දිය කෙළියක්! | Page 2 | සිළුමිණ

දිය කෙළියක්!

ය පෙබරවාරි ග්‍රීෂ්මයේ උපරිමය සටහන් කළ දින කිහිපය විය යුතුය. ගමේ නාන ළිං සියල්ල සිඳී ගොස් අඩියේ මඩ පෑදී තිබිණි. බොන ළිංවල පතුල මතුවන්නට ඔන්න මෙන්නය. වතුර පරෙස්සමට පාවිච්චි කරලපල්ලා! යැයි වැඩිහිටියෝ කියාගෙන යති. කුඩා ළමයි සෙල්ලම් ඔරු තැනීම මුළුමනින්ම නවතා දැමූ අතර වැස්ස ගැන කතා කිරීමත් නතර කළහ. පෙබරවාරිය හා අගෝස්තුව යනු පෑවිල්ලේ පීඩාවත් වතුරේ වටිනාකමත් හොඳ හැටි පෙන්නුම් කරන කාල පරිච්ඡේද දෙකකි.

ගම්මුන්ගේ වතුර පාවිච්චිය කෙතරම් සීමා වූයේද යත්, ඔව්හු වැසිකිළි වෙනුවට ගල්තලා හා කටුලැහැම් පාවිච්චි කරන්නට වූහ. අත සේදීමට හා පිඟන් සේදීමට ඉඳුල් වතුර පාවිච්චි කරන්නට වූහ. මෙයින් වඩාත් අසරණ වූවෝ ස්ත්‍රීහුය.

"තොටුපීල්ල ඇල්ලට පහළින් ගල් වැටියක් දැම්මොත් හොඳ තටාකයක් හදාගන්ඩ පුළුවන්!"

ගමේ වැඩිහිටියකු මේ ආරංචිය ගෙන ගියේය. එය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ බව පෙනිණි. ඉඩෝරය තදින් පැවැතියේ වුව හීන් ඇළ සිඳී ගියේ නැත. එය ආරම්භ වන්නේ කඳු මුඳුන් දෙකකින්ය. එකක් නම්, වවුලුගල කන්දය. අනෙක මඩගල කන්දය. මේ හුදෙකලා කඳු දෙකෙහි බෑවුම් රබර් වගාව සඳහා වෙන් කර තිබුණ ද කඳු මුදුන්වලට කිසිවකු අත ගැසුවේ නැත. රබර් යායවල්වල කොළ හැලී ඉපල් පෑදී තිබුණ ද කඳු මුඳුන් ආශ්‍රිත මූකළාන් නොඉඳුල් විය.

හීන් ඇළෙහි ආකර්ෂණීය ස්ථානය තොටුපීල්ල ඇල්ලය. එය ගල්තලාවක් දිගේ රූටාගෙන විත් එකවර අඩි පහළොවක පමණ දළ මොහොරකින් එකවර වළට කඩා වැටෙයි. වර්ෂා සමයෙහි මහා ඝෝෂාවක් නඟමින් ඇල්ල කඩා හැලෙන නමුදු අද සිහින් කෙඳිරියක් පවා නැත. එහෙත් එහි වළ තවම ගැඹුරුය. ජල තටාකය පිළිබඳ පණිවිඩය සමාජ ගත වී දෙදිනක් ඇවෑමෙන් තොටුපීල්ල ඇල්ල අසලට හැට හැත්තෑවක තරම් පිරිසක් එක්රැස් වූහ. හයිහත්තිය ඇති තරුණයෝ ද, අත්දැකීම් බහුල පිරිමි වැඩිහිටියෝ ද ඒ අතර වැඩිපුර උන්හ. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඇල්ලෙන් පහළ තැනක් ලකුණු කොට ගල්වැටිය සකස් කිරීම ආරම්භ විය. ඇළ දෙපස ඇති විශාල ගල් පෙරළාගෙන විත් එක පේළියට තබා වැටිය සකස් කිරීම එක පිරිසකගේ කාර්යය විය. තව පිරිසක් ඇළෙහි වූ වැල්ල හාරමින් ඒවා වැටිය ළඟට තල්ලු කළහ. තවත් පිරිසක් වැඩෙහි යෙදෙන අයට කෑම්බීම් සැපයූහ. එදින හැන්දෑව වන විට අපූරු ජල තටාකයක් නිර්මාණය වී තිබිණි. තටාකයේ ජලය පිරුණු පසු පිටාර ගලා යන්නට වැටිය දෙපසින් කඩ මං දෙකක් තිබිණි.

මේ කාර්යය දෙස තම මුළු අවධානයම යොමු කරමින් මුල සිටම බලා සිටි කොලු ගැටයෙක් විය. වයස අවුරුදු දහයක් තරම් වූ ඔහු චූටි මහත්තයා නමින් හැඳින්විණි. ඔහු තමන්ගේ ගෙදරට වඩා දවසින් වැඩි කාලයක් ගෙවා දැම්මේ ලොකු නැන්දාගේ නිවසෙහිය. චූටි මහත්තයා තැන් තැන්වල ඇවිද ගොස් ඇහිඳගත් තොරතුරු කියා සිටින්නේ සිය නෑනා වූ පියවතීටය. නෑනා යැයි කියූව ද ඇය අවුරුදු දහසයක් පමණ වූ තරුණියකි.

චූටි මහත්තයා ඒ හැන්දෑවේ දුවගෙන දුවගෙන ගියේය. ඔහු නැවතුණේ පියවතී අක්කා ළඟය.

"අක්කේ! අක්කේ! මාර වතුර ටැන්කියක්! පැන්නොත් උඹත් පොව්වයි!"

"ඈ! ඒක හදල ඉවරද?එහෙනන් හෙට උදේම යන් පීන පීන නාන්ඩ!"

"ඈ උඹට පීනන්ඩ පුළුවන්ද? මටත් උගන්නපන්!"

"යකඩෝ! මට හොඳට පීනන්ඩ පුළුවන්! උඹ කරේ තියාන වුණත් මං පීනනවා!"

"ගෑනුන්ට පීනන්ඩ පුළුවන්ද? උඹ කියන්නෙ බොරු!"

"බොරුද කියල බලන්ඩ හෙට උදේම වරෙන්! දැන් ගෙදර දුවපන්!රෑ වෙන්ඩ කිට්ටුයි!"

චූටි මහත්තයා වහාම ගෙදර දෙසට දුවන්නට විය. ඔහු ජල තටාකය පිළිබඳ මතක චිත්‍රය ආවර්ජනය කරන්නට පටන් ගත්තේය. හැබෑවට ම එය අඩි තිහක් පමණ දිග වන්නට ඇති බවද, අඩි විස්සක් පමණ පළල වන්නට ඇති බව ද ඔහුට නිකමට මෙන් සිතිණි. එහි ගැඹුර තැන් තැන්වල එක එක විදිහ වෙයි.

වැටිය ළඟ ආරම්භක ස්ථානයේ ගැඹුර අඩි තුනකට වඩා නැත. ගැඹුර කෙමෙන් වැඩි වෙයි. තටාකයේ හරි මැද හරිය අඩි අටක් පමණ වේ යැයි කවුදෝ කියනු ඔහුට ඇසී තිබිණි. ගෙදර ගිය චූටි මහත්තයා අම්මාට මුළු කතාවම කියා සිටියේය. ඉක්බිති හෙට උදෑසන ජල තටාකයට ගොස් නෑමට අවසරයක් ද ඉල්ලා සිටියේය.

"උඹ තාම පුංචි ළමයෙක්! වැඩිහිටියෙක් නැතුව වතුර වළවල්වලට පනින්ඩ එපා!"

"මං යන්නෙ පියවතී අක්කත් එක්ක!එයාට පීනන්ඩත් පුළුවන්ලු!"

"පියවතී අක්ක කියන්නෙ වැඩිහිටියෙක්ද?උඹලෑ තාත්තත් එක්ක පලයන්!"

චූටි මහත්තයා එදින රාත්‍රිය පුරාවට අපූරු සිහින දුටුවේය. එක සිහිනයකදී පියවතී අක්කා සුරංගනාවියක සේ සැරසී ජල තටාකය මත උඩුබැල්ලෙන් පිහිනා ගියාය. තව සිහිනයකදී ඇය ජල රාස්සියක වී ජල තටාකයෙන් ඉහළට මතු වූවාය. කොල්ලෝ ඇයට ගල් ගසා මරා දැමූහ. චූටි මහත්තයා සිනාසෙන්නට පටන් ගත්තේය.

පසුදා හිරු උදා වී වැඩි කාලයක් යන්නට මත්තෙන් චූටි මහත්තයා ගෙදරින් පැන්නේය. පාසල් නිවාඩුවක් පැවැති බැවින් එය ඉතා පහසු විය. තවත් සුළු වේලාවක දී පියවතී හා චූටි මහත්තයා තොටුපීල්ල ඇල්ලට පහළින් සැකසූ නාන තටාකය ළඟ හිටගෙන උන්හ.

තටාකය හොඳින් පිරී තිබුණු අතර වතුර ඉතා පැහැදිලිය. පතුලෙහි ගල්කැට පමණක් නොව වැලිගොව්වන් දඟලන ආකාරයත් ඔවුනට පැහැදිලිව දැකගත හැකි විය. පියවතී ලහි ලහියේ දිය රෙද්දක් ඇඳගෙන දියට පැන්නාය. ඇය තටාකය වටා පිහිනුවාය.

චූටි මහත්තයා පනින්නේද? නො පනින්නේද? යන දෙගිඩියාවෙන් පසු විය. ඔහුට බයක් දැනිණි.

"වරෙන්! වරෙන්! බය නැතුව පැනපන්. මං අල්ලගන්නම්!"

දියට පැන්න චූටි මහත්තයා වහාම පියවතී අක්කා අල්ලා ගත්තේය. ඔහුට හසුවූයේ පියවතී අක්කාගේ දිය රෙද්දය. රෙද්ද ගැලවී ගියේය. ඒයි! ඒයි! මගෙ දිය රෙද්ද යැයි කෑගැසුව ද චූටි මහත්තයා ඇය අත්හළේ නැත. පියවතී යාන්තමට දෙඅත් සොලවමින් දිය මතුපිට රැඳී උන්නාය. චූටි මහත්තයා ඇගේ බඳෙන් තරව අල්ලාගෙන සිටියේය. ඔවුහු සැලැකිය යුතු වේලාවක් එම ඉරියව්වේම සිටියෝය.

Comments