- ජවිපෙ ඇතුළේ වැඩෙන මිනිසුන්ට ඉඩක් නැහැ
- මේ අයට තියෙන්නේ පසුගාමි චින්තනයක්
- ජවිපෙ වර්තමාන දේශපාලනය ඇතුළේ පැහැදිලි දැක්මකින් කටයුතු කරන බවක් දැක්කේ නැහැ
ජවිපෙ 1989 වසර වන විට දැවැන්ත කඩා වැටීමකට ලක් වී තිබුණා. එහිදී ඔබ ජවිපෙ ගොඩ නැඟීමේ භාරදූර කාර්යයට දායකත්වය දෙනවා. ඒ ගැන සඳහන් කළොත්?
1989 අගභාගයේ වන විට රෝහණ විජේවීර සහෝදරයාගේ මිය යෑමත් සමඟ ජවිපෙ විශාල කඩා වැටීමකට ලක් වෙනවා. රට ඇතුළේ පක්ෂය ගොඩනැඟීමේ දැවැන්ත කාර්ය භාරයක් තිබුණා. ඒ වන විට ඉතාමත් සුළු පිරිසක් පමණයි පක්ෂයේ ඉතුරු වෙලා හිටියේ.1994 මැතිවරණයේදී ජවිපෙ ප්‍රජාන්ත්‍රවාදී දේශපාලනයකට ගෙන ඒමට හැකි වන බව එදා දැක්කා. ඒ වන තෙක් අපි පක්ෂය රැකගෙන ප්‍රජාන්ත්‍රවාදී මාවතකට අවතීර්ණ වුණා. ඒ අනුව ඒ අවස්ථාවේ අපි ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුණ සමඟ එකතු වෙලා සන්ධානයක් ඇති කරගෙන මල් බඳුන ලකුණෙන් ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවලට තරග කළා. මම කොළඔ දිස්ත්‍රික් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළා. ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් එවර අපට හිමි වුණා.
ඔබ වසර 16ක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා. නමුත් 2008 වසරේදී ඔබ ජවිපෙ හැර යනවා. ඊට හේතුව කුමක්ද?
1997 වසර වන විට මට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක සංවිධායක ලෙස වගකීමක් පැවරුණා. ඉන් පසුව රත්නපුර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස පක්ෂය බිම්මට්ටමින් ශක්තිමත්ව ගොඩනඟාගෙන ජනතාව දිනා ගත්තා. කෙටි කාලයක් තුළ ශක්තිමත් දේශපාලන ගමනක් එන්න ඒ අවස්ථාවේදී පාවිච්චි කරපු දේශපාලන උපක්‍රම මත අපිට හැකියාව ලැබුණා. ඉන්පසු 1997 - 1999 පළාත් සභා මැතිවරණයේදී සහ 2001දී පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට අපේ සාමාජිකයන් තේරී පත්වන තත්ත්වයට පත් වුණා.
2004 ජවිපෙ ශ්‍රීලංනිප සමඟ සන්ධානගත වී විශාල ජයග්‍රහණයක් අත් කරගන්නවා නේද?
2004 ජවිපෙ පළමු වැනි වතාවට සන්ධානයක් හදලා ශ්‍රීලනිප සමඟ එකතු වෙලා මැතිවරණයකට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදි බොහෝ අය නොසිතුව විදිහට ජවිපෙ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුළ තිබුණ දැවැන්ත විශ්වාසය අපි මැතිවරණ ප්‍රතිඵලවලින් දැක්කා. එවර ජවිපෙට වැඩිම මනාප ඡන්ද ප්‍රතිඵල ලැබුණා.
නමුත් ජවිපෙ තනි පක්ෂයක් ලෙස මැතිවරණයකට ඉදිරිපත් වූ කිසිදු අවස්ථාවක විශිෂ්ට ජයක් නොලැබුවේ ඇයි?
ඕනෑම පක්ෂයකට මේ රටේ දේශපාලනික ඉඩක් තියෙනවා. මේ රටේ ජනතාව ජවිපෙ තේරුම් ගත්ත විදිහක් තියෙනවා. ජවිපෙ ක්‍රියාකාරීත්වය සමඟ විවේචනය ගොඩකුත් තිබුණා. කොමියුනිස්ට් මතවාද දරන සීමාවක සිටින පක්ෂයක් ලෙස ග්‍රාමීයව ජවිපෙට ඉඩක් තිබුණා. මේ රටේ පළල් දේශපාලනය කරන පුද්ගලයෝ සමඟ එකට එකතු වි වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වැඩ ඇතුළේ අපි ජනතාව දිනා ගත්තා. ඒ නිසා ශ්‍රීලනිප පාක්ෂිකයොත් එදා අපිට මනාපය ප්‍රකාශ කර විශාල ජයග්‍රහණයක් අත් කරලා දුන්නා. මේ රටේ මහජනතාව ජවිපෙ ගැන විශ්වාසයක් තියලා ජවිපෙට 2004දී අවස්ථාවක් දුන්නා. නමුත් ඒ ලැබුණ අවස්ථාවේදී නිසි කළමනාකරණයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරලා ජනතාව ජයග්‍රහණය කරන තැනට පක්ෂය ගෙනාවේ නැහැ. ජනතාවගේ ප්‍රශ්න පැත්තකින් තියලා පක්ෂ අභ්‍යන්තරයේ සමහර කරුණුවලට යොමු වෙමින් කටයුතු කිරීම සාර්ථක ක්‍රමයක් නොවෙයි. විශේෂයෙන් දේශපාලන පක්ෂවලට ජයග්‍රහණය ලැබෙන්නේ රටේ ඇති දේශපාලන අවශ්‍යතා අනුවයි. ජනතාව අප කෙරෙහි විශ්වාසය තියලා ඡන්දය දුන්නේ ජාතික ප්‍රශ්නයේදී ජවිපෙ දරන ස්ථාවරය නිවැරැදියි, ඒ ස්ථාවරයට රට අරන් යයි කියලා හිතලයි අපිට ඒ අවස්ථාව දුන්නේ. නමුත් පක්ෂය එය මඟ හැරලා ඒ වෙනුවට වෙනත් කරුණු කියමින් කටයුතු කිරීම නිසා පක්ෂය ඇතුළේ බෙදීමක් ඇති වුණා. ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහටයි මම ජවිපෙන් එළියට එන්නේ.
පක්ෂ අභ්‍යන්තරයේ මතවාදීමය ගැටුම් නිසා ඇතැම් ජවිපෙ ප්‍රබල සාමාජිකයන් පක්ෂයෙන් ඉවත් වුණා නේද? එයට හේතුව කුමක්ද ?
විවිධ අවස්ථාවල පක්ෂයෙන් පුද්ගලයන් ඉවත් වීමටත් පක්ෂය බෙදීමට ලක් වීමටත් පොදුවේ ගත් විට සාධක කිහිපයක් තියෙනවා. මුල් පෙළේ නායකත්වයට හැර අද පවතින නායකත්වයේ තිබෙන්නේ යම් පසුගාමී මනෝභාවයන්. මේ නිසාම ඔවුන් ජවිපෙ ගොඩනඟන්න උත්සාහ කරන්නේ කේඩෑරි පක්ෂයක් ලෙසයි. ජවිපෙ ඇතුළේ වැඩෙන මිනිසුන්ට ඉඩ තිබුණේ නැහැ. එහි වැඩෙන මිනිසුන්ව මිරිකලා අච්චුවක දාලා ගඩොල් හදන මට්මකයි තිබුණේ. විවිධ අදහස් දරන පුද්ගලයන් සමඟ එකට වැඩ කිරීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙසයි පක්ෂයේ අභ්‍යන්තරයේ කිහිප විටක් කණ්ඩායම් කඩාගෙන ගියේ.
ජවිපෙට අද පක්ෂයක් ලෙස නිසි නායකත්වයක් නැහැ කියලද ඔබ හිතන්නේ ?
බහුතරයගේම අවසන් අරමුණ එකම අරමුණක් වුවත් ඒ සඳහා යන ආකාරය තුළ පෞද්ගලික ස්වභාවයන් සහ ආකෘතීන්වල බාහිර පෙනුමේ සහ සාධකවල වෙනස්කම් තිබිය හැකියි. ඒවා ගෝත්‍රවාදී ලෙස සලකමින් පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ශෝචනීය තත්ත්වයක්.
එයින් අදහස් කරන්නේ ජවිපෙ ඇතුළේ ගෝත්‍රික මතවාද තිබෙන බවද?
ඇතැම් අය සමඟ මගේ දේශපාලන එකඟතාවක් නැහැ. නමුත් පක්ෂයේ වැඩෙන මිනිසුන් පක්ෂයේ තුළ තබා ගනිමින් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යෑමට ජවිපෙට දැක්මක් ඇති බවක් පේන්න නැහැ. පසුකාලීනව ජවිපෙට එකතු වූ පිරිසගෙන් කී දෙනෙක් අද ඉතුරු වෙලා ඉන්නවාද කියා බැලිය යුතුයි. අද ජවිපෙ ඉන්න සාමාජිකයන්ට වඩා හිටපු සමාජිකයන් වැඩියි. ජවිපෙ වටා එකතු වෙනවා වගේම ඉක්මනින්ම ජවිපෙ හැර දාලා යනවා ඉක්මනින්. එය ඔවුන් තේරුම් ගත යුතු තත්ත්වයක්. මැද මත දරන පුද්ගලයන් සමඟ ගනුදෙනු කර ඒ අය රඳවා තබා ගැනීමේ හැකියාවක් පක්ෂය පෙන්නුම් කරලා නැහැ.
ජවිපෙ වාමවාදී මතවාද මේ රටේ පැළ කරන්න උත්සාහ කළත් පැහැදිලිවම පිවිතුරු වාමාංශික පක්ෂයක් ලෙස ජවිපෙ නම් කරන්න පුළුවන්ද?
වාමවාදී දේශපාලන පක්ෂ වුවත් ලෝකයේ දේශපාලනය ගලා යෑම දිහා බැලුවාම යම් යම් අවස්ථාවන් අනුව උපක්‍රමික දේශපාලනික භාවිතාවන්වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. එහි උපක්‍රමික දේශපාලන භාවිතය විය යුත්තේ රටට, ජනතාවට සහ පක්ෂයට ජයග්‍රහණය ගෙන එන දිශානතියට ගමන් ගන්නා ක්‍රියාමාර්ග කරා යොමු කිරීමයි. නමුත් ජවිපේ දේශපාලනික ක්‍රියාමාර්ගය ගත්තොත් පසුකාලීනව අවසන් ඉලක්කය දැක්කාම ඉලක්කමෙන් ගත්තාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 03 දෙනකුගේ තැනට වැටිලා තියෙනවා. 1965දී ගොඩනඟපු දේශපාලන පක්ෂයකට රටේ ජනතාව සමඟ වැඩ කර ජනතා අභිලාෂයන් තේරුම් ගෙන ඒ අභිලාෂයන් සමඟ තමන්ගේ දේශපාලන ජයග්‍රහණයන් පෙළ ගස්වා ගැනීමට හැකි විය යුතුයි. එයට ජවිපෙ අසමත් වුණා.
රටේ ජනතාව සමඟ වැඩ කිරීමටත් ජනතා අභිලාෂයන් තේරුම් ගෙන තමන්ගේ දේශපාලන ජයග්‍රහණයන් පෙළ ගස්වා ගැනීමට ජවිපෙ අසමත් කියල ද ඔබ කියන්නේ?
ජවිපෙ පසුගිය මැතිවරණයකදීත් තමන්ට පුංචි ආණ්ඩුවක බලය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලුවා. ආණ්ඩුවක් දෙන්න අපිට පුංචි ආණ්ඩුවක් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලයි එදා ඔවුන් ජනතාවට කිව්වේ. ඒ අවස්ථාවේ තිස්සමහරාම ජනතාව ජවිපෙ විශ්වාස කරලා ඒ පුංචි ආණ්ඩුව දුන්නා. නමුත් ඉන් අනතුරුව කිසිදු මැතිවරණයකදී ඒ පළාත් පාලන ආයතනයක බලය ජවිපෙට ලැබුණෙ නැහැ. එසේ නම් ගැටලුවක් තියෙනවා ජවිපෙට. මහ ලොකු දේවල් ගොඩක් අවශ්‍ය නැහැ. එදා ආදර්ශ පෙන්නලා තිබුණා නම් රටක් කරන විදිහ ගැන පෙන්නුවා නම්, මම හිතන්නේ නැහැ තිස්සමහරාම ජනතාව වෙනත් බලවේගවලට යට වෙලා වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය දෙයි කියලා. නමුත් ජවිපෙට එදා කිසිදු වෙනසක් කරන්න බැරි වුණ නිසයි ඒ බලයත් අහිමි වුණේ. ප්‍රශ්නය තමාගේ වෙනතුරු පිළිතුරු දාර්ශනිකයි කියලා කියමනක් තියෙනවා. නමුත් ප්‍රශ්නය අපිට වෙනතුරු අපිට දාර්ශනික දේවල් ගොඩක් කියන්න පුළුවන්.
ජවිපෙට රටක් ගොඩනඟන්න තරම් දැක්මක් තියෙනවා කියලා ඔබ හිතනවාද?
මෙය පක්ෂයක පරිණතභාවය සම්බන්ධ ප්‍රශ්නයක්. ජවිපෙ තියෙන්නේ එකම සටන් පාඨ ටිකක්. ජනතා විශ්වාසය ගොඩනඟා ගන්න අදාළ වූ දැක්මක් පක්ෂයකට තිබිය යුතුයි. මම නම් කිසිම ආකාරයකින් ජවිපෙ වර්තමාන දේශපාලනය ඇතුළේ පැහැදිලි දැක්මකින් කටයුතු කරන බවක් දැක්කේ නැහැ. වෛරයේ විරෝධය නිසා එකට එකතු වූ පිරිසක් එකතු කරගෙන ඒ පිරිසත් සමඟ එක ගමනක් යන්න උත්සාහ කරනවා. ඒ ගමන සාර්ථක නැහැ. පක්ෂයක් ලෙස ඔවුන් ජාත්‍යන්තර සාධක ගැන සැලකිලිමත් වෙලා නැහැ. රටේ ආර්ථීකය හදන හැටි හිතලවත් නැහැ. මේ අය ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්නයි කතා කළේ. නමුත් වෛරයේ රැල්ලක් ගොඩනඟනවා හැර ජනතාව ගැන හිතන වැඩපිළිවෙළක් ජවිපෙ තුළ ඇති බවක් පේන්න නැහැ.
ධනේෂ්වර සමාජ ක්‍රමයට විරුද්ධ ජවිපෙ වාමවාදී දේශපාලන කඳවුරක් ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා? නමුත් බලය ලබා ගැනීමට ඔවුන් ඇතැම් අවස්ථාවල වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගත වෙනවා. වාමවාදී දේශපාලනික බල කඳවුරක් ලෙස ජනතාව තුළ ජවිපෙ සම්බන්ධයෙන් යම් විශ්වාසයක් තිබෙනවා කියලා ඔබ හිතනවාද?
අද ජවිපෙට වම දකුණ මාරු වෙලා තියෙන්නේ. ඒ අය කියනවා ධනපති දේශපාලන පක්ෂ සමඟ එකට එකතු වෙන්නේ නැහැ, හොරකමට සම්බන්ධ පක්ෂ සමඟ එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් එවැනි අයම අද ඔවුන්ගේ අපේක්ෂකයෝ බවටත් පත් කරගෙන තියෙනවා. ලෝකයේ සමාජ ක්‍රමවල පරිණාමයක් තියෙනවා. පැරණි සමාජයට වඩා දියුණු සමාජ ක්‍රමයක් කාලයක් ගත වෙද්දී හැදෙනවා. මේ ධනේෂ්වර සමාජය ලෝක පරිමාවේදි ලොකු අර්බුදයකයි ඉන්නේ. ලෝකයේ සමාජ ක්‍රමයේ ද කියවීම වෙනස් විය යුතුයි. ලෙනින් මාක්ස්ලාත් එහෙමයි. කොමියුනිස්ට් වාදය කියන්නේ දියුණු ධනවාදයේ කෙළවරයි.
කොමියුනිස්ට් වාදයට ළඟ රනිල් වික්‍රමසිංහ මිසක් අද පවතින ජවිපෙ නොවෙයි.
එදා ජවිපෙ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව විශාල හඬක් නැඟුවා. එහෙත් අද ජවිපෙ ඇතැම් අය කියනවා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතුයි කියලා. මේ සම්බන්ධයෙන් ඔබ දරන අදහස කෙබදුද?
එදා විරෝධයට ජවිපෙට හේතුවක් තිබුණා. ඒ වෙලාවේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු ආකාරය සහ ඉන්දියානු මැදිහත් වීමේ ස්වභාවය නිවැරැදි නැහැ. පසුගිය කාලයේ එජාපෙ ඇතැම් අය පිළිගත්තා එහි බලහත්කාරයක් තිබුණා කියලා. ඒ නිසා එහි ස්වභාවය සහ ඒ දණ ගැසීම වැරදි කියන මනසක් මේ රටේ තරුණ බලවේගවලට එදා තිබුණා. ඒ නිසා ජවිපෙ එයට නායකත්වය දුන්නා. ඉන්දු ලංකා ගිවිසුව ඇතුළේ යම් ආකාරයක නොගැළපෙන ලක්ෂණ තිබුණා. අදටත් අපිට පේනවා පරිපාලනයේදි පළාත් සභා සහ මධ්‍යම රජය ඇතුළේ ගැටුම් සහ නොගැළපීම් තියෙනවා. එය අතිරේක බරක්ද කියලා අපිට හිතෙනවා. රට බෙදීමේ දිශාවට කරුණු තිබුණාද යන කරුණ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. මීට අවුරුදු තිහකට කලින් 1987 මේ ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී පළාත් සභා අවාම බොහෝදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කියනවා, ඒකීය රටක් ඇතුළේ බලය බෙදීමක් විතරයි මෙතන තියෙන්නේ, පරිපාලන බලය විමධ්‍යගත විය යුතුයි, පරිපාලන බලය ගමට යන්න අවශ්‍යයි කියලා.
එය සමාජවාදී පක්ෂයක් පිළිගත යුතු කාර්යයක්. ඒ පරිපාලන බලය ගමට බෙදීමට ජවිපෙට විරුද්ධ වෙන්න බැහැ. පළාත් සභා පනතට අනුව එහි බලතල ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. වත්මන් ජනාධිපති රට බෙදී යන ආකාරයේ තීන්දු ගන්නේ නැහැ. නමුත් ව්‍යස්ථාව අනුව පරිපාලන බලතල බෙදීමට ලෑස්තියි කියලා කිව්වා. මේ සදහා සියලු ජන කොටස්වල ප්‍රසාදයක් තියෙනවා. ජාති වාදය අවුස්සලා දකුණේ ඡන්ද ටික කඩා ගන්නවාද? තමන්ගේ සාක්කුවට දා ගන්නවාද කියන තැනකදී නම් එක් එක් දේශපාලන පක්ෂවල ප්‍රකාශ නිකුත් වෙන්න තිබුණා. එදා ගිවිසුම්ගත වෙනකොට සාධාරණ හේතු තිබුණා. නමුත් අද වන විට තත්ත්වය වෙනස් වෙනවා.
මේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරන්නේ ජවිපෙ බවත් ආණ්ඩුවට ගෙදර යන්න වෙන බවත් කියනවා. ඒ කියන විදිහට ජවිපෙට පළාත් පාලන ඡන්දයේදී ආණ්ඩුවට යම් බලපෑමක් කරන්න පුළුවන්ද?
විශේෂයෙන් කොටස් දෙකකින් මෙය විග්‍රහ කරන්න පුළුවන්. 2018 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණ ක්‍රමය කොට්ඨාස ක්‍රමයට වෙනස් වුණා. නමුත් මේ ක්‍රමය යටතේ මැතිවරණයේදී පළාත් පාලන ආයතන 341න් 141ක පමණයි කෙළින්ම බලය පිහිටුවන්න හැකියාවක් ලැබුණේ. නමුත් එදා මෙතරම් සංකීර්ණ තත්ත්වයක් තිබුණේ නැහැ. අද විශාල කණ්ඩායම් ගණනාවක් ජනතාවගෙන් බලය ඉල්ලනවා. මෙවර කිසිදු ආයතනයකට තනියෙන් බලය පිහිටුවන්න ලැබෙන්නේ නැහැ. පළාත් පාලන බලය පිහිටුවන්න වෙන්නේ සන්ධානගත වීමකින්. ඒ අය කියනවා පක්ෂ සමඟ එකතු වෙන්නේ නැහැ කියලා. මේ රටේ කවුරුත් දන්නවා පළාත් පලාන ආයතනයක් වගේ දෙයක් ක්‍රියාත්මක කරගන්න නම් අනිවාර්යෙන් පවතින ආණ්ඩුවේ සහාය අවශ්‍ය බව. ඒ නිසා බහුතරයක් දෙනා තල්ලු වෙන්නේ ජනාධිපතිවරයා සමඟ පෙළ ගැසෙන සන්ධානයක් වටා. ජවිපෙ දන්නවා ජනතාව තුළ රැල්ලක් තියෙනවා කියලා. ක්‍රම වෙනසක් ගැන මේ අය කතා කරනවා. එදා මේ රට දිනපු ජනාධිපතිවරයා පරද්දලා වෙනත් ජනාධිපතිවරයෙක් වටා පෙළ ගැසුණේ මේ කියන සිස්ටම් චේන්ඡ් එක කරන්නයි. ඒ රැල්ලේ ඡන්දයෙන් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණේ. එහෙම පත්වූ ජනාධිපතිවරයාට එය කරන්න බැරි වුණා.
ඒ සිස්ටම් චේන්ඡ් එක ඉල්ලපු රැල්ලම අද වෛරී රැල්ලක් බවට පත්වෙලා. ඒ වෛරී රැල්ල 2020දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. වෛරයට බලය එකතු වීමේ ප්‍රතිඵලයක් නැහැ. අද තියෙන්නේ රටේ පාලකයන්ට එරෙහි වෛරී රැල්ලක් පමණයි. පසුව ගෝඨාභය මහතාටත් විරුද්ධව වසර දෙකහාමාරකින් රැල්ලක් මතුවුණා. ජවිපෙ උත්සාහ කරන්නේ රටේ මේ නව රැල්ල ලාභෙට කොල්ල කන්නයි.
හොරු අල්ලනවා කියන එක මැතිවරණ වේදිකාවේ ජනප්‍රිය මාතෘකාවක්. ජවිපෙට ඒ සම්බන්ධයෙන් එවැනි පැහැදිලි ක්‍රියාමාර්ග තියෙනවාද?
හොරු අල්ලනවා කියලා කාටත් කියන්න පුළුවන්. අද ලෝකයේ දියුණුම රටවල්වලත් හොරකම තියෙනවා. හොරකම නැති කිරීමට ක්‍රියාමාර්ග හදනවා මිස හොරු අල්ලනවා කිව්වට රටේ හොරකම් විනාශ කරන්න බැහැ. හොරකම ඇති වීමට, මේ රට මේ තත්ත්වයට පත් වීමට හේතු වන වටපිටාව වෙනස් කිරීමයි අපි කළ යුත්තේ. එය වෙනස් කරන වැඩපිළිවෙළක් ඒ අය සකස් කළ යුතුයි. එය ලේසි සටන් පාඨයක් විතරයි. දූෂණ විරෝධී කමිටුවට පත් කරපු අවස්ථාවකදිවත් ඒ අය නිසි ක්‍රියාත්මක වීමක් වුණේ නැහැ. පොළොවේ දේශපාලනයට ලස්සන වචන සහ සටන් පාඨ කියලා වැඩක් නැහැ, ප්‍රායෝගික යෝජනා තිබිය යුතුයි.
ජවිපෙට තියෙන්නේ සටන් පාඨ පමණයි කියලා ඇතැමුන් චෝදනා කරනවා. මේ අර්බුදයට පිළිතුරු සොයන්න දේශපාලන දැක්මක් සහ හැකියාවක් ජවිපෙට තියෙනවාද?
ජවිපෙ අතීතය ගැන අපිට විවේචනයක් නැහැ. ජවිපෙ එදා අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා ඉදිරියෙන් හිටියා. එදා ඔවුන් මේ රටේ දේශපාලන අර්බුදය දැක්කා. ඒ අර්බුදයට පිළිතුරු සොයන්න උත්සාහ කළා. ඒවාට යෝජනා ගෙනාවා. අද ජවිපෙ ඉන්නේ රටේ අර්බුදයට පිටුපසින්. එදා අපි ප්‍රතික්ෂේප කරපු දේශපාලන පක්ෂවල සටන් පාඨ ඔවුනුත් පාවිච්චි කරනවා. එය නිවැරැදි ක්‍රියා මාර්ගයක් නොවෙයි. අපිට තියෙන්නේ මේ සමාජය ඉදිරියට ගිහිල්ලා පිළිතුරු සෙවීමයි. එවැනි පළල් දැක්මක් පක්ෂයකට අවශ්‍යයි. ජවිපෙ අද දිය වෙච්ච, කඩා වැටුණ දේශපාලන පක්ෂවල දේශපාලනික උපක්‍රමික සටන් පාඨ අස්සේ හිර වෙමින් පහත් ඉන්ද්‍රියන් අවුස්සමින් කරමින් කරන දේශපාලනික පෙලඹවීම නිවැරැදි නැහැ.