දේපළ තණ්හාවට පුතා මවට කළ අපරාධය | සිළුමිණ

දේපළ තණ්හාවට පුතා මවට කළ අපරාධය

සැකකාර ටස්රි කායිෆ්, මව නාන කාමරයේ වැටි සිටි අයුරු ටස්රි විසින් ලබාගත් ඡායාරූපයක් සහ ෆතුමා ෆරිනා

- ගෙවල් දෙක විකුණා සල්ලි ගන්න මව මරා සිරුර නාන කාමරයේ දමා පොලිසියටත් බොරු කරලා
- ඩුබායි සිට මෙරටට ආවත් ටස්රිගේ අතේ සතේ නැති වුණේ ඔහුගේම වරදින්
- පැය 24ක් ඇතුළතදී සියලු තොරතුරු හෙළි කරගන්න පොලිසියට හැකි වෙයි
- ණය උගුලෙන් බේරෙන්න කළ සාහසික ක්‍රියාවක්
- මව ඝාතනය කරන්නට පෙර කුරානය ඇගේ අතට දීලා

ජාසත්ත දූපුතුන් ගැන කතා පසුගිය කාලයේ දිගින් දිගටම මෙරට ජනතාවට අසන්නට දකින්නට ලැබිණි. හිත්පිත් නැති මේ දූපුතුන් තම මවුපියන් ඝාතනය කිරීමේ සිදුවීම් අතර සුවිශේෂී සිද්ධියක් ඉකුත් දිනෙක වාර්තා වූයේ බටපොළ පොලිස් වසමෙනි. ඒ අජාසත්ත දියණියක දේපළ ලබා ගැනීම උදෙසා සැලැසුම්කොට සිය පියා ඝාතනය කිරීමයි. 

එකී සිද්ධියේ උණුසුම මැකී යාමටත් ප්‍රථම පුතෙක් දේපළ ලබා ගැනීමේ අරමුණින් සිය මව ඝාතනය කිරීමේ අනුවේදනීය සිද්ධියක් මාතර පොලිසියෙන් වාර්තා වූයේ පසුගියදාය. මාතර නගරයේ, කොටුවේගොඩ, අරලිය මාවතේ, නොම්මර 11/01 නිවෙසේදී සිදුවූ එම ඝාතනයේ සුලමුල පැය 24ක් යන්නටත් මත්තෙන් අනාවරණය කරගැනීමට මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරින්ට හැකි වූයේ මෙවැනි විමර්ශන පිළිබඳ ලද හසළ අත්දැකීම් හේතුවෙනි.

පවුලේ එකම පුතු විසින් පොල්ලකින් හිසට පහර දී ඉන් නොනැවතී ගෙලද සිරකොට අමානුෂික ලෙස මරා දැමූ 59 හැවිරිදි මවගේ මරණය ඇය නාන කාමරයේ ඇද වැටීම නිසා සිදු වූවක් ලෙස පෙන්වා එම ඝාතනය වසන් කිරීමට පුත්‍රයා මහත් වෙහෙසක් ගෙන තිබුණේ පොලිස් නිලධාරින්ටද යම් යම් බලවේග මඟින් දුරකතන ඇමැතුම් දෙමින් විමර්ශනවලටද බලපෑම් කරවමිනි.

සැකකරු එම ඝාතනය සිදු කළ ආකාරය සහ මාතර මූලස්ථාන පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදුකරන ලද විමර්ශනය මාතර පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේය.

මොහොමඩ් ටස්ලිම් මීට වසර එකහමාරකට පමණ පෙරදී මිය ගියේය. ඔහු මාතර නගරයේ අශ්වයන් ඔට්ටු ඇල්ලීමේ ‘රේස් බුකියක්‘ පවත්වාගෙන ගිය අයෙකි. ඔහුගේ බිරිය 59 හැවිරිදි මොහොමඩ් සුබයිර් ෆතුමා ෆරිනාය. මාතර, කොටුවේගොඩ, අරලිය මාවතේ, නොම්මර 11/01 නිවෙසේ පදිංචිව සිටි මේ යුවළට සිටියේ එක් පුතෙක් පමණකි. ඔහුද හදාවඩා ගත් දරුවෙක් බව අනාවරණය වූයේ පොලිස් විමර්ශනයේදීය. එම පුතු ඒ බව කිසිදා දැන සිට නැත.

එම යුවළගේ එකම පුතු 35 හැවිරිදි මොහොමඩ් ටස්ලිම් මොහොමඩ් ටස්රි කායිෆ් නමැත්තාය. මාතර නගර මධ්‍යයයේ ජනප්‍රියම පාසලකින් අධ්‍යාපනය හැදෑරු ටස්රි 2000 වසරේ අපොස සාමාන්‍ය පෙළට මුහුණ දීමෙන් පසු අධ්‍යාපනයට ‘තිත‘ තැබීය. අනතුරුව කොළඹට පැමිණ පරිගණක පාඨමාලාවක් හැදෑරු ඔහු 2005 වසරේදී ඩුබායිහි රැකියාවකට ගියේය.

ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවූ ටස්රි කෙටි කලකින් ඩුබායි රටේ ‘මැක්ඩොනල්ඩ්‘ අවන්හලක කළමනාකරුවකු දක්වා ඉහළ ගියේය. වසර දෙකකට වරක් ලංකාවට පැමිණෙන ඔහු අත යහමින් මුදල්ද ගැවසිණි. එලෙස වරින්වර ලංකාවට එද්දී මුණගැසුණු දෙමටගොඩ ‘ජා‘ තරුණියක හා ටස්රි විවාහ විය. ඒ 2010 වර්ෂයේදීය.

එම විවාහයෙන් දෙදෙනාට මේ වන විට වයස අවුරුදු 9ක දියණියක සහ අවුරුදු 6ක පුතෙක්ද සිටී. 2020 වසරේ ජනවාරි මස 01 වැනිදා ඩුබායි රැකියාවට සමු දී පැමිණි ටස්රි කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ කේටරින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහුට ඒ වන විට මුදල් ඇති පදම් තිබිණි. කේටරින් ව්‍යාපාරයට අමතරව ටස්රි සුවඳ විලවුන් වැනි දෑ පිටරටින් ආනයනයටද පියවර ගත්තේය. ඒ එම සුවඳ විලවුන් වර්ග මෙරටට ගෙන්වන ඒජන්සිවලට හොර රහසේය. එසේ වරක් ටස්රි ගෙන ආ රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ තොගයක් රේගුවට හසුවී රාජසන්තක කරන ලදී.

ඒ සමඟම ටස්රිගේ ව්‍යාපාරවලට කණකොකා හඬන්නට වූයේ මුදල් පිළිබඳ ඔහුගේ මනා කළමනාකරණයක් නොමැතිකමද හේතුවෙනි. අනතුරුව ඔහු විශාල ලෙස පොලි ගෙවමින් මුදල් ණයට ලබාගත්තේය. එම ණය පියවීමට තවත් පුද්ගලයන්ගෙන් විශාල පොලියකට මුදල් ණයට ගත්තේ දුරදිග නොසිතමිනි. කොළඹ පදිංචිව සිටි ටස්රි ඔහුටත් නොදැනී ලොකු ණය උගුලකට පැටළුණේ දූදරුවන්ගේ අධ්‍යාපනයටද වියහියදම් කිරීමටවත් ‘සත පහක්‘ ළඟ නැති තත්ත්වයට පත්වෙමිනි. ඊට අමතරව ඔහුට දිනකට දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන්නට වූයේ මුදල් ණයට ගත් අයගෙනි. ඒ අතර තර්ජනාත්මක දුරකතන ඇමතුම්ද තිබුණේ මුදල් ගෙවන ලෙසට බල කරමිනි. එම නිසා ටස්රි දවසේ වැඩි කාලයක් සිය ජංගම දුරකතනයද විසන්ධි කරගෙන සිටියේය. ඔහු සතු කාරය, වෑන් රථයද විකුණු අතර යතුරුපැදියද උකස් කළේ තත්ත්වය උග්‍ර අතටම හැරෙමිනි. ඔහු කෙතරම් උග්‍ර දරිද්‍රතාවකට පත්වුවද කිවහොත් දවසේ කෑම වේල සපුරා ගැනීමටවත් මුදල් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය.

මේ අතර මාතර සිටි ටස්රිගේ පියාද 2021 වසරේදී හිටිහැටියේම මිය ගියේය. පියාණන් මිය යන්නට පෙර මාතර නිවෙස සහ එම ඉඩමේම පිහිටි තවත් නිවෙසක් ටස්රි නමට ලියන ලද්දේ මවට ප්‍රාණ භුක්තිය පවරමිනි. ණයකාරයන්ගෙන් බේරීමක් නොමැතිව සිටි ටස්රිට සිහිපත් වූයේ මාතර නිවෙස් දෙකයි. මීට මසකට පමණ පෙරදී දිනක් ටස්රි මවට දුරකතන ඇමැතුමක් ගත්තේය.

“අම්මේ... තාත්තත් නැතිව අම්මට පුළුවන්ද මාතර තනියම ඉන්න...? ඔන්න ඔය ගෙවල් දෙක විකුණලා අම්මා කොළඹ අපේ ගෙදර එන්න... මං අම්මට හොඳට සලකන්නම්... අම්මා මාතර තනියම දුක් විඳිනවා... කාත් කවුරුත් ළඟපාතක නෑ... ඒක නිසා ඕවා විකුණලා අම්මා මගේ ළඟට එන්න...“ ඔහු මවගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ටස්රිගේ මව ෆතුමා ඊට කිසිම කැමැත්තක් දැක්වූයේ නැත. ඇය යාබද නිවෙස කුලියට දී ලැබෙන රුපියල් 28,000ක මුදලින් වියහියදම් පියවාගෙන සැහැල්ලුවෙන් ජීවත් වූවාය. පසුගිය දෙවැනිදා ටස්රි හිටිහැටියේම කොළඹ සිට මාතර ගියේය. ඒ වන විට මව නිවෙසේ නොසිටියාය. ඇය සිය නැඟණිය සිටින දෙහිවල නිවෙසට ගොසිනි. ටස්රි මවට දුරකතන ඇමැතුමක් දී මාතර පැමිණි බව කී සැණින් ඇය ඊට පසුදා එනම් තුන්වැනිදා මාතර නිවෙසට පැමිණියාය.

මව මුණගැසුණු මොහොතේ සිටම ටස්රි ‘කියවන්නට‘ වූයේ නිවෙස් දෙක විකුණා දමා මව කොළඹ රැගෙන යාමේ යෝජනාවමය. ඒ අතර ටස්රි මවගෙන් රුපියල් පනස්දහසක්ද ඉල්ලුවේය.

“මගේ ළඟ සල්ලි නෑ පුතේ... උඹ දන්නවනේ මං ජීවත්වෙන්නෙ ලැබෙන ගෙවල් කුලියෙන් බව...“ මව ටස්රිට එලෙස කීවාය. මව නිවෙස් දෙක විකිණීමේ යෝජනාවට කැමැති කරවා ගැනීමට ටස්රි දින දෙක තුනක්ම මාතර නිවෙසේ රැඳී සිටියේය. දිනය පසුගිය පස්වැනිදාය. එදින පාන්දර අවදි වූ ටස්රි මිදුල අතු ගාමින් සිටියේය.

“අම්මේ... උදේට කෑම හදන්න එපා... මං කඩෙන් කෑම අරන් එන්නම්...“ යැයි ටස්රි කීවේය. ඒ අතර කුලියට සිටින නිවෙසේ කාන්තාවද ටස්රිගේ මවට කතා කළාය.

“ෆතුමා... ඔයා උදේට කෑවද...? මං කෑම එකක් දෙන්න ද?“ ඇය ඇසුවාය.

“එපා... පත්මි... පුතා කඩෙන් කෑම ගේනවා කිව්වා...“ යැයි ෆතුමා කීවාය.

මිදුල අතු ගෑමෙන් පසු නිවෙස ඇතුළට ගිය ටස්රි මවට සාලයට කතාකොට පුටුවක වාඩි වී ආගමික පොත හෙවත් කුරානය කියවන්නට යැයි පැවැසීය.

ෆතුමා කුරානය කියවමින් සිටියදී එක්වරම පොල්ලක් රැගෙන මවගේ පිටුපසට පැමිණි ටස්රි දෙවරක් නොසිතා ඇගේ හිසට වෙරවීර්ය යොදා පොලු පහරක් එල්ල කළේ අමනුෂ්‍යයකු විලසිනි. ඇය පොත සමඟ පුටුවෙන් බිමට වැටිණි. ෆතුමාගේ හිසෙහි අඟල් හතරක පමණ පැලුමකි. සිහිය නැතිව වැටුණු මව දුටු ටස්රි සිතුවේ ඇය මරණයට පත්වූ බවය. ඔහුගේ අරමුණ සාර්ථක වූවායැයි සිතුවද මඳ වේලාවකින් මව මුවෙන් හුස්ම පිට කිරීමට පටන්ගත්තේ ඇයට සිහිය ඇති බව පෙන්වමිනි. එසැණින් ටස්රි මවගේ ගෙල දෙඅත්වලින් විනාඩි දහයක් පමණ මිරිකා සිටියේ ඇගේ අවසන් පණනළ වියැකී යන තෙක්මය. වැදු මව නොවූවත් කුඩා කල සිට කවා පොවා හැදු මව එලෙස ඝාතනය කළ ටස්රි මවගේ හිසෙන් ලේ ගංගාවක් සේ යද්දී ඇගේ මළසිරුර හිසකේවලින් ඇදගෙන ගියේ නාන කාමරය වෙතය.

පසුව මළසිරුර සෝදා ඇය ඇඳගෙන සිටි ඇඳුමද ලේ පැල්ලම් යවමින් සේදුවේය. පසුව මෙකී නරුම පුතු ෆතුමාගේ සිරුරට එම ඇඳුමම දිය රෙද්දක් සේ අන්දවා මව දිය නාමින් සිටියදී නාන කාමරයේ වැටුණු ආකාරයට සකස් කළේ ජල කරාමයද අරිමිනි. ඔහු නිවෙසේ සියලු ලේ පැල්ලම් සහ නාන කාමරයේද රුධිරය සෝදා දැමීය. එහෙත් ටස්රි නොදත් තුවාලද ෆතුමාගේ සිරුරේ ඒ වන විටත් සිදුවී තිබිණි. එසැණින් නිවෙසින් පිටත්වූ ටස්රි සවස 1.15 වෙද්දී කොළඹට පැමිණියේය. කොළඹ නිවෙසට යන අතරතුර මවට දුරකතන ඇමැතුම් කීපයක්ම ගත්තේය. අනතුරුව ඔහු දෙහිවල සිටින ෆතුමාගේ නැඟණිය හෙවත් ටස්රිගේ පුංචි අම්මාට කතා කළේය.

“පුංචි... අම්මා ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ... මොකද දන්නේ නෑ...“ ඔහු පුංචි අම්මාට එලෙස කීවේය. පසුව පුංචි අම්මාද ටස්රිගේ මවට ඇමැතුම් ගත්තාය. අනතුරුව යාබද කුලී නිවැසියන්ටද කතා කළ විට එම නිවැසියන් සෝදිසි කර කීවේ දොර වසා ඇති බවත් නිවෙස ඇතුළේ දුරකතනය නාද වන බවයි. ඒ සමඟම ටස්රි වැලිගම සිටින මාමා කෙනෙකුටද මව නිවෙසේ නැති බව කී පසුව එම තැනැත්තා පැමිණ දොරට ගසා දොර විවර කෙරිණි. ඔහු නිවෙස ඇතුළේ සෝදිසි කරද්දී දකින්නේ ෆතුමා නාන කාමරය තුළ වැටි සිටින ආකාරයයි. ඔහු ඒ බව ටස්රිට කීවේය. ඒ වන විට ටස්රිද කොළඹ සිට මාතර එමින් සිටියේය. ඒ අතර ටස්රි, මව නාන කාමරයේ වැටී සිටි ආකාරය දුටු මාමාට කතා කළේය.

“මාමේ... යන්න පොලිසියට... ගිහින් පැමිණිල්ලක් දාන්න අම්මා බාත්රූම් එක ඇතුළේ වැටිලා ඉන්නවා කියලා...“ ඒ අනුව මොහොමඩ් සුබයිර් නමැති වැලිගම පදිංචි එම තැනැත්තා පස්වැනිදා සවස 5ට පමණ මාතර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිල්ලක් සටහන් කළේය.

“සර්... මගේ නංගි බාත්රූම් එක ඇතුළේ වැටිලා නැතිවෙලා... පරීක්ෂණයක් කරලා බොඩිය රිලීස් කරලා දෙන්න...“ ඔහු පොලිසියෙන් එලෙස ඉල්ලා සිටියේය.

පැමිණිල්ල ලද සැණින් මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් 119 පොලිස් ජීප් රථය අදාළ නිවෙස සොයා ගියේය. මිය ගොස් සිටියේ ෆතුමා ෆරිනා නමැති 59 හැවිරිදි කතකි. හදිසි මරණ පරීක්ෂකවරයාද නිවෙසට පැමිණියේ එය හදිසි මරණයක් වූ හෙයිනි. මළ සිරුර මාතර මහ රෝහලට රැගෙන යාමට පොලිසිය කටයුතු කළේය. ෆතුමාගේ මරණය හදිසි මරණයක් හෙයින් මරණ පරීක්ෂණයක් සිදුකොට මළ සිරුර පසු දින ඥාතීන්ට ලබා දීමට තීන්දු කෙරිණි.

එදින රාත්‍රිය වන විට මාතර මහ රෝහලට පැමිණ සිටි ටස්රි තැත් කළේ කෙසේ හෝ මළසිරුර මරණ පරීක්ෂණයක් සිදු නොකොට ලබා ගැනීමටයි. ඒ සඳහා ඔහු දැඩි වෙහෙසක් ගත්තේ විවිධ පුද්ගලයන් ඔස්සේ පොලිසිය ඇතුළු වගකිවයුත්තන්ටද බලපෑම් කරමිනි. ඒ වන විට එම පරීක්ෂණ සඳහා මාතර රෝහලේ රැඳී සිටි මාතර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ උපපොලිස් පරීක්ෂක චන්ද්‍රකුමාර ඒ බව මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේද දැනුම්වත් කළේ ටස්රි සිදුකරන බලපෑම් ගැනද පවසමිනි.

“සර්... මේ මරණය බාත්රූම් එකේ වැටිලා සිදුවෙච්ච හදිසි මරණයක්... මෙයාලා බොඩි එක රෑම ඉල්ලනවා... මුස්ලිම් නිසා පැය 24න් අවසන් කටයුතු කරන්න ඕනලු... කපනවට එයාලා කැමැති නැහැලු... ඒත් එක්කම එක එක කෙනා දාලා බලපෑම් කරනවා...“ එහිදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙන්ම අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයාද උපපොලිස් පරීක්ෂක චන්ද්‍රකුමාරට කීවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකොට කිසිසේත්ම මළසිරුර ලබා නෙදෙන ලෙසයි.

පසුදා එනම් 6 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරි දයා සමරවීර සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ෆතුමාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු වූ ඝාතනයක් බවත් එය කිසිසේත්ම වැටීමකින් සිදුවූ මරණයක් නොවන බවය. ඊට අමතරව ඇගේ කකුලේ සහ සිරුරේ තවත් තැන්වලද තුවාල ඇති බව හෙළි විණි.

එම මරණය ඝාතනයක් බව අනාවරණය වීමත් සමඟ ප්‍රදේශය භාර ‌ෙජ්‍යෂ්ඨ පොලිස් නිලධාරින්ද ඒ බව දැනුම්වත් කළ මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කෝට්ටගේ ඇතුළු කණ්ඩායමක් එම විමර්ශන සඳහා එක් විය. එහිදී අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා 6 වැනිදා දහවල් වෙද්දීම මාතර රෝහලට ගොස් විමර්ශන ආරම්භ කළේ ඝාතනය වූ ෆතුමාගේ ඥාතින් 15 දෙනෙකුගෙන් පමණ තොරතුරු ලබා ගනිමිනි. එහිදී ෆතුමාගේ පුතු ටස්රිගෙන්ද ප්‍රශ්න කරන ලදී.

“කවදද ඔබතුමා අවසානයට අම්මව දැක්කෙ... නැත්නම් කතා කළේ...?“ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ටස්රිගෙන් ප්‍රශ්න කළේය.

“මං දෙවැනිදත් ගෙදර ඇවිල්ලා අම්මා බලලා ගියේ සර්...“ ටස්රි කීවේය.

ඒ වන විට පොලිස් නිලධාරින් ෆතුමාගේ මරණය ඝාතනයක් බව ඥාතින්ට කියා තිබුණේ නැත. පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන්, ටස්රිට කතා කළේය.

“මල්ලි මේ ඔයාගේ අම්මා බාත්රූම් එකේ වැටිලා නෙවෙයි මැරිලා තියෙන්නෙ... කවුරුහරි බෙල්ල හිර කරලා අම්මා මරලා... මේක ‘මර්ඩර්‘ එකක්...“

ඒ සමඟම ටස්රි ‘අනේ මගේ අම්මා...‘ යැයි පවසමින් රෝහල් භූමිය දෙවනත් කරමින් හඬන්නට වූයේය.

“මල්ලි... ඔයා කලබල වෙන්න එපා... අපි නීතිය පැත්තෙන් කෙරෙන්න තියෙන දේ උපරිම ලෙස ඉටුකරලා මේක කවුද කළේ කියලා හොයා ගන්නවා...“ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා එලෙස පවසමින් ටස්රි අස්වසාලූයේය.

“අනිවාර්යයෙන්ම සර්... මට වෙන්න ඕනේ එච්චරයි... මට මගේ අම්මට මේ අපරාධය කරපු කෙනා අල්ලලා දෙන්න... ඒ ඇති...සර්“ ටස්රි පොලිස් නිලධාරින් ඉදිරියේ එසේ කියන්නට වූයේ මවට සිදුවූ අපරාධයේ දුක් සෝසුසුම් උහුළාගත නොහැකි ලෙස හඬා වැළපෙන අතරේය. මඳ වේලාවක් ගත විය. ඒ වන විටත් රෝහල් භූමියේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් ඇතුළු කණ්ඩායම අසලට ටස්රි පැමිණියේය.

“සර්... ෂුවර්මද මේක මර්ඩර් එකක් කියලා... මටනම් ඒක විශ්වාස නෑ... මොකද මං කොළඹ ඉඳන් එනකොට අම්මා බාත්රූම් එකේ වැටිලා හිටිය හැටි පොටොත් ගහගත්තා...“ යැයි පවසමින් ටස්රි සිය ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප හතරක් පොලිස් නිලධාරින්ට පෙන්වීය. එය විමර්ශන නිලධාරින් සියුම්ව පරික්ෂා කරද්දී නිරීක්ෂණය වූයේ ෆතුමා නාන කාමරයේ වැටී සිටියත් ඇගේ හිසකේ හිසෙන් උඩු අතට දික්වී ඇති ආකාරයයි. ඒ ඇගේ සිරුර හිසකේවලින් කිසියම් අයකු නාන කාමරයට ඇදගෙන ගොස් දමා ඇති අයුරක් පිළිබිඹු කරවන්නකි. එසේම ඇගේ හිසේ අඟල් හතරක පමණ විශාල තුවාලයක් සිදුවී තිබුණත් එම ඡායාරූපවල අවට ‘ලේ‘ බිඳුවක් හෝ දකින්නට නැත. ඉන් පොලිස් නිලධාරින්ට ගම්‍ය වූයේ කවුරුන් හෝ විසින් රුධිරය සෝදා ඇති ආකාරයකි.

“කෝ මේකේ... ලේ බිංදුවක්වත් පේන්න නෑනේ...“ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුකමන් ටස්රිගෙන් ඇසීය.

“සර්... අම්මා ටැප් එකත් ඇරගෙන නාන ගමන්නේ වැටිලා තියෙන්නෙ... සමහරවිට හේදිලා ගියාද දන්නෙ නෑ...“ ටස්රි එසේ කීවද විමර්ශන නිලධාරින් ප්‍රශ්න කළේ රුධිරය සේදී ගියද කරාමයෙන් පිටවූ එම ජල පහර හිස තිබූ ස්ථානයට නොපැමිණෙන බවටයි. එසේම පොලිස් නිලධාරින් ප්‍රශ්න කළේ දිය නාමින් සිටි කෙනෙකු වැටී මිය ගියානම් ඇගේ තෙත කොණ්ඩය ඇඟටම ඇළෙන සේ පවතින බවත් හිසකේ උඩු අතට විහිදී යාමට හැකියාවක් නොමැති බවටයි.

“හරි මල්ලි... ඔයා බයවෙන්න එපා... අපි මේක කොහොමහරි හොයාගන්නම්...“ විමර්ශන නිලධාරින් එසේ පවසමින් මවගේ මරණයෙන් කම්පාවට පත්ව සිටි ටස්රි අස්වසාලීය.

මරණ පරීක්ෂණය සිදුවන ස්ථානයේ ඥාතින් සිටියදී ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් පිටව ගියේ මරණය සිදුවූ ෆතුමා ජීවත්වූ නිවෙසටයි. ඒ මොහොතේ සියල්ල පරීක්ෂා කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයා ඇමැතුවේ යාබද කුලී නිවෙසේ කාන්තාවයි.

“සර්... ෆතුමා අක්කගේ පුතා ගෙදර ඉඳලා ඊයේ උදේ ගියේ...“ එය ටස්රි කිසිම විටෙක නොකී කතාවක් බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සිහිපත් විය. සැණින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ටස්රිට දුරකතන ඇමතුමක් ගත්තේය.

“මල්ලි... ඔයා කවදද ගෙදර ආවේ...“

“දෙවැනිදා ඇවිල්ලා ගියා සර්...“

“දෙවැනිදා ඇවිල්ලා... දෙවැනිදාම ගියාද...?“

“නෑ සර්... මං දෙවැනිදා ඇවිල්ලා... තුන්වැනිදා ගියා...“

එම පිළිතුරු සමඟ මවගේ මරණයට ටස්රිගේ යම් සම්බන්ධයක් ඇති බව පොලිස් නිලධාරින්ට ඒත්තු යන්නට වූයේ මෙවැනි විමර්ශන පිළිබඳ ලද හසළ අත්දැකීම් ඔස්සේයි. ඒ අනුව එම නිවෙසට යන අරලිය මාවතේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවේදී පස්වැනිදා පෙරවරු 9.45ට පමණ ටස්රි එම මාර්ගයේ ගමන් කරන ආකාරය හොඳින්ම දිස් විය. අනතුරුව මාතර රෝහලේදීම පොලිස් භාරයට ගත් ටස්රි පොලිස් ජීප් රථයට නංවා ගැනිණි.

“අපි තමුන්ව අත්අඩංගුවට ගන්නවා... තමුන්ගේ අම්මා මැරුවේ වෙන කවුරුත් නෙවෙයි... තමුන්මයි...“ යැයි පවසමින් පොලිස් නිලධාරින් ඔහුට චෝදනා කෙළේය. “අයියෝ සර්... මගේ අම්මා මං මරනව ද?“ යැයි පවසමින් ටස්රි හඬා වැටෙන්නට විය. මාතර පොලිසියට රැගෙන ආ ටස්රිගේ කමිසය ගලවා පරීක්ෂා කරද්දී ඔහුගේ පිටේ සහ ගෙලෙහි සිරීම් තුවාල පොලිස් නිලධරයනට නිරීක්ෂණය විය. පොලිස් නිලධාරින් ඒ ගැන ඔහුගෙන් විමසීය.

“මේ තුවාල කොහොම වුණාද කියලා මං දන්නෙ නෑ සර්...“

“තමුන් දන්නෙ නැතිවෙන්නෙ කොහොමද තමුන්ගේ ඇඟේ තියෙන සීරිම්...“ පොලිස් නිලධරයන්ගේ ප්‍රශ්නවලින් ටස්රි නිරුත්තර විය. අනතුරුව සැකකාර ටස්රිගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරද්දී ඔහු සිය මව ඝාතනය කළ බව පිළිගත්තේ දීර්ඝ පාපෝච්චාරණයක් කරමිනි.

“සර්... මට තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා මේක වුණේ... මට ඕන වුණේ මාතර ගෙවල් දෙක විකුණලා ණය ගෙවන්න... ඒත් අම්මා කැමැති වුණේ නෑ ඒක කරන්න... අම්මට කුරානය කියවන්න දීලා පිටිපස්සෙන් ඇවිත් ගැහුවා... එතකොට අම්මා හොඳ තැනකට යාවි කියලා හිතපු නිසා කුරානය කියවන්න දුන්නෙ...“

“ඔන්න තමුන්ගේ අම්මා මරපු කෙනාට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න කිව්වනේ... දැන් අපි ඒ දේ අකුරටම ක්‍රියාත්මක කරනවා...“ යැයි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා සැකකාර ටස්රිට කීවේය. සැකකාර ටස්රි මව නාන කාමරයේ වැටී සිටි බව ඇඟවීමේ අටියෙන් ඡායාරූප ලබාගෙන තිබුණේ කොළඹ ගොස් නැවත පැමිණීමෙන් පසුවය. එහෙත් ඔහුගේ උපාය උපක්‍රම දක්ෂ විමර්ශන නිලධාරින් ඉදිරියේ පුස්සක්ම වී හමාරය. මෙකී අහස - පොළොව නුහුලන අපරාධය පැය 24ක් වැනි කෙටි කාලයකදී අනාවරණය කරගැනීමට මාතර පොලිසියේ නිලධාරින්ට හැකි වූයේ ඉතාම සූක්ෂ්ම ලෙස විමර්ශන සිදුකළ හෙයිනි.

මාතර කොට්ඨාස භාර ‌ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් මත පොලිස් අධිකාරි 1 අයි.ජී. චන්ද්‍රසේනගේ අධීක්ෂණයෙන් මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර කෝට්ටගේ, උපපොලිස් පරීක්ෂකවරුන් වන චන්ද්‍රකුමාර, උපාලි, දිලිප්, සැරයන්වරුන් වන 36324 කුලතුංග, 55952 හේමන්ත, කොස්තාපල්වරුන් වන 79376 ලක්ෂිත, 82492 කුමාර, 97358 වනිගසිංහ, 30671 සුලක්ෂණ 38686 ප්‍රේමදාස සහ කොස්තාපල් රියැදුරු 80464 තිලංක යන නිලධාරීහු එක් වූහ.

Comments