෙන් සාධාරණීකරණයට ලක්කරනවා. වර්තමානයේ රටේ උද්ධමනය වැඩියි, ඒ නිසා එය පාලනය කිරීමට ඇත්තේ මුදල් ගැවසෙන ප්‍රමාණය අඩු කිරීමෙනුයි යනුවෙන් සාධාරණීකරණය කරමින් මේ ආකාරයෙන් පොලී අනුපාතය ඉහළ දානවා. මේ නිසා රජය ගමන් කරන්නේ වැරදි සූත්‍රයකට අනුව බවයි මගේ මතය. අවසානයේ මේ සියලු දෙයින් වෙන්නේ මේ රටේ ආර්ථික වර්ධනයට දැඩි පහරක් වැදීමයි.

- අපි බලයේ සිටිනවා නම් මේ ආකාරයෙන් පොලී අනුපාතය පවත්වා ගෙන යන්න දෙන්නේ නැහැ. කොහොම හරි පොලි අනුපාතය අඩු කරන්නට අපි කටයුතු කරනවා. පොලී අනුපානය අඩු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් එදාට අපි රජයක් වශයෙන් මහ බැංකුවට දැනුම් දෙනවා. කුමන අගයකට මේ පොලී අනුපාතය පවත්වා ගෙන යා යුතුද, එම පොලී අනුපාතය කුමන අගයකට යාවිද යන්න දැන්ම කියන්න බැහැ. නමුත් පැහැදිලිවම පොලී අනුපාතය අඩු කරනවා. රටේ සංවර්ධන ඉදිරියට ගෙන යාමට ණය පොලී අනුපාතය අනිවාර්යයෙන්ම අඩු කළ යුතු වෙනවා. ජනතාවට ආයෝජනයන් ආරම්භ කිරීමට සුදුසු ණය පොලී අනුපාතයක් ඇති කළ යුතු වෙනවා.

- ණය පොලී අනුපාතය වැඩි කිරීමේ කාර්ය මහ බැංකුවට බාර දී ඇත්තේ පවත්නා රජයයි. එසේ වුවත් බැංකු පොලී අනුපාතය අඩු කිරීමේ කාර්යයට රජයට මැදිහත් විය හැකියි. නමුත් මේ වන විට වත්මන් රජය යටතේ ඒ කාර්යය භාරය ඉටු වන්නේ නැහැ. රජය මහ බැංකුව් මූල්‍ය මණ්ඩලයට රාජ්‍ය ප්‍රතිපත්ති පැහැදිලි කර දිය යුතුයි.

ඒ අනුවයි මහ බැංකුව ක්‍රියාත්මක විය යුත්තේ. මේ දෙගොල්ලෝ අතර ගැටුමක් නැහැ. මහ බැංකුව ක්‍රියාත්මක කරන්නේ වත්මන් රජයේ ප්‍රතිපත්තියයි.


ආණ්ඩුව බැංකු තැන්පතු මුදල් ඉවර කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

- බැංකු තියෙන්නේ ව්‍යාපාරිකයන්ට, ජනතාවට ණය දෙන්න මිසක් ආණ්ඩුවට ණය දෙන්න නෙමෙයි. ආණ්ඩුවට ණය දීමෙන් රටට වෙන කිසි සෙතක් නැහැ. අද ව්‍යාපාරවලට දෙන්න තියෙන මුදල් වැටුප් ගෙවන්න ආණ්ඩුවට දෙනවා. ආණ්ඩුවට සල්ලි නැති වුණාම වැටුප් ගෙවන්න සල්ලි දෙන්න නෙමෙයි බැංකු තියෙන්නේ. මේ ආණ්ඩුව කරන්නේ බැංකුවල තියෙන තැන්පතු මුදල් ටික ඉවර කිරීමයි. මෙවිට බැංකු පද්ධතිය කඩා වැටෙනවා. එක් බැංකුවක් හෝ කඩා වැටුණහොත් එය බරපතළ ප්‍රශ්නයක්. අද සමහර බැංකු සමඟ ගනුදෙනු කිරීම විදේශ රටවල් නතර කර තියෙනවා. මේ නිසා මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට. අද ආණ්ඩුව කල්පනා කරන්නේ ආණ්ඩුවේ කටයුතු පවත්වා ගන්න මිස රටේ ආර්ථිකය පවත්වා ගන්නට නෙමෙයි. මෙය හරියට කසන තුවාලයක් වගෙයි. තුවාලය කසනකම් සනීපයි. නමුත් වනයක් වුණාට පස්සේ කකුලත් කපා දාන්න සිදු වෙනවා.

- විනිමය පාලනය හා මුදලේ අගය ස්ථාවරව පවත්වාගෙන යාම මහ බැංකුව කළ යුතුයි. ආණ්ඩුව මේ විචල්‍ය දෙක ගැන පමණයි හිතලා තියෙන්නේ. මේවා ගැන හිතා පමණක් බැංකු පොලිය වැඩි කිරීමෙන් වන්නේ එය සාමාන්‍ය ජනතාවට දරාගැනීමට නොහැකි වීමයි. රටක ස්ථාවර පෙළි අනුපාතයක් ඇති නම් පමණයි ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ආරම්භ කරන්නේ, ගෙවල් හදන්නේ, ණය ගන්නේ ඒ ගැන හිතලයි. 6%-7% පොලියට ණය ගත්තහම ඔවුන්ට වැටුපට අනුව ණය ගෙවන්න පුළුවන්. නමුත් එකපාරටම බැංකු පොලිය ඉහළ දමා, ණය දීම සීමා කර කලින් ලබාගත් ණයට පොලියත් වැඩි කරනවා. සාමාන්‍ය ජනතාවට ණය ගැනීමේ අවශ්‍යතාව නිසා ස්ථාවර පොලී අනුපාත හා විචල්‍ය පොලී අනුපාත ගැන එතරම් හිතන්නේ නැහැ. පසුගිය කාලයේ ණය දුන්නේ විචල්‍ය පොලී අනුපාතයට. විශාල ප්‍රමාණයකින් පොලී වැඩි නොවන තාක් මේ විචල්‍ය පොලී අනුපාතය ජනතාවට දරාගත හැකියි. අද ණය පොලී අනුපාතය වැඩි වන්නේ ඉහළ බඩු මිලත් එක්කයි. මෙය විශාල අර්බුදයක්.

- ආර්ථිකයට මුදල් පොම්ප කිරීමක් අවශ්‍යයයි. ආණ්ඩුවේ වියදම් අනිවාර්යයයෙන් අඩු කළ යුතුයි. දූෂණ නැවැත්විය යුතුයි. නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කළ යුතුයි. මේ සඳහා මුදල් අච්චු ගහන්න බැරි නම් කළ යුත්තේ රජයේ වියදම් සීමා කිරීමයි. ජනතාවගේ වියදම් දැන් ඉබේම සීමා වෙලා. ඇමැති වරප්‍රසාද, නිල නිවෙස්, දීමනා, අතිකාල දීමනා ඉහළ වැටුප් ලැබීම වෙනස් විය යුතුයි. අපේ ආණ්ඩුවක් යටතේ අපිට එය කළ හැකියි. අද ජනතාවට වඩා ආණ්ඩුව කැප කිරීම් කළ යුතුයි. අද රාජ්‍ය ව්‍යාපාර පාඩු ලබන්න කිසිම හේතුවක් නැහැ. දේශපාලඥයින් විසින්මයි, මේවා පාඩු කර ඇත්තේ. අපේ රටේ හොරකම් නැති, දේශපාලන අතගැසීම් නැති පාඩු නොලබන රාජ්‍ය ආයතනයක් නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ මේ සියල්ල නවත්වනවා. රාජ්‍ය බැංකු ඇපකර නොමැතිව වැඩියෙන්ම අයකරගත නොහැකි පරිදි ණය දීලා තියෙන්නේ දේශපාලන හිතවතුන්ට. 1991 දුන් ණය තවමත් ගෙවනවා. අද ණය මුදලට වඩා අයකර ගැනීමට ඇති පොලිය වැඩියි.

- මහ බැංකුවේ කාර්ය භාරයක් මිස රජයේ කාර්යභාරයක් නොවේ. මූල්‍ය වෙළෙදපොළ ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ. එය ශක්තිමත් කිරීමයි ආණ්ඩුවේ වගකීම වන්නේ.


මේ ගෙවන්නට සිදුව ඇත්තේ බදු සහන දී,ආදායම් බදු නැති කිරීමේ පල විපාකයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්

- රටේ ආර්ථිකය පෙන්නුම් කරන එක් සලකුණක් පමණයි, බැංකු පොලී අනුපාතය. උද්ධමනය වැඩි වෙද්දි බැංකු පොලි වැඩි නොකළේ නම් අවාසනාවන්ත තත්ත්වයකට රට පත්වෙනවා. ලංකාවේ පොලී වැඩි කිරීමට ප්‍රධාන හේතුව 1948 සිට පැවත ආ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති. 2018 ඔක්තෝම්බර් මස දින 52 කාලයේ සිදුවූ දෙයින් තමයි මේ විනාශය ආරම්භ වුණේ. 2019 පැමිණ මේ තත්ත්වය උග්‍ර කළා. බදු සහන දී, ආදායම් බදු නැති කිරීමේ ඵල විපාකයි මේ ගෙවන්නට සිදුව ඇත්තේ. ගෝඨාභය පමණක් නොව 1948 සිට මෙරට පාලනය කළ සියලු රාජ්‍ය නායකයන් ආර්ථිකය කඩා වැටීමට වෙනත් ක්‍රමවලින් දායක වුණා.

- මහ බැංකුවෙන්, අමාත්‍යාංශයෙන්, ආර්ථික විශේෂඥයන් මෙන්ම මේ වන විට IMF එකින් පැමිණි යම් යම් යෝජනා නිසයි මේ පොලී වැඩිවීමට හේතු වුණේ. ඒ යෝජනා ලංකාව අස්ථාවර කරන්න නෙමෙයි. මේ අවස්ථාවේ අමාරු තීන්දු තීරණ ගැනීමට සිදු වෙනවා. නමුත් ලංකාවේ ජනතාව රටේ තිබුණු මුදල්වලට වැඩිය වියදම් කළා. රටක් ගෙන යාමට බදු අවශ්‍යයි. නමුත් ජනතාව බදු ගෙවන විට රජයේ වියදම් අඩු විය යුතුයි. රටේ ජනතාවට බදු පටවනවා නම් රටේ නායකයන් ලෙස ආණ්ඩු පක්ෂයත් ආදර්ශමත් විය යුතුයි. විදුලිබල, ඛණිජ තෙල්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තිබෙන පාඩු මඟ හරවා ගන්නේ නම් ලංකාවේ ජනතාවට බදු ගැසීමට අවශ්‍ය නැහැ. බදු ආදායම් ගෙවීමට ජනතාව එකඟ වන්නේ පාලකයන් ඒ මුදල් නාස්ති නොකරන්නේ නම් පමණයි.

- රටේ පොලි අනුපාතය අඩු කරන්න නම් තව ටික කාලයක් යාවි. සාමාන්‍යයෙන් පොලී අනුපාතය අඩු කරන්නේ ණය ගැනීම අඩු කරන්න. එවිට ලංකාවේ මුදල් සංසරණයේ වෙනසක් සිදු වෙනවා. නමුත් සියලු ආර්ථික ගැටලු නිරාකරණය කිරීමට එකම විසඳුම විදේශීය විනිමය ලැබෙන ආකාරයේ ආයෝජන ලංකාවට ගෙන ඒම. වේල්ලක් කැඩුණු වෙලාවකදි ගම් ගාලා අලවන්න බැහැනේ. IMF ඩොලර් බිලියන 2.9 ලංකාවට ලැබුණත් එතැනින් එහාට විදෙස් ණය ලබා ගැනීමේ පහසුකම හිමි වෙනවා. නමුත් ඒ තත්ත්වයෙන් අපි මිදිය යුතුයි. දිගින් දිගටම ණය ගන්නවාට වඩා රටේ ආයෝජන දියුණු කරන්නට, උද්ධමනය අඩු කරන්නට කටයුතු කළ යුතුයි. අපේ රටේ ඇති දේ ආනයනය කරන්නට ඩොලර් අවශ­්‍යයි. නමුත් ඩොලර්යේ මිල රුපියල් 360 ට පවත්නා තෙක් මිල අඩු කිරීමට බැහැ. එයට එකම ක්‍රමය විදේශීය ආයෝජන ගෙනැවිත් රුපියල ශක්තිමත් කිරීමයි. බිලියන ගණනක ආයෝජන ලංකාවට ගෙනාවොත් පොලී අනුපාතය, උද්ධමනය අඩු කරන්නට හැකි වේවි. මට ඇති ආර්ථික දැනුම අනුව මේ පොලී අනුපාතය අඩු කිරීමට වෙන යම් ක්‍රමයක් නැහැ.

- ලංකාව තුළ රාජ්‍ය නිලධාරින් මේවාට ඇඟිලි ගැසීම් වැඩියි. අදාළ බලධාරින්ට තම රාජකාරි නිදහසේ කරන්නට ඉඩ දිය යුතුයි. රාජ්‍ය නිලධාරින්ට තමයි අවසානයේදි මේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙන්නේ. මහ බැංකු අධිපතිතුමාට සහ ආර්ථික විශේෂඥයන්ගේ තීන්දු තීරණ ඒ ආකාරයෙන් ගැනීමට ඔවුන්ට අවස්ථාව දිය යුතුයි. එසේ නැතුව රාජ්‍ය නායකයෝ නිලධාරින්ව ඒ මේ පැත්තට හැරවීමෙන් තමයි, මේ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ. වත්මන් ජනාධිපතිවරයාට වුවත් එලෙස බලපෑම් කරන්නට ඉඩ නොදිය යුතු බවයි, මගේ අදහස‍.

Comments