මද්දුමබණ්ඩාර හා අනුර කුමාර රහස් කතාබහක | Page 2 | සිළුමිණ

මද්දුමබණ්ඩාර හා අනුර කුමාර රහස් කතාබහක

- ආණ්ඩුවට ඡන්ද ඕන නැහැ. ඒක නිසා විපක්ෂයක් විදිහට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන
- හිගන්නොත් පාරේ ඉදලා සල්ලි ඉල්ලනවා. පුළුවන් අය දෙනවා. බැරි අය යනවා

සුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම අවධානයට ලක්වු කාරණා 2ක් විය. එකක් විදුලි බිල 66%කින් ඉහළ යාමයි. අනෙක පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යෑමයි.

වැලන්ටයින් පාටියකට මන්ත්‍රීවරුනුත්

පසුගිය පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනය යම් යම් ආකාරවලට සැමරූ අතර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද රහසිගතව මෙම වැලන්ටයින් දිනය සමරා තිබුණි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම පිරිස සමගි ජනබලවේගයට අයත් වූ අතර පොහොට්ටුවේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල දෙතුන් දෙනෙක් ද ඒ අතර වුහ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට අයත් මහල් නිවාස කිහිපයකම නිවාස මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්කරගෙන තිබුණහ.

සතර කන්මන්ත්‍රණය

තැපැල් ඡන්දය සඳහා දින නියමකර තිබුණ ද, මුදල් ගැටළුවක් හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම්දීමක් සමඟම ස්වාධීන මැතිවරණ කොමිසම 17 වැනි සිකුරාදා දහවල් තීරණය කළේ දින නියමයක් නොමැතිව තැපැල් ඡන්දය කල් දැමීමටය. මේ සමඟ දේශපාලන පක්ෂ නායකයින්, ලේකම්වරුන් හා නියෝජිතයින් අතර නිරන්තරයෙන් දුරකතන මාර්ග ඔස්සේ සාකච්ජා පැවැත්විණ.

මේ අතරතුර සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට දුරකතන ඇමතුමක් ලබාදෙන ලදී.

“ආණ්ඩුව ඡන්දෙ කල් දානවා. මොකද කරන්නේ” යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේය.

“දැන් ඉතා පැහැදිලියි ආණ්ඩුවට ඡන්ද ඕන නැහැ. ඒක නිසා විපක්ෂයක් විදිහට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන” අනුර කුමාර කිවේය.

“ඒක තමයි විශාල ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාර ගෙන යමු. මං සජිත් ප්‍රේමදාස නායකතුමා එක්කත් කතා කරන්නම්” යනුවෙන් පිළිතුරු ලබාදුන්නේ රංජිත් මද්දුම බණ්ඩාරය.

“මෙහෙමයි අපි එක දවසක වෙන වෙනම දැවැන්ත විරෝධතා පෙළපාළි ගිහිල්ලා, එකම තැනකට සම්බන්ධ වෙමු. ඕන නම් ඊට පස්සේ එක වේදිකාවකට නගිමු” යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියේය.

හෙලිකොප්ටරය එකතැන කැරකෙයි

විමල්, වාසු, උදය ඇතුළු කණ්ඩායම පසුගියදා හමු වී කතා කළේ ඔවුන්ගේ අනාගත දේශපාලනය පිළිබඳවයි.

ඡන්දය දිගින් දිගටම කල්දමා ආර්ථීක ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් විසඳීමට ආණ්ඩුව කටයුතු කළහොත් එනපොට හොඳ නැති බව හෙලිකොප්ටරයේ ගම්පහ ප්‍රබලයෙක් මෙහිදී ප්‍රකාශ කර තිබේ. කොහොම හරි පාර්ලිමේන්තුව 21 වැනිදාට පෙර කැඳවීම සඳහා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමට හෙලිකොප්ටරය කටයුතු කළ ද ඊටද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

නිදහසක් නැද්ද?

නිදහස් සභාවේ නියෝජිතයින් කිහිපදෙනෙකු අතර පසුගිය සතියේ සාකච්ජා පැවැත්වු‍ණු අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත්තේ නිදහසට නිදහසක් නැහැ. හැම පැත්තකින්ම බකට් පෙරළෙන බවයි.

“කොච්චර බකට් පෙරළුණත් අපේ නිදහස් සභාව නව පන්නරයකින් ඉදිරියට යනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ.

යු.ඇන්.පී. කාරයින්ගෙන් පොහොට්ටුවට එල්ලවන කුඩම්මාගේ බලපෑම් නිසා පොහොට්ටුවේ හුඟ දෙනෙක් දැනටමත් අපිත් එක්ක එනවා” යනුවෙන් ඩිලාන් පෙරේරා ප්‍රකාශ කර තිබුණි.

රූපවාහිනී මැදිරියකදී අරගලකරුවෙකුගෙන් ගේම ඉල්ලූ රාජ්‍ය අමාත්‍යවරයා

පසුගිය 16 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ සජීවි සංවාදාත්මක දේශපාලන වැඩසටහනකදී ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

ශිෂ්‍ය සංවිධානයක් වෙනුවෙන් ළහිරු විරසේකර මෙම වැඩසටහනට සහභාගී වූ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සහභාගි වූයේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තයි.

“‍ගෝල් ෆේස් එකට ගහන්න ඇවිල්ලා නේද ඉල්ලන් කෑවේ.” යනුවෙන් ළහිරු විරසේකර සංවාදයේදී කතාව ආරම්භ කළේය.

අපි ගෝල්ෆේස් එකට ගහන්න ගියේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දෙනන්න යනකොට අපිට ගැහුවා” යනුවෙන් සනත් නිශාන්ත කියා සිටියේය.

“ගෙවල් ගිනි තියපු වෙලාවේ හිටියේ කොහේද? ළහිරුගේ පැනයට සනත් නිශාන්තගේ රතු කට්ට පැන්නේය.

“ගල් ගුහා, ගස් බෙනවල තමයි අපි හිටියේ” යනුවෙන් මඳක් සිනහසෙමින් සනත් නිෂාන්ත පැවසුවේ කේන්තිය තරමක් දුරට පාලනය කරගෙනය.

කෙසේ හෝ වැඩසටහන අවසන් වු පසුව මයික්‍රෆෝනය ගැලවු සනත් නිශාන්ත කියා සිටියේ ළහිරු ඔයා මහලොකු චණ්ඩියානේ එන්න දැන් හැප්පෙමු කියාය.

අරගලයේ ඔයගොල්ලන් මහා චණ්ඩිනේ. මං තනි මිනිහ. මාත් එක්ක දැන් එන්න හැප්පෙන්න. මෙතන බැරිනම් එළියට යමු” යනුවෙන් සනත් නිශාන්ත දැඩිව ප්‍රකාශ කළ අතර ළහිරු වීරසේකර රැගත් පිරිස කඩිනමින් එම ස්ථානයෙන් පිටව ‍ගියේ ඇවිලීමට ගිය ගැටුමක් වළක්වාලමිනි.

‍කිසිවෙකුටත් නොදන්වා ජනපති කිලිනොච්චියේ කුඹුරු යායකට

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට ඉකුත් සෙනසුරාදා එහි ගිය ජනපති රනිල් ප්‍රමුඛ පිරිසට අතරමඟදී මනරම් කුඹුරු යායකට ගොඩ වැදීමට ද අවස්ථාව උදාවූයේය. සංස්කෘතික ආයතනය විවෘත කිරීමෙන් පසු සංස්කෘතික සංදර්ශනය නැරඹීමට ද ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ජනපති ලේකම් සමන් ඒකනායක, උපදේශක රුවන් ආදී පිරිසක් සමඟ එක්ව සිටියෝය.

සංස්කෘතික සංදර්ශනය නරඹමින් සිටින අතරතුර ජනපති ආරාධිතයන් දෙසට හැරී කීවේ “අපි මෙතන ඉන්න එක සාමාන්‍ය ජනතාවට මේක බලන්න බාධාවක්. ආරක්ෂකයෝ නිසා ජනතාවට පහසුවෙන් බලන්න බෑ.” කියාය. එයින් පසු ඔවුන් එතනින් නික්මීමත් සමඟම ආරක්ෂක රැකවල් ඉවත්වීම නිසා ජනතාවට වේදිකාව ආසන්නයටම පැමිණ සංස්කෘතික සංදර්ශනය නැරඹීමේ අවස්ථාව උදා වූවේය. පසු දින කොළඹ බලා පිටත්වීමට සුදානම් වෙමින් සිටි ජනපතිට නිලධාරියෙකු පැමිණ කීවේ කිලිනොච්චි පන්නකාඩි ප්‍රදේශයේ හොදින් පීදුනු කුඹුරු යායක් පවතින බවට වූ ආරංචියකි. ඔහු ඒ පණිවුඩය ගෙනාවේ එවැනි තැනක් ඇතිදැයි සොයා බලන ලෙස රනිල් කළ දැනුම්දීමකට අනුවය.

ලද ආරංචියත් සමඟම ජනපති ඇතුළු කණ්ඩායම ක්ෂණිකව එම පෙදෙසට යාමට තීන්දු කළේය. කිසිවෙකු නොසිතු මොහොතක පැමිණි ආගන්තුකයා ගැන ජනතාවට ඇතිවූවේ මහත් උද්යෝගයකි. කෙටි දැනුම්දීමකින් පිටත්වීම නිසා ආරක්ෂකයන් වැඩි ප්‍රමාණයක් නොසිටීමෙන් ජනපතිට ජනතාව අතරට තනිව ගොස් කතා බහ කිරීමේ අවස්ථාව උදාවූවේය.

ගොවීන් හමුවට ගිය ජනපති රනිල් ගොවිතැන ගැන විමසා සිටියේය.” සර් අපිට අවශ්‍ය පහසුකම් දෙනවා නම් අපිට හොද අස්වැන්නක් රටට දෙන්න පුළුවන්.” ගොවීහු කීහ.

“හරි මම පොහොර, බෙහෙත් වගේ අවශ්‍ය ඔක්කොම දෙන්නම් ඔයාලා මට රටටම කන්න හාල් ටික දෙන්නකෝ.” ජනපති කීවේ සිනාසෙමිනි. ප්‍රදේශය ගැන ජනපති විස්තර කරද්දී ගොවී ජනතාව ද අසා සිටියේ පුදුමයෙනි. ජනපති එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු ඔවුනොවුන් කතාවූයේ ජනපතිට තමන්ට වඩා දැනුමක් ප්‍රදේශය ගැන තිබෙන බව කියමිනි.

ඉරිදා සවස කොළඹ පැමිණි ජනපති රනිල් සඳුදා පෙරවරුවේම ගියේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙතය. ඒ ඇමරිකානු තානාපති කාර්යාලය සුදානම් කර තිබූ තරුණ හමුවකට සහභාගි වීමටය.

රනිල්ට තරුණ ප්‍රශ්න වැලක්

ශ්‍රී ලංකාව හා ඇමරිකානු එක්සත් ජනපදනය අතර සබඳතාවලට 75 වසරක් සැපිරීම වෙනුවෙන් අමරිකානු තානාපති කාර්යාලය නායකත්ව සංසඳ සමුළුවක් සංවිධානය කර තිබුණි. ඊට එක්වූ ජනපති තරුණයන් අමතා කතාවක් කිරීමෙන් පසුව සැවොම ඉදිරි කටයුතුවලට යාමට සුදානම් වුවත් ජනපති රනිල් තරුණයන්ට ඔහුගේ ප්‍රශ්න ඇත්නම් විමසන ලෙස දැනුම් දුන්නේය.

තරුණ තරුණියන් රැසක් ජනපතිට ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඔහු ඒ සියල්ලටම පරිපූර්ණ පිළිතුරු ලබා දුන්නේය. එයින් ද නොනැවතී තේ පැන් සංග්‍රහය අතරතුර ද ඔහු තරුණ තරුණියන් අසලට ගොස් නොයෙක් කරුණු විමසුවේය. අරගලය ගැන මෙන්ම “සිස්ටම් චේන්ජ්” ගැන ද ඔහු තරුණ තරුණියන් හා අදහස් හුවමාරු කර ගනු ලැබීය.

‍වජිරගේ හිඟන කතාව

අගහරුවාදා උදෑසන ආරක්ෂක මණ්ඩල හමුවට එක්වූ ජනපති සවස නැවත කාර්යාලය වෙත පැමිණියේය. එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩල නිලධාරීන් පැමිණ සිටියේ පක්ෂයේ ඉදිරි කටයුතු ගැන ජනපතිට දැනුම් දීමටය. පළාත් පාලන මැතිවරණය ගැන ද එහිදි කතා බහට ලක්වූවේය.

කතාව ආරම්භයේදීම ජනපති කීවේ මැතිවරණ කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. “මැතිවරණ කොමිසම සල්ලි ඉල්ලනවා. අනෙක් පැත්තෙන් මුද්‍රණාලායාධිපතිනිය සල්ලි නැත්නම් ඡන්ද කාඩ් ගහන්න බෑ කියනවා.” මහලේකම් රංගේ කතාව ආරම්භ කළේය.

“හිඟන්නොත් පාරේ ඉඳලා සල්ලි ඉල්ලනවා. පුළුවන් අය දෙනවා. බැරි අය යනවා.” වජිර කීවේ සැවොම සිනා ගන්වමිනි.

සභිකයන් සංඛ්‍යාව අඩුකිරීමට යෝජනාවක්

“කොහොම වුණත් අපි දන්න තරමින් මහාභාණ්ඩාගාරයට දෙන්න සල්ලි නෑ. විපක්ෂයේ කණ්ඩායම්වලට තිබුණේ මුලින්ම ජනාධිපතිතුමා කියපු සභිකයෝ 8000 සියයට 50කින් අඩු කරන යෝජනාව ක්‍රියාත්මක කරලා ඡන්දයකට යන්නයි.” ජාතික සංවිධායක සාගල කීවේ එවැන්නකි.

“එහෙම වුණා නම් අගොස්තු - ඔක්තෝම්බර් අතර කාලය තුළ මැතිවරණය ඉතාම හොඳින් තියන්න තිබුණා.” නියෝජ්‍ය නායක රුවන් ද කතාවට අලගු තැබුවේය.

“විපක්ෂයේ කොටස් දෙකක් ඡන්දය වෙනුවෙන් කඩා ගෙන ගියා. මෙතන ගොඩක් අයට ඕන වුණේ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙළ කඩාකප්පල් කරලා එතුමාව වට්ටන්න.” අකිල ද කතාවට එකතුවූවේ එලෙසිනි.

“මම දැන් වුණත් ලැහැස්තියි පාර්ලිමේන්තුවේ සියලු කණ්ඩායම් එක්ක එකතු වෙලා ආර්ථිකය ගොඩ දාලා සභික ගණන අඩු කරලා ඡන්දයකට යන්න. මම දැනුත් ආරාධනා කරනවා ඔක්කොටම මේ වැඩපිළිවෙළට එකතු වෙන්න කියලා.” ජනපති කීවේ බැරෑරුම්වය.

වෘත්තීය සමිති ගහන ගහන පදයට නටන්න පුළුවන්ද‍?

කොළඹ ට්‍රේස් සිටි හි පැවැති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනපති රනිල් අපූරු කතාවක් කළේය. ඒ ඔහුට ලැබී තිබූ ඉල්ලීමක් ගැනය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ඉවත් කරන ලෙස ආචාර්ය සංගම් ඉල්ලා ඇති බව කියූ ඔහු වෘත්තීය සමිති කියනාකාරයෙන් ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බව ද කියා සිටියේය. ඔහු සුහද හමුවේදි පවා කියා සිටියේ නිතී රීතිවලට පිටින් තමන් කිසිවක් නොකරන බවය.

බදාදා සවස මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් මෙන්ම විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ද පැමිණ සිටියේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් ජනපති සමඟ සාකච්ඡා කිරීමටය. එහිදි ජනපති ඔවුන්ට උපදෙස් දුන්නේ මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට අවසර දී ඇති බැවින් ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසයි.

ආර්ථික කටයුතු හා රටේ මූල්‍ය තත්ත්ව සමාලෝචන රැස්වීම සෑම බ්‍රහස්පතින්දාවකම පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යංශයේය. ඊට ජනපති ලේකම් සමන් ඒකනායක ද එක් වන්නේය.

ජනපති ලේකම් පයින්ම

ඔහු ජනපති ලේකම් කාර්යාලය පසු පසින් මුදල් අමාත්‍යාංශය වෙත පා ගමනින් එනු දුටුවේ එම අවස්ථාවේ ජනපති මුණ ගැසීමට පැමිණ සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය. ඔහු මුදල් අමාත්‍යාංශයේ පෝටිකෝව අසල රැඳී සිටිමින් ජනපති ලේකම්ගෙන් විමසුවේ “මොකද අද පයින්ම වාහනේ කැඩිලා ද” යනුවෙනි.

“මේ ටික එන්න මොකටද වාහනයක් ගන්නේ. මම පිටිපස්සෙන් එනවා. ඇවිදින එක ඇඟටත් හොදයිනේ.” කියු ජනපති ලේකම් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සමඟ මුදල් අමාත්‍යාංශය වෙත පියනැගුවේය.

බ්‍රහස්පතින්දා ජනපති හමුවු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කතා බහ වූවේ මාධ්‍ය වාර්තා කර තිබෙන අ‍ෙමරිකානු ප්‍රබල ආරක්ෂක නිලධාරීන් පිරිසකගේ පැමිණීම ගැනය. ඇමරිකානු සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානියා ආවා කියලා තමයි කියන්නේ. ඒක ඇත්ත නම් ලංකාවට එහෙම කෙනෙක් ආපු පළමු අවස්ථාව.” ඇමති බන්දුල කියද්දී එහි නිලධාරියෙකු කීවේ එහි සත්‍යතාවයක් පවතින බවය.

මේ සියළු කතා සිනාසෙමින් අසා සිටිය ද ජනපති රනිල් කිසිවක් කීවේ නැත. ආර්ථිකය ගැන හා විදුලි බිල ගැන කතා කරද්දී ජනපති කීවේ “රටේ ජනතාව විදින ආර්ථික අපහසුතාවය මට හොඳට තේරෙනවා. ඒත් මේ ප්‍රශ්න හැදුවේ මම නොවෙයි . ඒ නිසා මට රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා.” කියාය.

ජනපති රනිල් ගැන වජිර මහනාහිමිවරුන්ට කි‍ව්වේ මොනවාද?

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය අඟහරුවාදා උදෑසනම නුවර බලා පිටත්ව ගියේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගැනීමටය.

පළමුව අස්ගිරි මහා විහාරයට පැමිණි වජිර අබේවර්ධන අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක

රටේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, වැටුණු රට නැවත නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවත් වජිර අබේවර්ධන මෙහිදී මහනායක හිමිවරුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළිවෙළට බාධා නොකොට සියලුදෙනාම එකතු වී එතුමන්ට සහයෝගය ලබාදුන්නොත් අපේ රට ඉක්මනින්ම ලෝකය හමුවේ ඔසවා තැබීමට හැකිවනු ඇති බව තමාට සියයට සියයක් විශ්වාස බව මල්වතු, අස්ගිරි නාහිමියන් වහන්සේලාට වජිර පැවසීය.

මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව වජිර මාධ්‍යට අදහස් දැක්වීමට පිටතට පැමිණෙන තෙක් මාධ්‍යවේදීන් බලා සිටියේ වජිරගෙන් තවත් කුමක් හෝ අනාවැකියක් දැන ගැනීමේ අදහසිනි.

වජිරගේ ඊළඟ අනාවැකිය

“සභාපතිතුමා, ඔබතුමා අනාවැකි කියන්න ඉතාමත් දක්ෂයි. කලින් ඔබතුමා නුවර ආපු වෙලාවේ මේ විදිහටම අපිට කිව්වා, අපිට තිබෙන්නේ එක ආසනයයි, අපි ඒ ආසනේට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාර්ලිමේන්තුවට යවනවා. එතුමන්ව අපි පාර්ලිමේන්තුවට යවන්නේ, අගමැති කරලා ජනාධිපති කරන්න කියලා.

ඉතින් ඉදිරිය ගැනත් අපිට තව අනාවැකියක් කියන්න පුලුවන්ද ඔබතුමන්ට?”එක් මාධ්‍යවේදියෙක් වජිරගෙන් විමසීය.

“මුලින්ම කියන්න ඕන මම අනාවැකිකරුවෙක් නෙමෙයි. මම දේශපාලනඥයෙක්.

මම එදා කිව්වෙත් අනාවැකියක් නෙමෙයි.

අපි ඔය දේවල් ප්‍රකාශ කළේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. ඔබ ළඟ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තිබේනම් නැවත වරක් එය කියවා බලන්න. මොකද අපි එහි පැහැදිලිව කියලා තිබෙනවා, අපි යන ගමන් මාර්ගය වෙනස් කරන්න එපා කියලා. එහෙම උනොත් රට විශාල අර්බුදයකට පත්වෙයි කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2019 දි මේ රට භාර දෙනවිට අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 3ක් මහා භාණ්ඩාගරයේ තිබුණා.

අද ඉන්දියාව ලෝක බලවතෙක් වී තිබෙන්නේ ඩොලර් බිලියන 400ක සංචිතයක් තබාගෙනයි. ඔවුන්ට ලෝකයේ පස්වෙනි තැන හිමිව තිබෙනවා.

නමුත් අපේ රටේ මහජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් ගෙදර යවලා, එවකට තිබුණු දේශපාලන ව්‍යුහයත් සමාජයෙන් ඉවත් කරලා දැම්මා.

ඒ අවස්ථාවේදී මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඇහුවා දැන් අපිට මොකද වෙන්නේ කියලා. එතුමා ඒ අවස්ථාවේදී මට පැහැදිලිවම කිව්වා, අපි ගමන් කළ මාර්ගය වත්මන් පාලකයින් විසින් වෙනස් කළොත්, රට කඩාගෙන වැටෙනවා, නැවත මේ රට ගොඩගන්න වෙන්නේ 2023 දී අපිටමයි කියලා.

කෙසේ හෝ අපි එදා හිතපු කාලයටත් වඩා කලින් නැවත අපට රට භාරගන්න සිදුවුණා........“

“ඒ කියන්නේ ඉදිරියටත් එතුමාම ද රටේ ජනාධිපති?” තවත් මාධ්‍යවේදියෙක් වජිරගෙන් විමසීය.

“ඇත්තවශයෙන්ම මේ රටේ ජනතාව ඉතා සිහිබුද්ධියෙන් ක්‍රියා කර අවුරුදු 12ක් මේ රට පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ඉඩ ලබාදුන්නොත් එතුමා මේ රට ආසියාවේත්, ලෝකයේත් බලවත් රටක් හැටියට ඔසවා තබයි. ඒ ගැන මට සියයට දාහක් විශ්වාසයි.” යැයි කියමින් වජිර එතැනින් පිටත්ව ගියේය.

සජිත්ගෙන් The blue Print

පසුගියදා සමගි ජන බලවේගය සුවිශේෂී වැඩසටහනක් එළිදැක්වීය. “THE BLUE PRINT” ආර්ථික සමුළුව නමින් එය හැඳින්විය.

“THE BLUE PRINT” ආර්ථික සමුළුව පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේ දී ය.රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, ආර්ථික විශේෂඥයින්, විද්වතුන් දහසක පිරිසක් ඊට සහභාගි වෙතැයි අපේක්ෂා කළ ද 1500කට අධික පිරිසක් පැමිණීම හේතුකොටගෙන හිල්ටන් හෝටලයේ යාබද ශාලාවක් ද ආර්ථික සමුළුවට විවෘත කිරීමට සිදුවිය.

මෙහිදී ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහි තිරසර සංවර්ධනය වෙනුවෙන් වෙන සැලැස්ම එලිදැක්විම ද සිදුවිය.

කබීර් හෂීම් විසින් පළමු අදහස් දැක්වීම සිදු කළ අතර වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට පසුබිම් වූ හේතු කාරණා සියල්ල ඔහු එකිනෙක පැහැදිලි කළේය. මේ වන විට ලෙබනනය ආර්ථික වශයෙන් ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට පැමිණ සෞඛ්‍යය පහසුකම් නොමැතිව ආහාර හිඟ තත්ත්වයකට පත්ව ඇති බවත් ලංකාව එවැනි තත්වයකට පත්විය යුතු නැති බවත් හර්ෂ ද සිල්වා පැවසීය 

“ සුරාබදු සහ දේශීය ආදායම් ඒ හා සමානයි, ඒවාට තාක්ෂණය භාවිත කළ හැකිය, මේවා අලුත් අදහස් නොවේ, වෙනත් රටවල් මේවා කර තියෙනවා. තක්සේරු කිරීම එක් ස්ථානයකදී සිදු කර ගෙවීම් සිදු කරනු ලබන්නේ මධ්‍යගත ක්‍රමය මගිනි. එවිට නිලධාරීන් සමඟ අන්තර්ක්‍රියාව අවම වේ. ගෙවීම් මධ්‍යගතව සිදු කිරීමෙන් පසුව රේගුවෙන් භාණ්ඩ නිෂ්කාශනය කළ හැකි උපදෙස් රේගුවට නිකුත් කරනවා" ඉරාන් වික්‍රමරත්න පැවසීය.

"අපි දකින අඩුපාඩුවක් නම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවාට මදි ප්‍රතිපත්ති අධීක්ෂණය කරන්න ඕන. ඒ සදහා මම සඳහන් කළ මේ කණ්ඩායමට අමතරව තරුණ වෘත්තීය වේදීන්ගෙන් දහස් ගණනක් ඉන්නවා. මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය පාලන ගැටලුවක්.“ සජිත් ප්‍රේමදාස දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

රුසියාවෙන් අජිත් රාජපක්ෂට සුබ ආරංචියක්

රුසියාවේ ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍යවරයාත් විලැඩීම්ර් ප්‍රාන්තයේ නගරාධිපතිරයා ඇතුළු රුසියානු දුත පිරිසක් පසුගිය 17 වැනිදා දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මුණ ගැසුණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තව තවත් දියුණු කිරීම සඳහා රුසියානු සංචාරකයින් මෙරටට එවීමට කටයුතු කරන බව එම රුසියානු දුත පිරිස ප්‍රකාශ කළහ.

මීට අමතරව මෙරට ආයෝජනය කිරීම සඳහා රුසියානු ආයෝජකයින් කැමැත්තෙන් පසුවන බවත් ආයෝජනය කළ හැකි ප්‍රදේශ නැරඹීමට බලාපොරොත්තු වන බවත් එම දුත පිරිස ප්‍රකාශ කළහ. පැමිණ සිටි පිරිසට විශේෂ ස්තූතියක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රස තේ කෝප්පයක රස බැලීමටත් ශ්‍රී ලංකාවේ ආහාර වර්ගවලින් ප්‍රණිත දිවා ආහාරයක් දීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කටයුතු කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් මෙම හමුව සංවිධානය කොට තිබුණි.

Comments