ATM වලින් සල්ලි ඇද්ද සුද්දෝ හික්කඩුවේ ඉඳන් ගහපු ගේම | Page 2 | සිළුමිණ

ATM වලින් සල්ලි ඇද්ද සුද්දෝ හික්කඩුවේ ඉඳන් ගහපු ගේම

නාරාහෙන්පිට ර්.ටී.එම්. යන්ත්‍රය

නාරාහේන්පිට පොලිස් ගරාජයට කිට්ටුවම ඇති මහවත්ත හන්දියේ පිහිටි වාණිජ බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයකට හානි කිරීමක් ගැන නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගිය 26 වෙනිදා උදෑසනය.

එම ඒ. ටී. එම්. යන්ත්‍රයට සිදුව තිබුණු හානිය දෙස බැලීමේදී බැංකු කාර්ය මණ්ඩලයට මෙන්ම පොලිසියේ නිලධාරීන්ටද පෙනී ගියේ ඒ. ටී. එම් යන්ත්‍රය බිඳ එහි ඇතුළත ඇති මුදල් සොරා ගැනීම සඳහා කිසියම් අයෙක් හෝ පිරිසක් උත්සාහයක නිරතව ඇති බවකි. යන්ත්‍රයට හානි කළ ද එහි ඇති සත පහක මුදලක් සොරා ගැනීමට හැකියාවක් නම් ලැබී නැත. ඒ යන්ත්‍රය කඩා තිබුණේ යතුරු පුවරුව ඇති කොටස සහ මුදල් පිටතට ගන්නා කොටස පමණක් වූ බැවිනි.

මෙසේ ඒ. ටී. එම්. යන්ත්‍රයක් කඩා බිඳ මුදල් සොරා ගැනීමට උත්සහා දැරූ පළමු අවස්ථාව වන්නේ මෙය නොවේ. මෙවැනි ප්‍රථමික උත්සහයන් ගැන කොතෙකුත් පැමිණිලි පොලිස් පොත්වල ලියැවී ඇත්තේය. ඒ අතර ඒ. ටී. එම්. යන්ත්‍ර පිටින් උස්සා ගෙන ගොස් මුදල් සොරා ගැනීම් ගැනීමක් ගැන තොරතුරු වාර්තා වන්නේ දසකයකට දෙකකට පෙරය. ඒ ගැන එදා විමර්ශනයක් පවත්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අදටත් එම නිලධාරීන් පොලිස් සේවයේ සිටිති. ඒ අය පවසන්නේ එම සොරකමට හසු වූයේ අප්‍රිකානු රටක පිරිසක් බවය. සංචාරක වීසා මඟින් මෙරට පැමිණ රැඳී සිටි ඔවුන් ඒ. ටී. එම්. යන්ත්‍රය පිටින්ම ගලවා ගෙන රැගෙන ගොස් තිබුණේ ලොරියක පටවාගෙනය.

මින්නේරිය යුද හමුදා කඳවුරේ රථ ගාලේ ඇති වාණිජ බැංකුවක ඇති ඒ. ටී. එම් යන්ත්‍රය කඩා සිදු කළ සොරකම මේ වන විට වාර්තා වී ඇත්තේ මෙරට බැංකුවක ඒ. ටී. එම්. යන්ත්‍රය බිඳ දමා සිදුකළ ලොකුම සොරකම ලෙසිනි. මහා දවාලයේ හමුදා සාමාජිකයන් ද බලා සිටියදී 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක මෙම සොරකම සිදු කරනුයේ එම ඒ. ටී. එම්. යන්ත්‍රය ඇති කුටිය අලුත් වැඩියාවකට පැමිණි පිරිසක් ලෙස හැසිරෙමිනි. සොරා ගැනීමට ලක්වූ මුදල සටහන් වන්නේ රුපියල් ලක්ෂ 76ක් ලෙසිනි.

ඒ අනුව බලන විට ඒ. ටී. එම්. යන්ත්‍ර කඩා මුදල් සොරා ගැනීම අරුමයක් නොවූවත් නාරාහේන්පිට පොලිස් ගරාජය ආසන්නයේ පිහිටි බැංකුවේ ඒ. ටී. එම්. යන්ත්‍රයට හානි කිරීම ගැන පොලිසියේ විශේෂ අවධානයකට යොමු වන්නේ ඊට සුදු හම ඇති විදේශිකයන් පිරිසක් සම්බන්ධ බවට පෙනී යන්නට වූ බැවිනි. ඒබව හෙළිවන්නේ එම ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටිය තුළ වූ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේදීය. එම ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණු දර්ශනවලට අනුව ඒ. ටී. එම් යන්ත්‍රය තුළට මුලින්ම ඇතුළු වන්නේ විදේශිකයන් දෙදෙනෙකි. ඒ අය විදේශිකයන් කියන්නේ සිරුරේ පැහැය හා මුහුණේ හැඩය අනුවය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු සිටින්නේ කැප් එකක් පැලඳ මාස්ක් එකකින්ද මුහුණ වසාගෙනය. දෙවැන්නා සිටින්නේ හිස වැසෙන සේ ඇති ටී- ෂර්ටයකින් සැරසීගෙනය. මාස්ක් එකක් ඔහු පැලඳ නොසිටියත් මුහුණ පැහැදිලිවම හඳුනා ගැනීමට එකවර නොහැකිය. ඒ ටී- ෂර්ටයේ හිස් ආවරණයෙන් ඔහු සිය හිස ආවරණය කරගෙන සිටි බැවිනි.

මේ දෙදෙනා හැඳ සිටි ටී-ෂර්ට් සිය සිරුරට ඇලවෙන තරමට සිර ඒවාය. ඒ තුළින් ඔවුන්ගේ සිරුරුවල මස්පිඩු ඉලිප්පී තිබෙන්නේ ඔවුන් ව්‍යායාම් වලින් සිය සිරුර කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතුකරන පිරිසක් බවට ලබා දෙමිනි. ටී-ෂර්ට් මෙන්ම ඔවුන් හැදි කලිසම් ද සිරුරට සිරවන ඒවාය. ඊට සරිලන පාවහන්ද පැලඳ සිටි ඔවුන් ඒ. ටී. එම්. කුටියට ඇතුළු වන්නේ යැයි පෙනී යන්නේ එදින අලුයම 4.18ට පමණය. ඒ පැමිණි ඔවුන් ඒ. ටී. එම්. යන්ත්‍රය අසල කැරකැවෙමින් සිටින්නේ යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි ඇති අය මෙනි. එහෙත් ඔවුන් කාඩ්පතක් යන්ත්‍රය තුළට ඇතුළු කර සත පහක මුදලක් ලබා ගන්නා බවත් කැමරා දර්ශනවලට අනුව නම් පෙනෙන්නට නොවීය. ඒ වෙනුවට ඔවුන් යන්ත්‍රය අතපත ගාමින් සිටියේ අමුතු වැඩකට සූදානමිනි.

මෙම ඒ. ටී. එම්. යන්ත්‍රය වෙත තවත් අයෙක් ඇතුළු වන්නේ ඔය අතරතුරදීය. එහිදී වැඩි කලබලයකින් තොරව මෙම විදේශිකයන් දෙදෙනා හැසිරෙන්නේ ඒ.ටී. එම්. යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට පැමිණි අය ලෙසිනි. එහිදී ඔවුන් බිම වැටී තිබුණු ලදුපත් දෙකක් අතට ගෙන එය පරීක්ෂා කරමින් සිටින්නට වූයේද කිසිදු සැකයකට ලක්නොවන ලෙසිනි. ඔවුන් ඒ. ටී. එම්. යන්ත්‍රයෙන් පිටතට යන්නේ එම ලදුපත් දෙක අතට ගෙන කියවමිනි.

නැවතත් මෙම විදේශිකයන් දෙදෙනා ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වන්නේ විනාඩි කිහිපයකට පසුවය. ඒ පැමිණි ඔවුන් මුලින්ම කරනුයේ ආරක්ෂක කැමරාව ස්ටිකරයකින් වසා දැමීමය. ඒ. ටී. එම්. යන්ත්‍රයට ඔවුන් හානිකර ඇත්තේ ඉන් අනතුරුවය. ආරක්ෂක කැමරා වසා තිබීම නිසා ඔවුන් ඒ කරන්නේ කුමක්දැයි ඉන් එහාට කිසිවක් දැන ගන්නට නොවීය. බැංකු නිලධාරීන් මෙන්ම පොලිසිය ද සිතන්නේ ඒ. ටී. එම්. යන්ත්‍රය කඩා මුදල් සොරා ගැනීමකට මෙම විදේශිකයන් උත්සාහ දරා ඇති බවක් පමණි.

එදා නාරාහේන්පිට බැංකුව තුළ සිදු වූයේ එවැනි සරලව සිතිය නොහැකි සොරකමක සූදානමක් බව පැහැදිලි වන්නේ ඊට සිවුදිනකට පසු දකුණේ පිහිටි වෙනත් වාණිජ බැංකු තුනකටම මෙම විදේශිකයන්ගෙන් තාක්ෂණික ප්‍රහාරයක් එල්ල වී තිබීම හේතුවෙනි. එම ප්‍රහාරය සුළුවෙන් තැකිය නොහැකි සිදුවීමක් බවට පත්වන්නේ ඒ. ටී. එම්. යන්ත්‍රය හැක්කර එහි පරිගණක පද්ධතියේ පාලනය සියතට ගෙන යන්ත්‍රයේ ඇති සියලුම මුදල් සොරාගෙන තිබීම නිසාය. අඩුම තරමින් ඔවුන් මෙම සොරකම සිදු කරනු ලබන්නේ ඇඟිලි සලකුණක්වත් ඉතිරි නොකරමිනි. ඔවුන් මේ වැඩේ කරන්නේද කුටිය ඇතුළට ආ හැටියෙම ආරක්ෂක කැමරා සියල්ලටම ස්ටිකර් අලවාය. ඒ ඔවුන් කරන මේ ගේම ආරක්ෂක කැමරා දර්ශන මඟින් හඳුනා ගැනීමට ඉඩක් නොතබමිනි.

මුලින්ම මේ අයගේ ග්‍රහණයට ලක්වන්නේ එම බැංකුවේ හික්කඩුවේ පිහිටි ශාඛාවේ ඇති ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියයි. ඊට ඇතුළු වන්නේ ද නාරාහේන්පිට ඒ. ටී. එම්. යන්ත්‍රය තිබුණු කුටියට ඇතුළු වූ විදේශිකයන් දෙදෙනාමය. ඒ ඔවුන්ම යැයි හඳුනා ගන්නේ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ කළ සියුම් විමර්ශනයකිනි.

30 වෙනිදා අලුයම 1.40ට පමණ හික්කඩුවේ ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වන මෙම විදේශිකයන් දෙදෙනා මුලින්ම කරනුයේ ආරක්ෂක කැමරා දර්ශන අවහිර කරමින් කැමරාවලට ස්ටිකරයක් ඇලවීමට. ටික වේලාවකට පසු එම ස්ටිකරය ගැලවෙන්නේ ඔවුන් ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියෙන් එළියට යන විටදීය.

මෙදින මේ අයගේ දෙවැනි ඉලක්කය බවට පත්වන්නේ ගාල්ල කරාපිටියේ පිහිටි ඒ. ටී. එම්. යන්ත්‍රයකි. එම යන්ත්‍රය ද හික්කඩුවේ ඒ. ටී. එම්. යන්ත්‍රයට සම්බන්ධ බැංකුවේම කරාපිටිය ශාඛාවේ ස්ථාපිත කර තිබූවකි. මෙම විදේශිකයන් දෙදෙනා ඊට ඇතුළු වන්නේ අලුයම 3.22ට පමණය. මෙහි වැඩි වේලාවක් ඔවුන්ට රැඳී සිටීමට ඉඩක් නොවීය. ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියේ රැඳී සිටි මෙම විදේශිකයන් ගැන යම් සැකයක් ඇති වන බැංකු ආරක්ෂක නිලධාරියා ඒ ගැන විමසිලිමත් වන්නට ගත්තේය. ඒ නිසා කරන්නට ආ වැඩේ භාගෙට අවසන් කරමින් ඔවුන් එතැනින් පැන ගත්තේ වැඩේ ලෙඩේ කර නොගෙනය.

මෙදින මොවුන්ගේ තෙවැනි ඉලක්කය බවට පත්වන්නේ බද්දේගම පිහිටි එකී වාණිජ බැංකුවේම ශාඛාවක පිහිටි ඒ. ටී. එම්. යන්ත්‍රයකි. අලුයම 1.15ට පමණ ඊට ඇතුළු වන ඔවුන් එතැනින් පිටව යන්නේ ආ වැඩේ හරියටම කරගෙනය.

ඒ. ටී. එම්. යන්ත්‍ර පිහිටි කුටියට රිංගා විදේශිකයන් ගැසූ ගේම කුමක් දැයි මුලින්ම එළියට එන්නේ හික්කඩුවේ සහ බද්දේගම බැංකු ශාඛාවලිනි. ඒ බැංකුවේ ගනුදෙනුකරුවන්ගෙන් එදා උදෑසන සිට එක දිගටම ඒ. ටී. එම්. යන්ත්‍රයේ මුදල් නොමැති බවට පැමිණිලි ගලා එන්නට ගැනීමත් සමඟිනි. එහෙත් බැංකුවේ පරිගණක පද්ධතියට අනුව නම් එම ඒ. ටී. එම්. යන්ත්‍රවල ඇති තරම් මුදල් පිරී තිබුණේය. මේ නිසාම මේ ගැන විශේෂ අවධානයක් යොමු කරමින් කළ පරීක්ෂාවේදී අනාවරණය වන්නේ බැංකුවේ පරිගණක දත්ත පද්ධතිය තුළ ඒ. ටී.එම්. යන්ත්‍රවල මුදල් ඇති බවට පෙන්නුම් කළ ද යන්ත්‍ර තුළ සත පහක මුදලක් නොමැති බවය.

ඒ ගැන සොයා බැලීමේදී බැංකු කාර්ය මණ්ඩලයට පෙනී යන්නේ එම ඒ. ටී. එම්. යන්ත්‍රවල ඇති කැමරාවලටද හානි සිදුවී ඇති බවය. ඒ. ටී. එම්. යන්ත්‍රයේ ඇති කැමරාවලට හානි සිදුව තිබුණත් කුටියේ කැමරාවලට කිසිදු හානියක් සිදුවී නොතිබුණි. එබැවින් එම කැමරාවල සටහන්ව ඇති දර්ශන පරීක්ෂා කිරීමේදී බැංකු කාර්ය මණ්ඩලයට පෙනී යන්නේ විදේශිකයන් දෙදෙනෙක් ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වීමත් සමඟ මේ සියල්ල සිදුවී ඇති බවය. ඒ අනුව දකුණේ සෙසු බැංකු ශාඛාවලින් ද මේ ගැන සොයා බැලීමේදී අනාවරණය වන්නේ ගාල්ල කරාපිටියේ පිහිටි බැංකු ශාඛාවේ ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියට ද එම විදේශිකයන් ඇතුළු වී ඇති බවකි. එහෙත් ඔවුන්ට එම ඒ. ටී. එම්. යන්ත්‍රයේ ඇති සියලුම මුදල් පිටතට ගැනීමට හැකියාවක් නොලැබෙන්නේ ආරක්ෂක නිලධාරියාගේ අවධානය ඔවුන් වෙත යොමුවීම හේතුවෙනි. එම ඒ. ටී. එම්. යන්ත්‍රය තුළ මිලියන ගාණක මුදලක් ඒ මොහොතේ තිබී ඇතත් පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වී ඔවුන්ට සොරා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණි. එහෙත් ඔවුන් මුලින්ම කැඩූ හික්කඩුවේ ඒ. ටී. එම්. යන්ත්‍රය සුද්ද කර තිබුණේ රුපියල් හතළිස් හය ලක්ෂ අසූ දහසකට වැඩේ දෙමිනි. එදා අවසානයට අත තැබූ බද්දේගම බැංකුවේ ඒ. ටී. එම්. යන්ත්‍රයෙන් ඔවුන් සොරා ගෙන තිබුණු මුදල රුපියල් පනස්හත් ලක්ෂයකි.

මෙහිදී සිදුව තිබුණේ බැංකු කාර්ය මණ්ඩලයට මෙන්ම පොලිසියටත් හිතා ගන්නට බැරි තාක්ෂණයත් සමඟ මුසු වුණු දැවැන්ත සොරකමකි. මෙයට පෙර මෙවැනි සොරකමක් මෙරට සිදුව නොතිබුණු බැවින් පොලිසියට මේ ගැන එල්ලවී ඇත්තේ අභියෝගයකි. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මඟින් ඉල්ලා ඇත්තේ ද එබැවිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ද මේ වන විට මෙම විදේශිකයන් හඳුනා ගෙන නීතිය හමුවට ගෙන ඒමේ මෙහෙයුමට එක්ව ඇත්තේ ගාල්ල, හික්කඩුව, බද්දේගම යන පොලිස් ස්ථාන මඟින් සහ දකුණු පළාත් අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන විමර්ශනයන්ට අමතරවය. 

මේ හැම කණ්ඩායමක්ම මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ ඒ. ටී. එම්. යන්ත්‍රයේ පරිගණක පද්ධතියේ පාලනය මෙම විදේශිකයන් විසින් සිය අණසකට යටත් කරගෙන මෙම අපරාධය සිදු කර ඇති බවය. එය සිදු කර ඇත්තේ යැයි සැක කරනුයේ ඒ. ටී. එම්. යන්ත්‍රයේ කැමරාව ඇති ස්ථානය බිඳ ඒ තුළින් කුඩා මෙවලමක් ඇතුළු කර යන්ත්‍රයේ ඇති වයර් කිහිපයක් පිටතට ගෙන එම වයර් ඔවුන් සතුව ඇති උපකරණයක් හා සම්බන්ධ කරමින් බවය. ඒ. ටී. එම්. යන්ත්‍රය බැංකු පද්ධතියේ පාලනයෙන් ගිලිහී ගොස් මෙම අපරාධකරුවන්ගේ පාලනයට නතුකර ගෙන ඇත්තේ ඒ තුළිනි. අනතුරුව ඔවුන් තමන්ට සිතැඟි පරිදි ඒ. ටී. එම්. යන්ත්‍රයේ මුදල් පිටතට අදින්නේ කාඩ්පත් රහිත ගනුදෙනුවක් කරන ආකාරයටය. ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටිය වෙත ඇතුළු සැණින් මෙම සොර රැළ ආරක්ෂක කැමරාවලට ස්ටිකරයක් අලවන්නේ ඔවුන් සිදු කරන මේ දේ සඟවන්නටය. ඒ. ටී. එම්. යන්ත්‍රයේ පරිගණක පද්ධතිය සිය පාලනය යටතට ඔවුන් ගන්නා හැටි ගැන හරියටම තාමත් කියන්නට බැරිවී ඇත්තේ එබැවිනි. එහෙත් පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ ඒ. ටී. එම්. යන්ත්‍රයේ මෘදුකාංග පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මෘදුකාංග වෙනස් කර මෙම සොරකම සිදු කර ඇති බවය.

සෑම අවස්ථාවකදීම ඒ. ටී. එම්. යන්ත්‍රය පිහිටි කුටියට සුදු හම ඇති විදේශිකයන් දෙදෙනෙක් ඇතුළු වූ බව කැමරා දර්ශනන මගින් පෙනී ගිය ද මේ තාක්ෂණික සොරකමට සම්බන්ධව සිට ඇත්තේ දෙදෙනෙක් නොව සිවු දෙනෙකි. ඒ බව තහවුරු කර ගන්නේ විමර්ශන කණ්ඩායම් විසින් කරනු ලබන සියුම් විමර්ශන ඔස්සේය.

හතරවටේම ආරක්ෂක කැමරා තිබුණත් මේ අය නාරාහේන්පිට මහවත්ත හන්දියේ පිහිටි බැංකුවට ආගිය හැටි ගැන කිසිදු තොරතුරක් නොවූවත් හික්කඩුව, ගාල්ල හා බද්දේගම බැංකු තුනේ ඒ. ටී. එම්. යන්ත්‍රවලට ගේම ගැසීමට පැමිණියේ කළු පැහැති මෝටර් රථයකින් බව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේය. ඒ ආරක්ෂක කැමරා දර්ශන රැසක් ඔස්සේ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය. මෝටර් රථයේ හැඩය පැහැය පමණක් නොව, එහි අංකය ද මතු කරගත් විමර්ශන නිලධාරීන් එහි හිමිකරුවන් කවුරුන්දැයි කියා සොයා බැලීමේදී පෙනී යන්නේ මෝටර් රථයේ හිමිකරු ගම්පහ පැත්තේ පදිංචිකරුවෙක් බවය. ඒ ඔස්සේ මෙම අපරාධකරුවන් පස්සේ පැන්නීම ඵලක් නොවන බව පසක් වන්නේ එම අංකය දරන මෝටර් රථය රතු පැහැති වෙනස්ම වර්ගයේ මෝටර් රථයක් බව පෙනී යෑම නිසාය. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම විදේශිකයන් අංක තහඩු වෙනස් කළ මෝටර් රථයක් මෙම වැඩේට යොදා ගෙන ඇති බවය.

මෙවැනි වැඩක් කරන්නට නම් ඔවුන්ට තනිවම එය කළ නොහැකිය. ඊට අපේ රටේ අයකුගෙන් සහයෝගයක් ද තිබිය යුතුය. බොහෝ විට මෝටර් රථය මෙම විදේශිකයන්ට ලබාදී ඇත්තේ ඔවුන්ගේ මෙරට සහයකයා විය හැකිය. තවමත් ඒ අය කවුරුන්දැයි පෙනී ගොස් නැතත් තාක්ෂණික මෙහෙයුමක් ඔස්සේ කළ විමර්ශනයකින් පෙනී ගොස් ඇත්තේ මෙම විදේශිකයන් හික්කඩුව හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව රැඳී සිටි පිරිසක් බවය. ඒ බව අනාවරණය කර ගැනීමට ඉවහල්වී ඇත්තේ දුරකතන ජාල පරීක්ෂාවකි. ඒ තුළින් පෙනී යන්නේ සතියක් හෝ දෙකක් මෙම විදෙස් සොර කල්ලිය දකුණේ සැරිසරා ඇති බවය. ඒ අය කවුරුන්දැයි නිශ්චිතව තවමත් අනාවරණය කරගෙන නැතත් සැකයට ලක්ව ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙන් කැඩුණු රටකින් සංචාරක වෙස් ගෙන මෙරටට පැමිණි සොර නඩයක් විසින් මෙම සොරකම සිදුකර ඇති බවය.

එවැනි සැකයක් ඇති වන්නේ මෙවැනි තාක්ෂණික ගේම් ගසා මෙයට පෙර හසුවී ඇති විදේශිකයන් වැඩි දෙනෙක්ම එම රටවල වැසියන් වන බැවිනි. ඒ. ටී. එම්. යන්ත්‍රවලට කාඩ්පත ඇතුළු කරන කොටසට උපකරණයක් සවිකර ඒ ඔස්සේ ඒ. ටී. එම්. කාඩ්පත්වල දත්ත සොරා ගෙන අපේ රටේ මුදල් සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී ගොඩනැඟුණු රටවල ඇති ඒ. ටී. එම්. යන්ත්‍රවලින් සොරා ගැනීම් ගැන පවා මෙයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ රාශියක් කර තිබු‍ණේ ද ඊට සම්බන්ධ විදේශිකයන්ද අත්අඩංගුවට ගනිමිනි. රුසියාව සහ යුක්රේන් යුද්ධය හේතුවෙන් මේ වන විට මෙරටට සංචාරකයන් ලෙස වැඩි වශයෙන් පැමිණ සිටින්නේද රුසියානු සමූහාණ්ඩුවෙන් කැඩුණු රටවල වැසියන්ය. පවුල් පිටින් ඔවුන් මෙරට රැඳී සිටින්නේ නිවාස කුලියට පවා ගෙනය. එවැනි අය වැඩි පිරිසක් රැඳී සිටින්නේ හික්කඩුවේ සිට වැලිගම දක්වා මුහුදු තීරය ආශ්‍රිතවය. ඒ. ටී. එම්. බිඳ මුදල් සොරාගත් සොර කල්ලිය ද සිට ඇත්තේ ඒ ගොන්නේය. මෙම සොර කල්ලිය පසුගිය 30 වෙනිදායින් පසු සක්‍රීය වූ බවක් තවමත් අනාවරණය වී නැත.කෝටියකට අධික මුදලක් ඔවුන් සොරාගෙන ඇති බැවින් එම මුදල් වියපැහැදම් වී අවසන් වූ පසු නැවත මතුවන්නට ඇති ඉඩකඩ බොහෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන නිලධාරීන් උත්සාහයක නිරතව සිටින්නේ ඊට පෙර ඔවුන්ව කොටු කර ගැනීමටය.

Comments