
මහජනයා විසින් සිවිල් පාලනය අතට ගැනීම ඉතාම පරිහානිගත ක්‍රියාවකි. මේ පරිහානිය මෑතකාලීනව මෙරටට බෝ කරන ලද්දේ ‘අරගලය’ නමැති සමාජ සාධකය විසිනි. අරගලය යන නම පොදු නමක් වුව ද මේ මොහොතේදී ‘අරගලය’ කී කල්හි සියලු දෙනාම මතක් කරගන්නේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළීම සඳහා ගෝල්ෆේස් පිට්ටනියේ පැවති අරගලයයි.
මේ රටේ මිනිස්සු කවර වෙළඳ ලකුණ යටතේ එන රබර් සෙරෙප්පුවක් කුට්ටමක් වුව හඳුන්වන්නේ බාටා සෙරෙප්පු ලෙසය. ශ්‍රී ලංකාවේ පළමුවන ජංගම දුරකථන ජාලයේ නම සෙල්ටෙල්ය. පසුකාලයේදී මේ රටට වෙනත් වෙළඳ ලකුණු දරන සෙලියුලර් දුරකතන පැමිණිය ද මිනිසුන් විසින් ඒ සියල්ලම හඳුන්වන ලද්දේ සෙල්ටෙල් ලෙසය. 1918 කැරැල්ල අරගලයකි. 1971 ජේ. වී. පී. කැරැල්ලද අරගලයකි. 1988, 89 භීෂණය ද අරගලයකි. එහෙත් අද වන විට මිනිසුන් දන්නා එකම අරගලය වූ කලී ගිය අවුරුද්දේ පැවති ආණ්ඩු විරෝධී අරගලයය.
මෙය භාෂාවේ ස්වරූපය පිළිබඳ විශේෂ අවස්ථාවක් ලෙස ගත හැකිය. හරියාකාරව මිනී වළලන්නට තැනක් නැති බව දුටු කොළඹ සුදු පාලකයෝ බොරැල්ලේ කනත්ත නමැති ගමේ විශාල සුසාන භූමියක් ඉදි කළහ. කනත්ත යනු එම ගමේ නම බව නැවතත් අවධාරණය කරමු. අද වන විට මේ රටේ ජනයා සුසාන භූමි හැම එකකටම කියන්නේ කනත්ත යනුවෙනි. එය තවදුරටත් පැලපදියම් කරනු වස් මිනී කනත්ත ලෙස කියනු ලැබේ. අපේ භාෂා පාඩම මෙතැනින් නවතී.
කොළඹ මහ රෝහලේ සුළු සේවකයන් කුඩු ගහන බවත් ගංජා ගහන බවත් රෝගීන්ට අයත් බඩු භාණ්ඩ හොරකම් කරන බවත් කොළඹ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගියදා රූපවාහිනී සහ යූ ටියුබ් නාළිකාවලට පැවසීය. කොළඹ මහ රෝහලේ සුළු සේවකයෝ එයින් දැඩි ලෙස කෝපයට පත්ව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ කාර්යාලය වටලා ඔහු කාමර අඩස්සියේ තබා ගත්හ. අන්තිමේදී රුක්ෂාන් බෙල්ලන පිටතට ගෙන යන ලද්දේ දැඩි පොලිස් ආරක්ෂාව සහිතවය. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔහු අනුයුක්ත කරන ලදි. එමඟින් කාරණා දෙකක් සිදු වෙයි. පළමුවැන්න නම් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ජීවිතය ආරක්ෂා වීමයි. ඔහු පසුදිනත් වැඩට ආවා නම් සමහර විට මහ රෝහලේ සුළු සේවකයන් ඔහු යහතින් ගෙදර නොයවනු ඇත. දෙවැනි කාරණය නම් රුක්ෂාන් බෙල්ලන දුටු විට සුළු සේවකයන් තුළ අරගල මානසිකත්වයක් හටගනී. මේ වින්දනය අකාරය දුරදිග ගියොත් සුළු සේවකයන්ට සිදු වන්නේ පොලිසියෙන් ගුටි කෑමටය. එවිට ලෙඩුන්ට පරිප්පු කෑමට සිදු වේ.
ශ්‍රී ලංකාවේ ජන සමාජය 1978න් පසු මහත් සේ පිරිහෙන්නට පටන් ගත්තේය. එවකට සිටි දේශපාලකයන් මේ රට පාලනය කළ, ගෝලීයකරණය නමැති අච්චාරු සාධකය ආර්ථික පරිහානිය ඇතුළු කාරණා රැසක් මෙයට හේතු විය. 1988,89 භීෂණය සහ යුද්ධය සමඟ මේ රටේ ජනයාට සාපරාධි ක්‍රියාවල සීමාවක් දැකීමට නොහැකි විය. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයක් පිහියෙන්, තුවක්කුවෙන්, ඇසිඩ්වලින් හෝ පොලු මුගුරුවලින් විසඳන ලදි. මීට දින කිහිපයකට පෙර චතුරි හංසිකා නමැති 24 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක් කොළඹ තුරඟ තරග පිටියේදී ගෙල කපා ඝාතනය කරන ලදි. ඇගේ මිනීමරුවා වූයේ ඇගේම පෙම්වතා වූ උපාධි අපේක්ෂකයෙකි. මානසික ආතතිය සඳහා බෙහෙත් බොමින් සිටි මේ හාදයා සිය පෙම්වතිය මරන්නේ ඇය විසින් ප්‍රේම සම්බන්ධය අවසන් කරමු යැයි යෝජනා කරන ලද බැවිනි. මෙහිදී ඇය වෙනත් කෙනකුට හිමි වීමට ඉඩ දිය නොහැකි බව පෙම්වතා කල්පනා කරන්නට ඇත. ඒ අනුව මාසයක පමණ කාලයක් තිස්සේ සැලසුම් කර පෙම්වතිය තුරඟ තරග පිටියට කැඳවා ගෙදරින් ගෙනා පිහියකින් ඇගේ බෙල්ල කැපීමට පෙම්වතා තීරණය කළේය. තරුණිය ඝාතනය කිරීමෙන් අනතුරුව තමාට අත්වන ඉරණම ගැන මේ පෙම්වතා හොඳටම දැන සිටින්නට ඇත. ඔහු බෙහෙත් බිව්වේ මානසික ආතතියට මිස උන්මාදයට නොවේ. අනෙක ඔහු තම ඝාතන සැලසුම මාසයක් තිස්සේ පරිස්සම් කරගෙන සිටියේය. පිස්සෙක් හෙවත් උන්මාදකාරයෙක් එසේ කරන්නේ නැත. එසේම පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු ගෙදර බලා ගිය ඔහු කිසිවක් නොවූ අයුරින් කාමරයට වැදී නිදා ගත්තේය. ඝාතනයෙන් පසු තමා ගඟකට පැන සිය දිවි නසා ගැනීමට සැලසුම් කර තිබූ බව ඔහු පාපෝච්චාරණය කර තිබේ. එසේ නම් ඔහු ගෙදර ආවේ ඇයි? සිය දිවි නසා ගැනීමට ඔහුට සැබෑ අවශ්‍යතාවක් වී නම් ඒ සඳහා අනුග්‍රහය සැපයීමට කොළඹ විශ්වවිද්‍යාලයට අතේ දුරින් පිහිටි බේරේ වැව බලා සිටියේය. නැත්නම් පැය භාගයක් ඇතුළත කැලණි ගඟට යෑමට ඔහුට අවකාශ ඇත. ඒ කිසිත් නොවූ බැවින් අපගේ ඇස්තමේන්තුවට අනුව ඔහු තවදුරටත් ජීවත්වීමේ අපේක්ෂාවෙන් සිටි සිහිපත් තරුණයෙකි.
ජීවිතය යනු තදබල ව්‍යායාමයකි. මරණීය වේදනාව ගැන දන්නේ මැරෙන පුද්ගලයාම පමණි. එහෙත් සිය දිවි නසා ගැනීම ඉතාම පහසු කොන්ද පණ නැති විසඳුමකි. පෙම්වතියත් මරා කොන්ද පණ නැති විසඳුමකටත් නොයා ගෙදර ගොස් නිදා ගැනීමෙන් පෙනී යන්නේ පෙරකී මිනීමරුවාගේ මානසික මට්ටම අප හිතන තරම් නරක නැති බවය.
රාගම කරදගහමුණ පදිංචිව සිටි පුෂ්පා මධුවන්ති ගුණවර්ධන 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. ඒ වන විටත් ඇය රාගම ජීවත් වූ තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියාය. ඒ අතර 1992 දී ප්‍රේමලාල් නමැති තරුණයෙක් කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. තමාට වඩා අවුරුද්දක් වයසින් බාල මේ තරුණයා කෙරෙහි ප්‍රේමයක් උපදවා ගත් මධුවන්ති ගමේ කොල්ලා සමඟ තිබෙන ප්‍රේම සම්බන්ධයට සමගාමීව ප්‍රේමලාල් සමඟ ද ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියාය. මධුවන්තිගේ ගමේ කොල්ලා ගැන ප්‍රේමලාල් දැන සිටියේ නැත. සෑහෙන කලක් ප්‍රේම සම්බන්ධ දෙකම සමාන්තරව පවත්වා ගෙන ගිය මධුවන්ති ගමේ පෙම්වතා සමඟ විවාහ විය. ඒත් ඇය ප්‍රේමලාල් සමඟ තිබුණු සම්බන්ධය නැවැත්වූයේ ද නැත. තම පෙම්වතිය වෙනත් තරුණයකු සමඟ විවාහව සිටින බව ප්‍රේමලාල් දිනක් දැන ගත්තේය. පිහියක් රැගෙන විශ්වවිද්‍යාල භූමියට ගිය ඔහු පුෂ්පා මධුවන්ති ගුණවර්ධනට එම පිහියෙන් කිහිප පොළකටම ඇන මරා දමා කටුනායක ගුවන් තොටුපළින් පිටවී වෙනත් රටක පදිංචියට ගියේය. මෙය හොඳින් සැලසුම් කෙරුණු මනුෂ්‍ය ඝාතනයකි. ප්‍රේමලාල් මෙම ඝාතනයට පෙර වෙනත් රටකට වීසා ලබා ගෙන එම ගමනාන්තය සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලබා ගෙන ඇත. ඔහු විශ්වවිද්‍යාල භූමියට ගොස් පෙම්වතියට පිහියෙන් අනින්නේ තමන් පිට රට යන ගුවන් යානය ගමනාරම්භ කිරීමට පැය කිහිපයකට පෙරය. පුෂ්පා මධුවන්ති ගුණවර්ධනගේ ද්විත්ව ප්‍රේමයේ චර්යාත්මකභාවය සම්බන්ධයෙන් මේ මොහොතේදී අපි සාකච්ඡා නොකරමු. ඇය ඝාතනය කිරීම ඇගේ පෙම්වතාට සාපේක්ෂව නිවැරදි ක්‍රියාවක් සේ ඇතැමුන් අර්ථකථනය කිරීම පුදුමයක් නොවේ. එහෙත් කඩුවලින්, පිහිවලින් සහ තුවක්කු බටවලින් ප්‍රශ්න විසඳීම ඉතාම මිලේච්ඡ ක්‍රියාවකි. ශ්‍රී ලංකාව මේ තරමටම පරිහානිගත රටක් වූයේ කෙසේද යන්න අප ඉදිරියේ ඇති ප්‍රශ්නයකි.