
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යළි නඟා සිටුවීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඉතාලි ජනරජයේ ප්‍රසාදය හිමිවන බව ඉතාලි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි මහතා සඳහන් කරයි.
ඉතාලි ජනරජයේ නිල සංචාරයක නිරත වන මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ඉතාලි ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එඩමන්ඩෝ සිරියේලි මහතා අතර සාකච්ඡාවක් ඊයේ(14) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉතාලි ජනරජයේ රැකියා අවස්ථා හිමිකර දීම අරමුණු කරගත් "සංක්‍රමණික-සේවක සැලැස්ම" ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු විය.
මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රය මූලිකවම දායක වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, මෙරටට ඉතාලි සංචාරකයින් වැඩි වශයෙන් යොමු කරගැනීමට සහයෝගය ලබා දෙන මෙන් ඉතාලි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. ඒ අනුව, සංචාරක ක්ෂේත්‍රයට ඉතාලි ජනරජයේ සහයෝගය ලබා දෙන බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.