වළගම්බා රජුගේ කඩුවක් ලක්ෂ 40කට විකුණන්න හදලා | Page 5 | සිළුමිණ

වළගම්බා රජුගේ කඩුවක් ලක්ෂ 40කට විකුණන්න හදලා

ඇතැම් පුද්ගලයෝ රට පුරා තැනින් තැන නිදන් සොයා කැණීම් සිදු කරති. එවැනි කැණීම්වලින් ගොඩ ගන්නා මුතු මැණික් මෙන්ම පෞරාණික භාණ්ඩද අලෙවි වන්නේ රුපියල් කෝටි ගණනිනි. නිදන් තිබෙනා ස්ථාන නිවැරදිව සොයා ගැනීමට අධික මිලකින් යුත් ‘ස්කෑන්‘ යන්ත්‍රද මිලදී ගන්නා ඇතැමුන් මෙවැනි කැණීම් සිදු කරන්නේ එක දිනකින් පොහොසත් වීමටය.

නිදන් ගොඩ ගත් සැණින් මුදල් නොලැබේ. එසේ නම් ඒවා රහසිගතව විකුණා මුදල් ලබා ගත යුතුය. මෙලෙස සූක්ෂ්මව අලෙවි කිරීමට ගිය නිදන් වස්තු පොලිසිය භාරයට පත් වන්නේ සැකකරුවන්ද නොසිතනා මොහොතකදීය. වළගම්බා රජුට අයත් බවට සැක කරන කඩුවක් රුපියල් ලක්ෂ හතළිහකට එලෙස අලෙවි කිරීමට ගිය දෙදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගිය 21 වැනිදාය.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරට ඔත්තුකරුවකුගෙන් විශ්වාසදායී ආරංචියක් ලැබුණේ පසුගියදාය. වළගම්බා රජුට අයත් බවට සැක කරනා කඩුවක් පුද්ගලයකු විසින් ලක්ෂ 60කට විකිණීමට උත්සාහ කරන බවටය. මේ පිළිබඳ පරීක්ෂණ භාර වන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍රටය. මහේන්ද්‍ර, සැරයන් (428) ජයලාල් සමඟ එක්ව සැකකරුවන් කොටු කර ගැනීමට සැලසුමක් සකස් කරන්නේ ඉන් පසුවය.

"මල්ලි ඔයාල ළඟ නිධානෙකින් ගත්ත මොනව හරි විකුණන්න තියෙනවද?" ඒ ගැනුම්කරුවන් ලෙස වෙස්වළා ගත් වලාන නිලධාරීන්ය. "නෑ... අයියේ... අපි ළඟ එහෙම මොනවත් නෑ... අයියල වැරදි නම්බරේකට අරන් තියෙන්නේ..." දුරකතනය විසන්ධි විය. නැවත පොලිස් නිලධාරීන් එම දුරකතනයට ඇමතුවේ නැත. දින කිහිපයක් ගත විය. නැවතත් එම දුරකතනයට ඇමතුමක් ගන්නා නිලධාරීන් සුහදව කතාබහක නිරත වන්නේ කාටත් සැකයක් නොසිතෙනා අයුරිනි.

"මල්ලි ඔයාල ළඟ නිධානෙකින් ගත්ත කඩුවක් තියෙනව කියල මගෙ හිතවතෙක් කිව්වා. ඒක තාම තියෙනවනම් අපි හොඳ ගාණකට කරමු. මං ඇන්ටික් බඩු බයර් කෙනෙක්..."

"අයියල කොහෙන්ද?"

"අපි මීරිගමින්... මල්ලි හිතල බලල මේකට කෝල් එකක් දෙන්න..." වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට වලාන නිලධාරීන් උපන් හපනුන්ය. නැවත සැකකරුවන්ට ඇමතුම් නොගැනීමට වගබලා ගන්නා නිලධාරීන් ඒ පිළිබඳ සිටියේ දැඩි විපරමෙනි.

"අයියේ.... අර කඩුවෙ ෆොටෝ ටිකක් මං එවන්නම්. මේක ගොඩක් වටින එකක්. වළගම්බා රජ්ජුරුවන්ට අයිති එකක්. අයියට සුද්දෙක් අල්ල ගත්තොත් හොඳ ගානකට දෙන්නත් පුළුවන්..." කඩුව ළඟ තබාගෙන සිටි පුද්ගලයා කියන්නේ තවත් දින කීපයකට පසුය.

වට්ස්ඇප් මඟින් පැරණි කඩුවක ඡායාරූප කිහිපයක් ලැබෙන්නේ ඉන් පසුවය. ඒ සඳහා සුදුසු ගනුදෙනුව වන තැනටම සැකකරුවන් සමඟ සුහද වන වලාන නිලධාරීන් ඉක්මනින්ම ‘දිනයක්‘ කතා කර ගැනීමටද අමතක කරන්නේ නැත. සැකකරුවන්ටද මේ පොලිස් නිලධාරීන් යැයි කිසිම සැකයක් නැත. ඒ තරමටම නිලධාරීන් ඔවුන් සමඟ මිතුරු වී අවසන්ය.

ගනුදෙනුව සිදු කිරීමට තෝරා ගන්නේ බදුල්ල දිස්ත්‍රික්කයයි. වේලාවක් කියා බදුල්ලට පැමිණෙන්නැයි සැකකරුවන් නිලධාරීන්ට පැවසුවද ගමන පිටත් වී මොහොතකින් තැන වෙනස් කරන්නේ මොන යම් හෝ කුකුසක් සැකකරුවන්ට ඇතිවීම නිසාය. ඉන්පසුව බළන්ගොඩට පැමිණෙන්න යැයි ඔවුන් පොලිස් නිලධාරීන්ට පවසන අතර කෙසේ හෝ මොවුන් අත්අඩංගුවට ගැනීම නිලධාරීන්ගේ ඉලක්කය වීමෙන් නිලධාරීන් ඊට අවනත වන්නේය.

ගනුදෙනුව කතා කර ගත් නිලධාරියා එක් වාහනයකද වලාන නිලධාරීන් තවත් වාහනයකද මෙහෙයුම සඳහා ගමන් කරන අතර පළමුව බළන්ගොඩ ඉන්ධන පිරවුම්හලක් අසලට පැමිණෙන්නැයි සැකකරුවන් පවසා සිටියෝය. එහෙත් එකවරම සැකකරුවන් තමන්ට පැමිණීමට අවශ්‍ය නිවැරදි තැන නොකියනා බව පොලිස් නිලධාරීන් හොඳින්ම දන්නා කරුණකි. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියකු සැකකරුවන් පැවසූ බෙලිහුල්ඔය ප්‍රදේශයට පැමිණ අවසන්ය. ‘කඩුවේ ගනුදෙනුවට‘ පැමිණ ඇත්තේ පොලිසියෙන් බව සැකකරුවන් හීනෙකින්වත් සිතුවේ නැත.

"මල්ලි අපි ඔයා කිව්ව තැනට ඇවිත් ඉන්නෙ." "හරි අයියෙ. මං කඩුව අරන් එන්නම්..." ස්කූටියකින් එක් අයකු පැමිණියද කඩුවක් පෙනෙන්නට නැත. පැමිණි පුද්ගලයා වෙස්වළා ගත් පොලිස් නිලධාරියා සමඟ මොහොතක් කතා කෙළේය. සැකකරුවන්ටද නිලධාරියා ගැන විශ්වාසයක් ඇති වීමෙන් පසු වෙනත් අයකු එතැනට කඩුව රැගෙන එන්නේ ගනුදෙනුව අවසන් කිරීමටය. පළමුව ලක්ෂ 45ක් කීවද අවසානයේ කඩුව ලක්ෂ 40කට මිල නියම වන්නේය.

"මල්ලි මං සල්ලි අරන් එන්නම්..." නිලධාරියා එසේ කියා ගත වූයේ මොහොතකි. කවුරුත් නොසිතනා අයුරින් සිවිල් මෙන්ම නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ගිනිඅවි අතැතිව එතැනට පැමිණියේ ක්ෂණිකවය. සැකකරුවන් දෙදෙනාට කිසිත් සිතාගත නොහැකිය. එවෙලේම සැකකරුවන්ගේ අතට මාංචු වැටුණු අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා සමනලවැව පොලිසියට භාර දීමට වලාන නිලධාරීන් කටයුතු කරන්නේ ඉන් අනතුරුවය.

වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ මේ කඩුව වෙනත් අයකු විසින් තමන්ට දුන් බව සැකකරුවකු පවසා තිබිණි. ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට වලාන නිලධාරීන් අල්ලා ගත් සැකකරුවකු මාර්ගයෙන් දුරකතන ඇමතුමක් දී තිබිණි. එහෙත් එම සැකකරු යම් සැකයක් ඇති වී තිබීමෙන් ඔහු පලා ගොස් ඇත. මේ වළගම්බා රජුට අයත් බවට සැක කරනා කඩුව මහියංගණය ප්‍රදේශයේ කැණීමකින් සොයා ගත් බවත් එම කැණීම සිදු කරනා අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක්ද ඔවුන්ගේ ස්මාට් දුරකතනවල තිබී සොයාගෙන ඇත. මේ කඩුව පිළිබඳ පුරා විද්‍යා වාර්තාවක් ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ නීති විරෝධීව පුරා විද්‍යාවට අයිති භාණ්ඩයක් විකිණීමට යෑමේ වරද හේතුවෙනි.

පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරගේ උපදෙස් මත පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය, (94009) ශ්‍රියන්ත, (104678) කුමාර, (104547) කුලකුලසූරිය, (39850) අශාන්, (91287) සංජීව, කොස්තාපල් රියැදුරන් වන (80501) තිසර සහ (105536) මල්ලවආරච්චි යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

 

Comments