ඔය කියන නොඉඳුල්භාවයක් ජවිපෙට නෑ | Page 2 | සිළුමිණ

ඔය කියන නොඉඳුල්භාවයක් ජවිපෙට නෑ

- රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට වෙනස් කිරීමට ඵලදායි යෝජනා ගෙනැවිත් තිබෙනවා
- ජවිපෙට තිරසාර ප්‍රතිපත්තියක් තියෙනවා කියනවා නම් ඒක අමූලික බොරුවක්
- වෙනස් පක්ෂයක් හැටියට 2006 න් පසුව ජවිපෙ අහෝසි වුණා
- සෙනඟ ජවිපෙ අයගේ කතා නැරඹුවාට ඡන්දය දෙන්නෙ නෑ
- රටක් ගොඩගන්න තරම් ජවිපෙට සබඳතා නෑ

වසර 1989 පසුව ජනතා විමුක්ති පෙරමුණ කඩා වැටීමෙන් පසුව නැවත ගොඩනැඟීමේ විශාල මෙහෙවරක් කළ ඔබ පසුකාලීනව 1994 වර්ෂයේදී ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. ඉන් අනතුරුව ඔබ එයින් ඉවත් වෙනවා එයට හේතුව?

එදා ජවිපෙ 2005 වසරේදී ඒ සන්ධාන ආණ්ඩුව පිහිටුවීමට හේතුව සඳහන් කළහොත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සමඟ අපි එකඟතාවකට ආවා. ඒ වනවිට රටේ තිබුණ බරපතළම ප්‍රශ්නය එල්ටීටීඊ යුද්ධය අවසන් කිරීමයි. එල්ටීටීඊය පරාජයට පත් කළ යුතුයි කියන තැන එදා ජවිපෙ හිටියා. එය පරාජය කිරීමේ අරමුණ ඇතිව සන්ධානගත වුණා. ඉන්පසුව ජවිපෙ ඒ ආණ්ඩුවෙන් ඉවත් වුණත් ආණ්ඩුව ආරක්ෂා කරන තැනක අපි හිටියා. ඉන්පසුව මහින්ද රාජපක්ෂව අපි තෝරාගෙන ඊළඟ ජනාධිපතිවරයා කළ යුතුයි යන තැනක අපි හිටියා. ඉන් අනතුරුව එතුමා ජයග්‍රහණය කරවලා එතැනදීත් උපරිම සහයෝගය දුන්නා. ජවිපෙ, මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවලා ඊට පස්සෙ මහින්ද රාජපක්ෂව අතහැරියා. එතැනදි මම එයට එරෙහිව පක්ෂයෙන් ඉවත් වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අපි ඒ අවස්ථාවේ දිනෙව්වා. එල්ටීටියට විරුද්ධව යුද්ධය දිගටම කරගෙන යෑමට සහයෝගය දීමටයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ව දිනවන්න සහය දුන්නේ. ඒ අවස්ථාවේදී අත්හරින එක වැරදියි. ඒ ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යන්න අවශ්‍යයයි. ඔහු අතහරින එක වැරදියි කියන තැන මම හිටියා. අපි මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවලා එතුමාගේ යුද ජයග්‍රහණයට සහය දිය යුතුයි කියන තැන මම හිටියා. මධ්‍යම කාරක සභාවේ බහුතරය එය පිළිගත්තේ නැහැ. එයට විරුද්ධව ඒ අවස්ථාවේ මම පක්ෂයෙන් ඉවත් වුණා.

ඔබ සඳහන් කරන ආකාරයට ප්‍රධාන ධාරාවේ පක්ෂ අභ්‍යන්තරයේ මතගැටුම් පවතින බවට ජවිපෙ චෝදනා කළත් මතවාදී අරගල ජවිපෙ අභ්‍යන්තරයෙත් නිරන්තරයේ පවතිනවා නේද? ඔබ විමල් වීරවංශ සහ කුමාර් ගුණරත්නම් වැනි පිරිස් ඉවත්ව යන්නේ ඒ අනුව නේද?

ඇත්තටම ජවිපෙ කියන්නේ ප්‍රජතන්ත්‍රවාදී මධ්‍යගතවාදය කියන මූලධර්මය මත සිටින පක්ෂයක්. ඒකේ ඇතුළෙත් ඉන්නේ සාමාන්‍ය රටවැසියොනේ. මතවාදීමය ගැටුම් තියෙන්න පුළුවන්. ඒ අය අතර වෙනස් ප්‍රතිවිරෝධි අදහස් උදහස් තියෙන්න පුළුවන්. ජවිපෙ ආරම්භයේ සිටම විවිධ මත ගැටුම්වල හිටියා. ඒ අයගේ මතවාද සහ මත ගැටුම් ඉදිරිපත් වුණා. අනෙක් පක්ෂවලට වගේම ජවිපෙටත් ඒ මතවාද පොදුයි. මේ ගැටුම් ඇතිවූ අවස්ථාවකදි තමයි මමත් ඉවත් වුණේ. සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, ගොඩහේවගේ කුලරත්න ඇතුළු හයදෙනෙක් මා සමඟ එකවර ඉවත් වුණා. දේශපාලන මණ්ඩලයේ සමාජිකයන් 11න් 6 දෙනෙක් හිටියේ එකම මතයකයි. මහින්ද රාජපක්ෂ මහතාව දිනෙව්වා නම්; ආණ්ඩුවත් සමඟ එකතු වෙලා එල්ටීටීය පරාජය කිරීමේ ක්‍රියාදාමයයේදි ආණ්ඩුව සමඟ එකට හිටිය යුතුයි කියන තැන මේ හය දෙනාම එකම විදියටයි හිටියේ. එයට විරුද්ධව සිටියා 18 දෙනෙක්. එක් අයෙක් ස්වාධීනව හිටියා. මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලය ඇතුළේ දිගටම මතවාදී ගැටුමක් තිබුණා. ඉන්පසු ගැටුම පුපුරා යෑමක් සිදු වෙනවා. විමල් වීරවංශ ඇතුළු පිරිසක් ඉවත් වෙනවා. මතවාද ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කුමාර් ගුණරත්නම් එළියට ඇවිත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි කරනවා. මමත්, විමල් වීරවංශත් අනතුරුව ජාතික නිදහස් පෙරමුණ පිහිටෙව්වා. ඒ පක්ෂයේ ලේකම් මම.

ප්‍රධාන ධාරාවේ පක්ෂවලට තිර සාර ජාතික ප්‍රතිපත්තියක් නැහැ කියලා ජවිපෙට චෝදනවක් තියෙනවා. ජවිපෙට එවැනි ස්ථාවර ප්‍රතිපත්තියක් තියනවා කියලා ඔබ හිතනවද‍?

සමාජවාදී කඳවුරු ලෝකයේ පැවැති කාලවකවානුවේ අපේ රටේ සමාජවාදය ගොඩනඟන්න අවශ්‍යයයි කියන කරුණ මතයි ජවිපෙ ගොඩනැඟෙන්නේ. මේ පක්ෂය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහිදී ජවිපෙ උපාය මාර්ගික ප්‍රතිපත්තිය වුණේ ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදයට යා යුතුයි යන කරුණයි. ජාතික විමුක්ති අරගලය බටහිර අධිරාජ්‍යවාදීන් විසින් තව දුරටත් නතු කරගෙන ඉන්නවා. මෙවැනි රටවල්වලට නිදහස ලැබී නැහැ කියන මතයේ ජවිපේ හිටියේ. ඒ අධිරාජ්‍යවාදින්ගෙන් ගැලවෙන්න නම් එයට විරුද්ධව සටනක් දියත් කළ යුතුයි. ඒ වගේම ඒ සටන හරහා සමාජවාදය ගොඩනඟන්න හැකියි කියන මතයේ ජවිපෙ හිටියා. ඒ සටන අනුව ධනපති පන්තියත් සමඟ හවුල් වෙන්නෙ නැහැ කියන මතයක ජවිපෙ හිටියා. එම පක්ෂයේ මූලික අදහස එයයි. නමුත් 1994 චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියත් සමඟ මතවාදයකට එළැඹීම සහ ආණ්ඩුවක් පිහිටුවීමට සහය දුන්නා. ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න වුණා. පක්ෂයක වුවත් ප්‍රතිපත්ති කාලයෙන් කාලයට යාවත්කාලීන කළ යුතුයි. ලෝකය සහ රට වෙනස් වන විට ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග වෙනස් විය යුතුයි. ජවිපෙට තිරසර ප්‍රතිපත්තියක තියෙනවා කියනවා නම් එය බොරුවක්.

අධිරාජ්‍යවාදි රටවල් නව ලිබරල්වාදී මතවාදයක් ගොඩනඟා තියෙනවා. සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනැඟීම අද වන විට සිහිනයක් බවට පත්වෙලා තියනවා කියල ද ඔබ කියන්නේ?

සමාජයේ ව්‍යුහය සම්පූර්යෙන්ම වෙනස් වෙලා. මිනිසුන් හිතන පතන විදිහ පවා වෙනස් වෙලා තියෙන්නේ. ද්‍රව්‍යමය දේවල් තාක්ෂණික දේවල් වෙනස් වෙලා. සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් එදිනෙදා පරිහරණය කරන දේවල් වෙනස් වෙලා. මිනිසුන්ගේ චින්තනය වෙනස් වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජවාදය ගොඩනැඟීමේ බලවේගය ලෙස කටයුතු කළ නිර්ධන පාන්තික කම්කරු පන්තියක් අද ලෝකයේ නැහැ. දුෂ්කර මට්ටමේ මිනිසුන් ඉන්නවා. එහෙත් සමස්ත ලෙස ගත්විට ටයි කෝට් දාගෙන ඉන්න ශ්‍රම වහල්ලු වැනි ශ්‍රමිකයන්ට කම්කරු පන්ති විඥානයක් නැහැ. ඒ අය සමස්තයක් ලෙස ගත් විට ඉහළ මධ්‍යම පන්තික ඉහළ ආදායම් ලබන පිරිසක්. මේ රටේ පසුගිය කාලයේ අරගලය කියලා පාරට බැස්සේ මධ්‍යම පාන්තික මිනිසුන්. ඒ අයයි මේ අරගලය දිගටම අරගෙන ගියේ. ඒ අයට තිබුණ ප්‍රශ්නය අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීමයි. ඒවා ලැබුණාම ඒ අරගල හැකිළුණා. විශේෂයෙන් දීර්ඝකාලීන සමාජ පරිවර්තනයක් කරන්න අරගලයක් කරන්න සූදානම් මිනිසුන් අද ලෝකයේ නැති නිසා, අද ලෝකයේ සමාජවාදය අවලංගු වෙලා තියෙනවා.

ඒත් ජවිපෙ ඇතුළු වාමවාදී දේශපාලන මතවාදයක් දරන ඇතැම් දේශපාලන බල කඳවුරුවල මතයක් තියෙනවා අරගලයකින් තමයි මේ රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් කියලා. එය ලෝක දේශපාලනය තුළ යථාර්ථයක් බවට පත්වෙලා තියනවාද‍?

අරගලවලින් බලය වෙනස් කරන්න පුළුවන් වුණ අවස්ථා මෑතකාලීනවත් තිබුණා. නමුත් සමාජවාදය බිහි කරන්න බැහැ. පසුගිය කාලයේ අපි දැක්කා මේ අරගලවලට නායකත්වයක් නැහැ; මතවාදයක් තිබුණේ නැහැ. එය අසංවිධිත අරගලයක්. ඒ අයගේ බලාපොරොත්තුව වුණේ මේ ක්‍රමවේදය වෙනස් කිරීම පමණයි. එවැනි අතරමැදි අරගල ඕනෑම කාලයක පැන නඟින්න පුළුවන්. ඒ අයගේ බලාපොරොත්තු යම් පමණකට ඉටු වෙලා තියෙන නිසා දැන් මිනිසුන් සන්සුන් වෙලා තියෙන්නේ. නැවත එවැනි තත්ත්වයකට රට වැටුණොත් අසංවිධිත අරගල හෝ සංවිධිත අරගලයක් ඇති විය හැකියි.

පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය හිමි කර ගැනීම ජාතික තලයේ දේශපාලන වෙනසකට ආරම්භක රතු එළියක් බව ජවිපෙ ඉඟි පළ කරනවා නේද? පළාත් පාලන මැතිවරණය ජාතික තලයේ බලය සම්බන්ධ යම් පිළිබිඹුවක්ද ?

ඒ විදිහට කියන අයට ඉතිහාසයෙන් යම් උදාහරණ අරගෙන තර්ක කරන්න පුළුවන්. මැතිවරණ සමස්ත ප්‍රතිඵලයක් අරගෙන වැඩියෙන් ඡන්දය ගත්ත පක්ෂයකට තර්කයක් ගේන්න පුළුවන්. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ තවත් මැතිවරණයකට වසර දෙකක් ගත වෙනවා. ඒ කාලයේ රටේ දේශපාලනිකව පෙරළියක් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඡන්ද ජයග්‍රහණය අනුව ඊළඟ ඡන්දය ජයග්‍රහණය විය හැකියි කියන කරුණ තීරණය කරන්න බැහැ. ඇතැම් දේශපාලන පක්ෂවලට සෑම මැතිවරණයක් ම ජාතික තලයේ තීරණ ගන්න මැතිවරණයක් බවට පත් කර ගැනීමට වුවමනාවක් තිබිය හැකියි. ඒ වුවමනාවයි මේ හැකියාවයි දෙකක්. මේ තියෙන නීතිරීති අනුව ජනාධිපති මැතිවරණයකදී, මහ මැතිවරණයකදී පළාත් සභා සහ පළාත් පාලන ආයතන පත් කර ගැනීම සිදු වෙනවා. ඒ අනුව ඒ මැතිවරණවලට නීතියෙන් තීන්දු වෙලා තියෙනවා; එක් එක් අයගේ බල අධිකාරය කුමක්ද කියලා? ඒ අනුව පළාත් පාලන බල අධිකාරිය තියෙන්නේ ඒ පළාත් ප්‍රදේශ සීමාවේ පමණයි.

නගර සභා බල සේවා ඇතුළේ සියලු මහජන සේවා සැපයීමට තමයි නගර සභාවල වගකීම තියෙන්නේ. ඡන්දයෙන් සියලු පළාත් පාලන ආයතනයවල කාට හරි වැඩිපුර බලයක් අත් පත් කරගන්න පුළුවන් වුණා කියලා රටේ බලය වෙනස් කරන්න බැහැ. පළාත් පාලන ආයතනවලට වඩා සුදුසු මිනිසුන් තෝරා යවා තමන්ට වඩා සුදුසු අය පත් කිරිමයි මේ මැතිවරණයෙන් සිදු වන්නේ. බහුතර ඡන්දදායකයන් හිතන්නේ වඩා යහපත් සේවාවක් සැපැයිය හැකි අය තෝරා ගැනීමටයි. සමහර දේශපාලන පක්ෂවල නායකයන්ගේ ඔළුව ඇතුළේ විතරයි මේ සිහිනය තියෙන්නේ. මෙය ජාතික තලයේ නියෝජනයක් ලැබෙන මැතිවරණයක් ලෙස දකින්න සමහර අය කැමැතියි. දැන් තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිල්ලා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න පුළුවන්. මැතිවරණයකට තව වසර දෙකක් තියෙනවා මිනිසුන් හිතන විදිහ වෙනස් වෙනවා. රට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන්.

පළාත් පාලන මැතිවරණය රටේ දේශපාලනික බලය වෙනස් කිරීමට තින්දුවක් ලැබෙන මැතිවරණයක් නොවෙයි කියලද ඔබ කියන්නේ?

ඊළඟ මැතිවරණයකදී රටේ ගනු ලබන දේශපාලනික තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනතාවගේ මතවාද වෙනස් විය හැකියි. ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙළ අනුව රට වෙනස් විය හැකියි. ඉන්දියාව ජපානය වැනි රටවල් එකඟ වෙලා තියෙනවා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට හැකි වෙයි. රටේ පසුගිය කාලයේ සිදු වූ වෙනස්කම් අනුව සියලු දෙනාම පාඩම් ඉගෙන ගත්තා. අරගල හරහා සියලු දෙනා වෙනස් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට වෙනස් කිරීම සඳහා ඵලදායි යෝජනා රැසක් ක්‍රියාත්මක කර තියෙනවා. රටේ ඇතිවන තත්ත්වය අනුව නායකත්වය වෙනස් විය හැකියි. සමාජයට වඩා යහපතක් එමඟින් සිදු වෙයි. මේ පෙරළියෙන් පසු නායකයන් වෙනස් වෙලා තියෙනවා කියලා අපිට පේනවා.

උනුත් එකයි මුනුත් එකයි කියලා ජවිපෙ තර්කයක් තියෙනවා. එසේ කියන ජවිපෙ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ කාලයේ ආණ්ඩුව සමඟ එකතු වෙනවා නේද?

එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් සමඟ එකතු වෙලා සන්ධාන ආණඩුවක් හදන්න ජවිපෙ කටයුතු කළේ, රටේ තිබුණ ප්‍රධාන ගැටලුව වන එල්ටිටිඊ සංවිධානය සමඟ පැවැති යුද්ධය අවසන් කර ගැනීම සඳහා සහය පළ කිරීමක් ලෙසයි. ඒ සටන ගෙන ගියේ සහ එයට එදා එකඟ නොවුණේ නම් ඒ ආණ්ඩුවට යුද්ධය තනිවම කරන්න පුළුවන් කමක් නැහැ කියන පදනමින්. එදා ජවිපේ මූලික තැන අරගෙන ක්‍රියා කළා. එසේම ජවිපෙ මූලික අරමුණ වුණේ ජාතික විමුක්ති අරගලය හරහා සමාජවාදය බිහි කිරීමයි. අධිරාජ්‍යවාදී බලවේග විසින් මෙරට මැදිහත් කරලා තිබුණ ඍජු නියෝජිතයා වුණේ එල්ටිටිඊයයි. එදා ජවිපෙ සන්ධානගත වීම සිදුවන්නේ එවැනි මතවාදයක් අනුවයි. එදා සන්ධානගත වන්නේ රට ණය බරින් මිරිකන ලද ධනපති පන්තියත් සමඟයි. එදා මොන කරුණක් නිසා හෝ ධනපති පන්තියත් සමඟ එකඟතාවට එළඹෙනවා. එදා හවුල් වුණාට පස්සේ මේ පක්ෂය නොඉඳුල් නැහැ. මම විග්‍රහ කරන්නේ ජවිපෙ මේ රට විනාශ කළා කියන අය සමඟ හවුල් වෙලා තියෙනවා කියන කරුණ සනාථ කිරීමටයි.

ජවිපෙට ඉතාම පිරිසිදු තත්ත්වයක් තියෙනවා කියන්න බැහැ. ජවිපෙට එදා තිබුණ තත්ත්වයට එකඟ වෙන්න වුණා. ප්‍රායෝගිකව පක්ෂය සමඟ සන්ධාන ගතවෙන්න නම් එදා ඒ දේවල් කරන්න වුණා. ඒ නිසා ඔය කියන නොඉඳුල් භාවයක් ජවිපෙ නැහැ.

මේ අය චන්ද්‍රිකා මැතිනියගෙන් පසුව මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපතිවරයා කරන්න සහාය දුන්නා. සුනාමි මුදල් වංචාවක් ගැන ජවිපෙ චෝදනා කරමින් සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න සහය දුන්නේ නැද්ද? බුරුතු පිටින් ත්‍රිකුණාමලයේදි ජවිපෙ සාමාජිකයන් ඝාතනය කළා කියලා සරත් ෆොන්සේකාට චෝදනා කරමින් සිටින අතර, ඒ අයට ජනාධිපති මැතිවරණයේදි සහය දුන්නේ නැද්ද? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දුෂණවලට වග කියන්න අවශ්‍යයි කියලා මෛත්‍රී මහත්තයා ජයග්‍රහණය කරන්න ජවිපෙ කටයුතු කළේ නැද්ද? කොහෙද සුජාත භාවයක් තියෙන්නේ. ඒ කියන නොඉඳුල්කමක් ජවිපෙට නැහැ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාමයේ ප්‍රාදේශීය සභාව ජවිපෙ එක්වරක් හිමි කරගත්තා. නමුත් එහි සාර්ථකත්වයක් ජවිපෙට අත් පත් කර ගැනීමට නොහැකි වුණා කියලා ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා?

සමහර වෙනස් කම් කිරීමට 2006 එහා ජවිපෙ සමත් වුණා. 2006 පසුව එදා තිබුණ ජවිපෙ රූපාවතරණය වෙනවා; වෙනස් වෙනවා. ඉන්පසු ජවිපෙ අහෝසි වෙනවා වෙනස් පක්ෂයක් ලෙසට. 2006 පෙර පක්ෂයේ තිබුණා විනයක් සමඟ යම් ශික්ෂණයක්. එම ප්‍රාදේශීය සභාවේ කටයුතු කරමින් ගියා.

ඒ මත පමණක් පක්ෂ දේශපාලනය තීන්දු වෙන්නේ නැහැ කියන කරුණට හොඳම උදාහරණය තමයි ඊළඟ ඡන්දෙදි තිස්සමහරාමයෙන් ජවිපෙ පරාජය වීම. ඉන්පසු ජනතාව අපේක්ෂා කළ සමහර දේවල් ඉෂ්ට වුණේ නැහැ. ඒ අයට හුදෙකලාව මෙය කරන්න බැහැ. රටේ දේශපාලන පරිවර්තනයක් සිදු කරන්න බැහැ. තනි ප්‍රාදේශීය සභාවක වෙනස්කම් කළා කියලා එය රටේම දේශපාලන තීන්දුවක් වෙන්නේ නැහැ. 

ජවිපෙ මැතිවරණ රැලිවලදි සහ සමාජ ජාල වෙබ් අඩවි වලදී ආකර්ෂණීය ලෙස පෙනුනට, ඡන්දයේදී ජනතාව විශාල දේශපාලන බලයක් ලබා නොදීමට හේතුව ලෙස ඔබ දකින හේතුව කුමක්ද?

රෝහණ විජේවීර සහෝදරයාගෙ රැස්වීම්වලට ජනතාව ආවට ඡන්දය අවස්ථාවේදී සමහර අය හිතුවා මහජන රැල්ලත් සමඟ එදා විජේවීර සහෝදරයා දිනයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. විශේෂ දේවල් සාකච්ඡා කරන තැනක් කියලා ජනතාව බලන්න ගියාට ඒ සෙනඟ ඒ අයගේ කතා නරඹනවා මිසක ඡන්දය දෙන්නේ නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් තමයි ජවිපෙ ජයග්‍රහණය හිමි කරගත්තේ. ඒ මැතිවරණය හැර වෙනත් කිසිදු මැතිවරණයකදි එවැනි ඡන්ද හිමි කරගෙන නැහැ. බලන්න, නරඹන්න ගියාට ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ජනතාව ඡන්දය දෙන්නේ තමන් අගය කරන පක්ෂයටයි.

රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමට සහ ඩොලර් මෙරටට එවීමට පිරිස ඉන්නවා කියලා ජවිපෙ කියනවා. එහෙත් ඒ කෙසේද කියලා පැහැදිලි කිරිමක් කර නැහැ නේද?

ජවිපේ හොඳම කාලය එජනිස සමඟ සන්ධාන ඇති කරපු කාලයේ. විදෙස් සංවිධාන සහය ජවිපෙට තිබුණා. ජවිපෙ පිරිස් මරලා තර්ජනය කරලා ජවිපෙ කුඩු කරලා දාපු කාලයේ සාමාජිකයෝ විදේශගත වුණා. ඒ රටවල සිටින අපේ රටේ මිනිසුන්ගේ සංවිධාන නැවත ප්‍රකෘතිමත් කරලා සංවිධාන ගත කර ගත්තා.

ඒ අයගේ ආධාර ඒ කාලේ ලැබුණා. එය දිගටම ජවිපෙට තිබුණා.

ඒත් රටක් ගොඩනැඟීමට තරම් සම්බන්ධතා ඒ අයට නැහැ. යම් පිරිසක් අරමුදලක් ලබා දුන්නත් ඒ මඟින් ජවිපෙ ට අනුගත වෙලා සිටින ගණන දසලක්ෂ ගණන්වලින් නැහැ. ඒ අයට හැකියාවක් නැහැ, රට ගොඩ නඟන්න ඩොලර් එවන්න. ජවිපෙට මේ මෙහෙයුම කරන්න බැහැ.

විදෙස් රටවල ඉන්න ඒ අයගෙ සුළුතරය සමඟ මේ මෙහෙයුම කොහොමද කරන්නේ? සාතිශය බහුතරක් පිටරටවල ඉන්නේ ජවිපෙ අනුගාමිකයන් නොවන අයයි. ඕනෑම පක්ෂයකට එසේ සබඳතා තිබුණත් ජවිපෙට විශාල ලෙස එවැනි පිරිස් බලයක් නැහැ.

Comments