
2023 නව වසර ආරම්භ වී ගත වූයේ එක් දිනක් පමණි. ජනවාරි දෙවැනිදා ක්‍රිෂාන් ජයලත්ට සුවිශේෂි දිනයක් විය. ඒ ඔහුගේ විසිහත් වන උපන් දිනය එදිනට යෙදී තිබුණු හෙයිනි. උදෑසනම අවදි වූ ක්‍රිෂාන්ට සතර අතින් සිය හිතමිතුරන්ගෙන් උපන් දින සුබ පැතුම් ගලා එන්නට විය. ඒ සියල්ලටම 'තැන්ක්ස් මචං' 'තැන්ක්ස් බ්‍රෝ' 'ස්තුතියි' ආදී පිළිතුරක් ඔහු දුන්නේ පිරුණ සිනහවක් මුව පුරා ඇදී යද්දීය. කිරිබත් පිඟානක් සමඟ කැවිලි වර්ග කිහිපයක්ද මේසයට ගෙන ආ ඔහුගේ මව සිය පුතුගේ 27 වන උපන් දිනය වෙනුවෙන් තේ මේසයක් ද පිළියෙල කර තිබිණ. අයියා, මල්ලී, නංගී, මව සහ පියා සමඟ ක්‍රිෂාන්ට සුබ පැතුම් එක්කර සංග්‍රහය භුක්ති විඳින ලද්දේ ඉන් අනතුරුවය. මල්ලී ශ්‍රීපාද වන්දනාවේ ගොස් පැමිණියේ පෙර දින මධ්‍යම රාත්‍රියේ බැවින් ඇඳට වී සිටියේ ගමන් විඩාව නිසාය.
ක්‍රිෂාන් පාසල් අවධියේදීම සිහින මැවුවේ කැමා (කැලෑ) ඇඳුමකින් සැරසී කළු පැහැති ගිනිඅවියක් සුරතට ගෙන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු වීමටය. ඔහුගේ පියාගේ මල්ලී පොලිස් නිලධාරියකු වූ අතර නැන්දා විවාහ වී සිටියේද පොලිස් නිලධාරියකු සමඟය. ඔවුන් දෙදෙනාම ප්‍රභූ ආරක්ෂක සේවයට අනුයුක්තව සිටි අතර එයද ක්‍රිෂාන්ට පොලිස් සේවයට එක්වන්නට හේතු සාධක වන්නට ඇත. විවිධ අවස්ථාවල මඟතොට යනෙන විශේෂ කාර්ය බළකායේ සෙබළු දුටු විට ඔවුන් නොපෙනී යන තෙක් ඔහු දෑස් අයා ඒ දෙස බලා සිටින්නේ ඉමහත් ආශාවෙන්ය. 2015 වසරේදී තම සිහිනය සැබෑ කර ගැනීම සඳහා ක්‍රිෂාන් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණයකටද සහභාගී විය.
එහිදී අධ්‍යාපන සුදුසුකම් සපුරා උස සහ බරද නිවැරැදි වුවද දරා ගැනීමේ ශක්තිය මැන බලන පරීක්ෂණයේ එක් පරීක්ෂණයකින් ඔහු අසමත් විය. එයින් අෙධෙර්වත් නොවන ක්‍රිෂාන් ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් විය. මූලික පුහුණුවෙන් පසුව පළමු රාජකාරී ස්ථානය ලෙස කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත වන්නට ක්‍රිෂාන්ට හැකි විය. පෙනුමෙන් ඉතා ප්‍රසන්න ක්‍රිෂාන් ඕනෑම අයකුගේ සිත් ගත් අයෙකි. ගමේ සහ සේවා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ සහ සෙසු නිලධාරීන්ගේ මෙන්ම කොල්ලුපිටිය පොලිසියේ සහ ඒ අවට ජනතාවගේ සිත් දිනාගන්නට ක්‍රිෂාන්ට හැකි විය.
රථවාහන රාජකාරියට අනුයුක්ත වූ ක්‍රිෂාන් සුළු වැරදිකරුවන් කිසිදා පොලිසියට රැගෙන නොආවේය. යතුරුපැදි, කුඩා වාහන සඳහා දඩ කොළ පුරවන්නට ද ක්‍රිෂාන් මැළි විය. ස්ථානාධිපතිවරයාද මෙය අවබෝධ කරගෙන සිටි නිසා ගම් ප්‍රදේශයට මාරුවක් ලබාගන්නා ලෙස ඔහුට පවසා දික්වැල්ල පොලිසියට යන්නට ඉඩ සැලැසීය. 2020 වසරේ අගභාගයේදී ක්‍රිෂාන් දික්වැල්ල පොලිසියට පැමිණි අතර එතැන් සිට කා අතරත් ජනප්‍රිය චරිතය වන්නට වැඩි කලක් ගත නොවීය. රථවාහන රාජකාරියේ නිරත වුවද ක්‍රිෂාන්ට යතුරුපැදියක් තිබුණේ නැත. ඔහු දිනපතා සේවයට ආවේ ගියේ මල්ලිගේ යතුරුපැදියෙනි. ඉඳහිට මිතුරකුගේ යතුරුපැදියක්ද පදින්නට ක්‍රිෂාන් පුරුදු වී සිටියේ මිතුරන් විශාල පිරිසක් ඔහු වටා සිටි බැවිනි. යතුරුපැදිය ඔහුට සෙල්ලම් බඩුවක් මෙන් විය. ගමේ රවුමක් යන විට රූං හඬ නඟාගෙන යන්නේ අවට සිටින අයට ද කතා කරගෙනය. කිසිවෙක් මගදී දුටුවොත් ආදරයෙන් වචනයක් කියන්නට නොහැකිනම් ඔහු යතුරුපැදියේ නංවාගෙන යන්නේ ළෙන්ගතුකම පෙන්වන්නටය. ගෙදර අයත්, යහළුවන් මෙන්ම ගමේ අයද ක්‍රිෂාන් වේගයෙන් යතුරුපැදි පදින එක ගැන අවවාද කොතෙක් දුන්නත් ක්‍රිෂාන්ගේ කනටනම් ඒවා දැනුණේවත් නැත. ඒ නිසාම අනතුරු හයකට පමණ මුහුණ දෙන්නට කෙටි කලක් තුළ ක්‍රිෂාන්ට සිදු විය.
2023 වසර ආරම්භයේද ක්‍රිෂාන් ගෙදර ආවේ පොලිස් මිතුරකුගේ සුදු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකිනි. එය ඔහුට අවසන් ගමන් යන්නට ලැබුණ යතුරුපැදිය විය.
ක්‍රිෂාන් සිය විසිහත් වන උපන්දින දා තවත් කටයුත්තක් සූදානම් කරගෙන තිබිණි. ජීවිතයේ සුවිශේෂි ගමනක් යාමට තීන්දු කර තිබීම එයයි. ඒ ඔහු පුරුද්දක් ලෙස කරන අන් අය විස්මයට පුදුමයට පත් කරන දෙයකි. මෙම මස අවසාන දිනක යෙදී ඇති සුබ මොහොතකදී තම අනාගත සහකාරිය සමඟ විවාහ ගිවිස ගැනීමට නැකත් සූදානම් කර තිබිණි. ක්‍රිෂාන්ට ආ සිතුවිල්ල වූයේ තම උපන්දිනය දාම මෙම නැකත් පත්‍රය සිය පෙම්බරියගේ සුරතට දී ඇය සතුටට විස්මයට පත් කිරීමයි. මේ ගමන යන්නට තම බාල සහෝදරයාට කතා කළද ඔහුගේ ගමන් විඩාව නිසා එයට ඔහු අදිමදි කළේය. නිෙවස ඉදිරිපිට සිය පියා සමඟ කතාබස් කරමින් සිටි ක්‍රිෂාන් “තාත්තේ මාත් එක්ක යමුද” කියා ඇසීය. තාත්තා වන විජමුනිගේ ධර්මසේන “හා... යමු පුතේ...” කියා ගමනට සූදානම් විය. ක්‍රිෂාන්ගේ පියාගේ නම ධර්මසේන වුවද සියලු දෙනා හැඳින්වූයේ 'සිරිපාල අයියා' කියාය. පියාගේ ජන්ම දිනය යෙදී තිබෙන්නේද ජනවාරි 09 වන දිනයේය.
ක්‍රිෂාන්ද සූදානම්ව පැමිණ සුදු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියට නැඟ පියාද පසුපසින් නංවා ගත්තේ මව දෙස බලා සිනාසෙමිනි. තම පුතා මේ නඟන්නේ අවසන් සිනාව බව මව මොහොතකටවත් නොසිතන්නට ඇත. සිරිපාලද තම බිරිය දෙස බලා 'යන්නම්' කියා කීවේ ඇයට කියන අවසන් වචන කිහිපයයි.
ක්‍රිෂාන් යතුරුපැදිය ධාවනය කරන්නේ සෙල්ලම් බඩුවක් පරිද්දෙනි. කටුවන රුක්මල්පිටිය හරහා ගොස් ඌරුබොක්ක නගරය පසුකර සිය අනාගත සහකාරියගේ නිවෙසට පැමිණ ඇය සහ මව්පියන් හමුවී සුබ නැකතින් නැකත් පත්‍රය බාර දෙන ලද්දේ සියලු දෙනාගේ සතුට මැද්දේය. ක්‍රිෂාන් සහ පියා පෙම්වතියගේ නිවෙසින් තේපැන් සංග්‍රහයක්ද භුක්ති විඳ නැවත සිය නිෙවසට පැමිණෙන්නේද උරුබොක්ක රුක්මල්පිටිය මාර්ගය ඔස්සේය. සියල්ල කණපිට හැරවෙන්නේ මෙම ගමනේදීය.
ඌරුබොක්ක කටුවන මාර්ගය කඳු පල්ලම් සහිත මාර්ගයකි. අධික බෑවුම් මෙන්ම වංගු සහිත මාර්ගයකි. ජීවන ගමනේ තවත් කඩඉමක් වෙනුවෙන් සුබ ගමනක යෙදුණ ක්‍රිෂාන් ඒ සතුටද හිතේ තද කරගෙන යතුරුපැදිය ධාවනය කරන්නේ සිය පියාද පිටුපස අසුනේ නංවාගෙනය. රුක්මල්පිටිය ගම ආසන්නයට එද්දී යතුරුපැදියේ තිරිංග ක්‍රියා විරහිතව ඇති බව දැනගත් ක්‍රිෂාන් ඒ බව කෑගසා පවසමින් පැමිණ තිබේ. මඟ සිටි පාසල් සිසුන්ටද එය ඇසී ඇති අතර ‘විහිළු කරනවා’ යයි ඔවුන් සිතා ඇත. රුක්මල්පිටිය පාසලට මඳක් ආසන්නව වංගු දෙකක් සහිත මාර්ගයේ වම්පස කොහොඹ ගසක් පිහිටා තිබිණ. පළමු වංගුව පසුකර වේගයෙන් ඉදිරියට ඇදෙන යතුරුපැදිය හැසිරවීම අසීරු වෙද්දී කටුවන දෙස සිට කාරයක් ඉදිරියට එන බව ක්‍රිෂාන් දැක තිබේ. ක්‍රිෂාන් යතුරුපැදිය වම්පසට හරවන්නට ඇත. ක්‍රිෂාන් දන්නේ එපමණකි.
"පාර පැත්තෙන් විශාල හඬක් ඇහුණා... අපි පාරට දුවගෙන ආවා. කාරෙකක් නතර කරල තිබුණා. කොහොඹ ගහ යට දෙන්නෙක් වැටිල හිටියා. එක්කෙනෙක්ගෙ බඩ කිට්ටුව වම් පැත්තෙ ලොකු තුවාලයක් තිබුණා. හෙල්මට් එකත් ඔළුවෙ තිබුණා. බයික් එක ගහක් කඩාගෙන පාරෙන් පහළට ඇදිල ගිහින් තිබුණේ. අපි ඇවිල්ල එක්කෙනෙක් කාරෙකට දාලා කටුවන ඉස්පිරිතාලෙට යැවුවා. අනෙක් කෙනා 1990 ගිලන් රථයක් ගෙන්වලා යැවුවා. තුවාල වෙලා හිටපු කෙනාගේ ඇඟිල්ලක් හෙලවෙනව විතරයි දැක්කෙ. එයා මෙතනින් ගෙනියනකොටත් මැරිලා කියල තේරුණා. 'උඩහ ඉඳල' මෙතනට ආපු අය කිවුවා මේ බයික් එකේ ආපු කෙනා ‘බ්රේක් නෑ‘ කියල කෑගහගෙන ආවේ කියලා. පොලිසිය ඇවිත් පරික්ෂණ කළා. මෙතන අනතුරු කිහිපයක් වෙලා තියෙනවා. ඒත් මාරක අනතුරක් වුණේ අද" යැයි අසල්වැසි නිවෙසක කාන්තාවක් තමන් දුටු දේ පැහැදිලි කළාය.
තුවාල ලද ක්‍රිෂාන් සහ පියා කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර ඒ වනවිටත් ක්‍රිෂාන් මෙලොව හැර ගොස් තිබිණ. පියාට බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබිණ. ඔහු පසුගිය කාලයේ හදවත් රෝගයට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණ හා පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ගිලන් රථයකින්ම ඔහු ඇඹිලිපිටිය මූලික රෝහලට මාරු කර යවන ලදි. රෝහලට ඇතුළත් කර සුළු මෙහොතකින් ඔහු ද මෙලොව හැර ගියේය.
පසුදින පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ක්‍රිෂාන්ගේ මෘතදේහයද ඇඹිලිපිටිය මූලික රෝහල වෙත රැගෙන ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව පිය පුතු දේහයන් වීරකැටිය අඹකොළවැව පිහිටි ක්‍රිෂාන්ගේ නිෙවසට රැගෙන ආවේ මිතුරන්ගේ යතුරුපැදි විශාල ප්‍රමාණයක් පෙරටු කරගෙනය.
පිය පුතු දේහයන්ට අවසන් ගෞරව දක්වන්නට අතිවිශාල පිරිසක් නිෙවසට පැමිණියහ. පොලිස් සහෝදරයන් හිතමිතුරන් ඥාතීන් ඒ අතර විය. පසුදින එනම් ජනවාරි 04 වන දින පස්වරුවේ පොලිස් උත්තමාචාර සහිතව ශෝකී බියුගල් නළා හඬ වා තලයට මුසු කරමින් සියලු හිතමිතුරන් හා ඥාතීන්ගේ විලාප හඬ මැද ක්‍රිෂාන් සහ පියා මිහිදන් වූහ.