මහනුවර සිල්වෙස්තර මුරකරුට මරු කැන්දූ දුරකතන ඇමතුම | Page 2 | සිළුමිණ

මහනුවර සිල්වෙස්තර මුරකරුට මරු කැන්දූ දුරකතන ඇමතුම

උදුල් සම්පත් අවසන් ගමන් යවා බළන්ගොඩට පැන්න තිවංක ඇල්ලුවේ දුරකතන ඇමතුම්වලින්

එකට සිටි මිතුරාගේ නුගුණ මිතුරියට කියද්දී මිතුරාට ඇසී කළ අපරාධය

 

මහනුවර ශාන්ත සිල්වෙස්තර ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ අධි ආරක්ෂිත කලාපයක් සේ සැලකිය හැකි ස්ථානයකය. ක්‍රීඩාංගණයට යාබදව පිහිටා ඇති සුමංගල විදුහලේ වැට සීමාවේ පොලිස් නිල සුනඛ අංශය පිහිටා තිබේ. ඊට නුදුරින් අස්ගිරි මහා පිරිවෙනට ප්‍රවිෂ්ට මාර්ගය පිහිටා ඇති අතර ක්‍රීඩාංගණයට පෙනෙන දුරින් පිහිටි එහි ගේට්ටුව අසල පැය 24 පුරා ක්‍රියාත්මක හමුදා ආරක්ෂක ඒකකයකි. ක්‍රීඩාංගණයට පහළින් සහකාර පොලිස් අධිකාරි කාර්යාල මෙන්ම පොලිස් නිල නිවාස ද පිහිටා ඇත. මේ අාකාරයට ආරක්ෂිත වටපිටාවක පිහිටි සිල්වෙස්තර ක්‍රීඩාංගණයේ මුරකරු අමානුෂික ලෙස පහර දී ඝාතනය කර සිටියදී සොයා ගනු ලැබුවේ පසුගිය 17 දිනය.

අතපය බැඳ කටට පාන්කඩ ඔබා ආරක්ෂක නිලධාරියා ඝාතනය කර තිබුණේ ක්‍රීඩාංගණයේ 'ස්කොෂ්' ක්‍රීඩාගාරය ඇතුළතදීය. ක්‍රීඩාංගණයේ පුහුණු වීම් සඳහා පෙර දින පැමිණි සිසුවකු එහි අමතක කර දමා ගිය කුඩයක් රැගෙන යාමට ඔහුගේ පියා පෙරවරු 7.00 ට පමණ පැමිණි අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා එලෙස ඝාතනය කර තිබෙනු දැකීමත් සමඟ පොලිස් කණ්ඩායම් කීපයක් එහි පැමිණියේ ඝාතකයා සෙවීමේ මෙහෙයුම සඳහාය. ක්‍රීඩංගණයට යාබදව පිහිටි පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් ද යොදවා පරීක්ෂා කළත් ඝාතකයා ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. අවට ස්ථාන කිහිපයක සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසිය ඝාතකයා අල්ලා ගැනීමට සිතුවත් ඒ සියල්ල බොඳව ගියේ ඒ කිසිවක් ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබීම හේතුවෙනි. මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මේ ගැන පරීක්ෂණ සිදු කරද්දී මහනුවර කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක විසින් ඒ සම්බන්ධ විමර්ශන කරන ලෙස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට දැනුම් දෙන්නේ මේ අතරය.

එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.එල්.බී දිසානායක ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන්නේ ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතය.

මෙසේ ඝාතනය කර තිබුණේ පන්විලගේ උදුල් සම්පත් නමැති අයෙකි. ඔහු තුන්මෝදර පදිංචිකරුවෙකි. විසිඅට හැවිරිදි එක් දරු පියෙකි. ඔහු පෞද්ගලික ආරක්ෂක ආයතනයක් මඟින් සිල්වෙස්තර විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා යොදවනු ලැබ සිටියේය. මීට මාස දහයකට පමණ ඉහතදී අදාළ ආයතනයේ සේවයට එක්වූ ඔහු ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා එම ආයතනය මඟින් යොමු කර තිබුණේ ජනවාරි මස මුල් සතියේදීය. ඝාතනය සිදුව තිබූ ස්ථානයේ තිබී හිස් අරක්කු සහ බීර බෝතල් දෙකක් පොලිසිය සොයා ගත්තේය. ඝාතකයා හඳුනා ගැනීම සඳහා වැදගත් කිසිම හෝඩුවාවක් එහි නොවීම නිසා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා උදුල්ගේ ජංගම දුරකතන දත්ත පරීක්ෂාවට ලක් කළේය. ඔහු අවසානයට දුරකතන ඇමැතුමක් ගෙන තිබුණේ 16 වැනි රාත්‍රී 10.30 ට පමණ ය. එම අංකය ඇමතූ අවස්ථාවේ ඊට පිළිතුරු දුන්නේ කාන්තාවකි. වැඩිදුර කරුණු විමසීමේදී අනාවරණය වූයේ ඇය ද උදුල් සේවය කරන ආරක්ෂක සේවා ආයතනයේම සේවයේ නිරත වන බවය. ඒ වන විට මහනුවර නගරයේ ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවි ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි ඇය පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගන්නට පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම පියවර ගත්තේ උදුල්ගේ ඝාතනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ඇගෙන් ලබා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තුවෙනි.

උදුල් එදින රාත්‍රියේ තමාට කතා කළ බවත් එදින පස්වරුවේ ඔහු තිවංක නමැති පුද්ගලයා සමඟ තමන් සේවය කරන ස්ථානයට පැමිණි බවත් ඇය පොලිසියට පැවසුවාය. තිවංක ද අදාළ ආරක්ෂක සේවා ආයතනයේම සේවකයකු වූ අතර ඔහු ඒ වන විට සේවය කරමින් සිට ඇත්තේ මහනුවර තවත් ප්‍රසිද්ධ පිරිමි නිමි ඇඳුම් අලෙවි සැලකය. මේ තිදෙනාගේම ප්‍රධාන සේවා ස්ථාන පිහිටා තිබුණේ සේවා කරන ස්ථානවල සිට මීටර් 500 ක තරම් වූ දුර සීමාවක ය. උදුල්ගේ ඝාතනයෙන් පසු තිවංක ආගිය අතක් නොමැති වීම නිසා මේ ඝාතනයට තිවංකගේ සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කළේය. ඒ අනුව තිවංක අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ විය. ඝාතනය සිදුව දින 09 ක් ගතවෙද්දී සැකකරු පොලිසියට කොටු වන්නේ බළන්ගොඩ නගර මධ්‍යයේදීය. අපරාධයේ සුලමුල හෙළි වන්නේ ඉන් පසුවය.

මේ වන විට විසි පස් හැවිරිදි තිවංක කුඩා කල සිටම ළමා නිවාසයක හැදී වැඩුණු අයෙකි. අවුරුදු 09 ක් වයසැති අක්කා සමඟ මාස අටක් වයසැති තමන්ව මව විසින් අනුරාධපුර බස් නැවතුමේ දමා ගිය බවත් පසුව ළමා නිවාසයක හැදී වැඩුණු තමන්ට අක්කා ද යළි හමු නොවුණු බවත් ඔහු පොලිසියට පවසා තිබේ. තිවංක නානායක්කාර නමින් ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කර අදාළ ආරක්ෂක සේවා ආයතනයේ රැකියාවට පැමිණි තිවංක සහ උදුල් මිතුරන් බවට පත්ව ඇත්තේ එකම ආරක්ෂක සේවා ආයතනයේ සේවය කිරීම හේතුවෙනි.

“මේ සිද්ධිය වූ දා හවස උදුල් මම වැඩ කරන තැනට ආවා. හවස අඩියක් ගහමු කිවුවා. අපි කොළඹ වීදියෙන් අරක්කු බාගයකුයි බීර බෝතලේකුයි අරන් සිල්වෙස්තර ක්‍රීඩාංගණයට ගියා. ක්‍රීඩාගාරය ඇතුළේ අපි කතා කරමින් විනෝද වෙවී බිවුවා. අපිත් එක්ක වැඩ කරන කෙල්ලෙකුට මම කෝල් කළා. ටික වෙලාවකින් උදුල් එයාට කෝල් එකක් අරන් කතා කරනවා මට ඇහුණා. මම පිටිපස්සේ ඉඳන් අහගෙන හිටියා. ‘මාව ආශ්‍රය කරන්න එපා‘ කියලා මිනිහා එයාට කියනවා ඇහුණා. ‘එයා අනාථ නිවාසෙක හැදුණු යන යන තැන ගෑනු ඉන්න කෙනෙක්. ඔයා එයාව ආශ්‍රය කළොත් සමාජ රෝගත් හැදෙයි‘ කියලා කිව්වා. 'බලු වැඩ කරන්න එපා යකෝ' කියලා මම ෆෝන් එක උදුරලා අරන් උදුල්ගේ කනට එකක් ගැහුවා. ඊට පස්සේ මම එතනින් ආවා. සිල්වෙස්තර් පිට්ටනිය මැදින් එද්දී උදුල් දුවගෙන ඇවිත් මගේ කම්මුලට ගැහුවා. මම වැලමිටෙන් මුහුණට ගැහුවම මිනිහා බිම වැටුණා. පස්සේ අතපය බැඳලා කටට රෙද්දක් හිර කරලා මම ආවා...“සැකකරු එසේ පොලිසියට පවසා තිබිණි.

උදුල්ගේ හක්ක ප්‍රදේශයට තදබල හානි සිදුව තිබූ අතර දත් පසුපසට තල්ලු වී තිබිණි. සැකකරු වැලමිටෙන් එල්ල කළ ප්‍රහාරය නිසා එසේ වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

රාත්‍රී 11 ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙන අතර සිද්ධියෙන් පසු සැකකරු කෙළින්ම ගොස් ඇත්තේ ඩී.එස්. සේනානායක වීදියටය. යාපනයේ සිට නුවරඑළිය බලා ගමන් කරන බස් රථයේ එල්ලී ඔහු කෙළින්ම ගොස් ඇත්තේ නුවරඑළියටය. බසයෙන් බැස ගත් විගස දුරකතනයේ සිම් කාඩ්පත් ගලවා ඉවත් කර නව දුරකතන අංකයක් ලබා ගන්නට ඔහු කටයුුතු කරන්නේ දුරකතනය ඔස්සේ පොලිසිය හඹා එනු ඇතැයි සිතාය. එදින සිට අත්අඩංගුවට පත් වන පසුගිය 26 වන දින දක්වා ඔහු සිම් කාඩ්පත් හයක් පාවිච්චි කර තිබෙන බව පොලිසිය පවසයි. ඝාතනය සිදු කරන අවස්ථාවේ සැකකරු පාවිච්චි කළ දුරකතන අංකයේ දත්ත වාර්තාවක් ලබාගත් පොලිසිය ඔහු වැඩියෙන්ම ඇමතුම් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් විමසිලිමත් වූයේය. එම අංකවලට ඔහු කුමන හෝ මොහොතක කතා කරනු ඇතැයි පොලිසිය දැන සිටියේය. සිම් කාඩ්පත් මාරු කළ සැකකරු ඔහුගේ හිතවතෙකුට කතා කළේ මේ අවස්ථාවේදීය. ඒ ඔස්සේ ඔහු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

සැකකරු නිතර මුහුණු පොතේ සැරිසැරූවෙකි. ඒ ඔස්සේ ඔහු කාන්තාවන් රැසක් සමඟ සම්බන්ධතා ගොඩනඟාගෙන තිබූ බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබිණි. 2020 වසරේදී මරදාන පොලිස් බල ප්‍රදේශයේදී සිදු කළ ඝාතනයක ද සැකකරු වන ඊට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ වසර 2 1/2 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇත්තේ ඇප ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙනි. බන්ධනාගාරය තුළදී හඳුනාගත් පුද්ගලයකු නිදහස්ව ගොස් පසුව මොහුට ඇප ලබා දී තිබෙන බව පොලිසිය පවසයි. මොහු තම මිතුරා ඝාතනය කර ඇත්තේ එම සිද්ධියට අදාළ නඩුව මෙම මස 22 වැනි දින කැඳවීමට නියමිතව තිබීයදීය.

‍ෙජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ඉලංගකෝන්ගේ අධීක්ෂණයෙන් මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩී.එම්.එල්.බී දිසානායක, උපපොලිස් පරීක්ෂකවරුන් වන අබේරත්න, වික්‍රමසිංහ, සැරයන්වරුන් වන 32874 ජයවර්ධන, 46971 අතුල, කොස්තාපල්වරුන් වන 60703 චානක, 78462 සනත් යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කළහ

ඡායාරූප-රුවන් මීගම්මන

 

Comments