ජීවිතයක් බිලි ගත් විහිළුවක් | Page 2 | සිළුමිණ

ජීවිතයක් බිලි ගත් විහිළුවක්

- නුගේගොඩ විජේරාම ගරාජ් සේවකයාගේ ඝාතනයට සැක විලී මාමා ඇතුළට
- මත්පැන් සාදය අතරතුරදී ධනුෂ්ක සහ විලී මාමා අතර ඇතිවූ ගැටුමෙන් පසු පළිගන්න කළ දෙයක්
- පහර දීමට යොදාගත් යකඩ බටයද සොයා ගනී

සරක් ගෙවී නව වසරක් උදාවීම කාගේත් සිත්වල අලුත් බලාපොරොත්තු මෝදු වන අවස්ථාවක් ලෙස සැලකීම සිරිතය. සියල්ල අලුත් කර ගනිමින් එදිනට සූදානම් වීම ලොකු කුඩා මෙන්ම දුප්පත් පොහොසත් කියා බේදයකින් තොරවම කවුරුත් සිදු කරන ක්‍රියාවකි. 

මෙවැනි වැදගත් දිනයක් ඇතැම් පුරුෂ පක්ෂය සමරන්නේ මත්පැන් සාදයකට මුල් තැන ලබා දෙමින් වීම විශේෂිතය. එහෙත් 'පදම ඉක්මවන' සාදවල අවසන් ප්‍රතිඵලය බොහෝ දුර්විපාක ගෙන දෙන සිදුවීම්වලින් පිරිපූර්ණ වීම ස්වභාවිකය. එවැනි අවස්ථාවල වචනයෙන් දෙකෙන් ආරම්භ වන 'වාග් සංග්‍රාම' කඩු පොලු කිණිසි හරඹ දක්වා දිග්ගැස්සෙන්නේ පොලිස් පොතට අලුත් කතා මාලාවන් ද එකතු කරමිනි. මෙයද එවන් ශෝචනීය අයුරින් නිමාව දුටු සාදයක් වීම අවාසනාවකි.

"අනේ මහත්තයා අර ධනුෂ්කට කවුරුහරි ගහල ඇඳ ළඟ මැරිල වැටිල ඉන්නවා..."

නුගේගොඩ, විජේරාම 08 කණුව ප්‍රදේශයේ පිහිටි ගරාජයට එහි හිමිකරු උදෑසනින් පැමිණි විට සේවකයෙකු වන විලී මාමා පැවසුවේ ධනුෂ්කට සිදු වූ විපත අදහා ගැනීමට නොහැකි ලෙසය. එක කාමරයේ එකට සිටින දෙදෙනෙකු වන මොවුන්ගෙන් එක් අයෙකුට මෙවැන්නක් සිදු වීම අනෙකාට කෙසේවත් ඉවසා සිටීම අපහසු බව නොරහසකි.

හැටපස් හැවිරිදි විලී මාමා අදාළ ගරාජයේ රැකියාවට පැමිණ ඇත්තේ මීට වසර තුනකට පමණ පෙරය. දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහුට ගරාජයේම කාමරයක් නවාතැන ලෙස ලබා දීමට හිමිකරු කටයුතු කළේ ඔහුගේ පහසුව ගැන සලකමිනි. ධනුෂ්ක එහි පැමිණියේ මීට වසරකට පමණ පෙරය. ඔහුටද විලී මාමාගේ කාමරයේම ඉඩක් ලැබුණේ ඒ අයුරිනි.

විසිතුන් හැවිරිදි කොණ්ඩදෙණිය පටබැඳිගේ සුරේෂ් ධනුෂ්ක දුෂ්කර ගම්මානයක් වන ගිරිබාව, සෝලෙ වැව, යාය 06, නො 206 පදිංචි අවිවාහක තරුණයෙකි. ඔහුට සිටින්නේ එක් වැඩිමහල් සහෝදරයෙකු පමණකි.

ධනුෂ්කගේ මව සහ පියා පුතුන් දෙදෙනා උස් මහත් කළේ ගොවිතැන් කටයුතු සිදු කරමින් සුළු මුදලක් උපයමිනි. ඒ නිසා ධනුෂ්කගේ කොළඹ සම්ප්‍රාප්තිය ඔවුන්ට මහමෙරක් තරමට වටිනා එකක් වීම අතිශෝක්තියක් නොවන්නේය.

මේ ගරාජයේ නැවතී රැකියාව කළේ ධනුෂ්ක සහ විලී මාමා පමණක් නොවේ. මනි මාමා ද නවාතැන් ගත්තේ එහිමය. ඔහුගේ කාමරය පිහිටා තිබුණේ උඩු මහලේය. ගරාජයේ තවත් සේවකයින් හය දෙනෙකු පමණ රැකියාව කළත් ඔවුන් උදේ හවස තම නිවෙස්වලට යන එන බැවින් රාත්‍රී කාලයට එහි ඉතිරි වන්නේ මේ තිදෙනා පමණය.

නව වසරේ උදාව කාගේත් සිත් සතුටින් පිරි ඉතිරී ගිය දිනයක් වූ බැවින් ගරාජයේ හිමිකරු කටයුතු කළේ සේවකයින්ට සාදයකින් සංග්‍රහ කිරීමටය. ඒ සඳහා වෙන් කෙරුණේ අලුත් අවුරුද්ද උදා වූ පසුගිය 01 වැනිදාය. කෑම බීම මෙන්ම මත්පැන්වලින්ද සාදය අඩුපාඩුවක් නොමැති වී ගියේ කාගේත් රස නහර පිනා යන පරිදි ය. ඒ සමඟම විහිළු තහළුවලින් සහ හිනාවෙන් ගරාජය තුළම පැවති සාදය තව තවත් හැඩවැඩ වී ගියේ කිසිවකුට නොදැනීමය.

මේ අතර කටකාර දඟකාර කෙළිලොල් තරුණයෙකු වු ධනුෂ්කගේ විහිළු කතා එල්ල වී තිබුණේ විලී මාමා වෙතටය. වියපත් පුද්ගලයෙකු වූ විලී මාමාට ගැටයාගේ කතා හිතට ඇල්ලුවේ නැත. විහිළුවට විහිළුවෙන් උත්තර දෙනවා වෙනුවට ඔහු කළේ කොල්ලාට බැණ වැදීමය.

"වහගනිං උඹේ හැකර කට" ඔහු ධනුෂ්කට බැණ වැදුණේ ඒ නිසාය.

මෙම වාග් ප්‍රහාර ටික ටික දුරදිග ගියේ කොල්ලාගේ ශක්තිමත් අතැඟිලි විලී මාමාගේ මුව හරහා පියඹා යෑමත් සමඟින්ය. හැට පැන්නත් මෙතෙක් ආරක්ෂිතව තිබූ දතක් අහිමි වී ඇති බව විලී මාමාට දැනුණේ තොල පුපුරා ලේ රස කටට දැනෙන විටය. දෙදෙනා දෙපසට කර ප්‍රහාර වළකා දැමීමට මනි මාමා කටයුතු කළත් එය සම්පූර්ණයෙන් නතර වුයේ නැත. රාත්‍රී හතහමාරට පමණ ගරාජ් හිමිකරු පැමිණ විරසකව සිටි විලී මාමාත් ධනුෂ්කත් සමාදාන කළේ දෙදෙනාටම තරයේ අවවාද කරමිනි.

"මූ මේ කරපු බලු වැඩේ මටනං අමතක වෙන්නෙ නෑ කීයටවත්ම. තාත්තා කෙනෙක් වගේ ඉන්න මටනේ අත ඉස්සුවෙ." මනි මාමා සමඟ එසේ පැවසූ විලී මාමා නින්දට ගියේ වෛරය හිතේ තද කරගෙන විය යුතුය. තවත් හෝරා කීපයක් මනි මාමා සමඟ ගත කළ ධනුෂ්ක රාත්‍රි 11.00ට පමණ නිදා ගන්නා විට විලී මාමා සිටියේ තද නින්දේ ගොරවමිනි.

උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ගරාජයේ හිමිකරු ධනුෂ්ක මියගොස් ඇති පුවත මිරිහාන මූලස්ථාන පොලිසියට දැනුම් දෙන අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. තුෂාර ඇතුළු නිලධාරින් විමර්ශන ආරම්භ කරන්නේ නුගේගොඩ කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී බී. ජී. එන්. ජයමහ, නුගේගොඩ කොට්ඨාස 1 භාර නිලධාරී කුමාර රූපසිංහගේ උපදෙස් හා මඟපෙන්වීම අනුවය.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමඟ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න, උපපොලිස් පරීක්ෂක කුලරත්න බණ්ඩාර, කොස්තාපල්වරුන් වන 19363 සේනානායක, 92904 උදයංග, 95267 අජිත්, 103247 සචින්, 103675 ඒකනායක, ජයවර්ධන කාන්තා කොස්තාපල් 11854 හර්ෂනි, පොලිස් රියැදුරු 100988 පැතුම්, යන නිලධාරීන් විමර්ශන ආරම්භ කළේ අපරාධ ස්ථානයක් ලෙස එම ගරාජයේ කෙළවර මුල්ලේ ඇති මෙම කුඩා කාමරය කිසිවෙකුටත් ඇතුළු වීමට ඇති ඉඩ වළකා එය ආවරණය කරමිනි.

ධනුෂ්කගේ මළ සිරුර තිබුණේ ඇඳ පාමුල බිමය. ඔහුගේ හිස ප්‍රදේශයෙන් විශාල ලෙස රුධිරය ගලා ගොස් තිබුණේ තුවාල සිදුව ඇත්තේ ධනුෂ්කගේ හිසට වන බැවිනි.

ගරාජයේ සේවකයන්ගෙන් සහ හිමිකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරුණේ මේ ඝාතනය සිදු වී ඇති ආකාරය මෙන්ම එහි සුලමුල අනාවරණය කර ගැනීම සඳහාය. ධනුෂ්ක සමඟ එක කාමරයේ නිදා ගන්නේ විලී මාමා වන බැවින් ඔහුට නොදැනෙන ලෙස යම් අනතුරක් පිටස්තර කෙනෙකුට පැමිණ සිදු කිරීමට අසීරුය. එසේනම් ඔහු මේ ගැන යමක් දැනගෙන සිටිය යුතුය. නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටීම පොලිස් නිලධාරින්ට ඇති කරන ලද්දේ ගැටලු සහගත තත්ත්වයකි.

එහෙත් ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහුගේ යම් වෙනසක් ඇති බව පොලිස් පරීක්ෂක අමිල ගෝවින්නට පෙනී ගියේ එකවරමය. පිළිතුරු දීමේදී විලී මාමාගේ වචන පැටළෙන ස්වභාවයක්ද තමන් දෙස එක එල්ලේ බැලීමට අපහසු බවක්ද විලී කෙරෙන් දිස් වූයේ පොලිස් පරීක්ෂක අමිලගේ සැකය තවදුරටත් තීව්‍ර කරමිනි. 

"මං නිදා ගත්තෙ සර් අන්න අර කැඩිච්ච කාර් එක ඇතුළේ. මං ඔය ගැන මොකුත් දන්නෙ නෑ."

විලී මාමා එලෙස පැවසුවද පොලිස් පරීක්ෂක අමිලගෙන් ගැලවීම පහසු නොවිය. ඒ දක්ෂ විමර්ශකයෙකුගේ හැටිය. සැකය පසුපස හඹා යාම සූක්ෂ්ම අයුරින් සිදු කිරීම මෙන්ම නිවැරැදි ඉලක්කය කරා ලුහුබැඳ යාමද පොලිස් පරීක්ෂක අමිල ගෝවින්නට අලුත් අත්දැකීමක් නොවන්නේ මෙතෙක් කලක් අපරාධකරුවන් කොටු කර ගැනීම සඳහා ලබා ඇති පන්නරය සුළු පටු නොවන බැවිනි. මේ නිසා අවසානයේ විලී මාමාට සිදු වූයේ අකුරක් නෑර ඇත්ත පැවසීමටය.

"මට පාන්දර කිට්ටුව ඇහැරුණා. එතකොට කොල්ලා නිදි. මට ඌව දකිනකොට දවල් මට ගහපු පාර මතක් වුණා. මම ගැරේජ් එක ඇතුළට ගිහින් ටයර් ලෙවල් කරන බටයක් ගෙනල්ල ඌට පතබෑවා. ඒ වුණාට මරන්න හිතාගෙන නං නෙමෙයි. කළුවරේ දැක්කෙ නෑ කොහාට වැදුණද කියල. පස්සෙ මං ගිහින් හදන්න ගෙනත් දාල තිබුණ කාර් එක ඇතුළට වෙලා නිදා ගත්තා."

පහර දීමට යොදාගත් යකඩ බටය ගරාජය අසල ඇති කෙසෙල් කොටුවට විසි කර දමා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.

Comments