රජ පවුලම තිගස්සන හැරීගේ අලුත් පොත | Page 3 | සිළුමිණ

රජ පවුලම තිගස්සන හැරීගේ අලුත් පොත

නිතර නිතර පුවත් මවන බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ අලුත්ම පුවත හැරී කුමරුගේ පොත ය. අමෙරිකාවේ කළු ජාතික කාන්තාවක වන මේගන් මාකල් සමඟ විවාහ වීමෙන් රජ පවුලේ අභ්‍යන්තර උදහසට ලක් වූ මේ හිතුවක්කාර කුමාරයාගේ ස්වයං අපදාන කෘතිය ‘Spare‘ ලබන අඟහරුවාදා නිකුත් කිරීමට නියමිත අතර, එය බ්‍රිතාන්‍ය රජ පවුලේ ආටෝප සාටෝප එහෙම පිටින්ම කුඩුපට්ටම් කර දමනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී හමාරය. 

කවදත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ඕපාදූප සහ පුවත් වැඩි අවධානයට ලක් වූවකි. අසූව දශකයේ මුල් භාගයේදී එවකට ලොව වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ චාල්ස්-ඩයනාගේ අසිරිමත් විවාහ මංගලෝත්සවයේ සිට පසුගියදා එලිසබෙත් මහරැජනගේ අවමංගලෝත්සවය දක්වා රජ පවුලේ තොරතුරුවලින් ජාත්‍යන්තර මාධ්‍ය සහ අන්තර්ජාලය පිරී ඉතිරී ගියේය. එහෙත් ජනවාරි 10 අඟහරුවාදා එළිදැක්වෙන හැරී කුමරුගේ කෘතිය නම් පෙනෙන හැටියට ඊට වැඩි දෙයක් හානියක් රජපවුලට සිදුවනු ඇතැයි එරටේම මාධ්‍යවල පළවන පුවත්වලින් පෙනේ.

හැරී කුමරු නොඑසේ නම් සසෙක්ස් හි ආදිපාදවරයා රජ සම්පත්වලට පයින් ගසා සිය බිරියගේ උපන් බිමේ පදිංචියට ගියේ නිදහසේ ජීවත් වෙන්නටය. 38 හැවිරිදි හැරී මේ වන විට බ්‍රිතාන්‍ය කිරීටය දරන තුන්වැනි චාල්ස් රජුගේ බාල පුතුය. වේල්සයේ කුමරු විලියම්ගේ බාල සොයුරාය. ඒ සියල්ලටම වඩා පොදු ජනතාවගේ කුමරිය ලෙස ලොවම ආදරය කළ ඩයනාගේ වැඩිම ආදරය දිනා ගත් සුරතලාය.

එවකට ඩයනා කුමරිය ජීවත්ව සිටියදී ලැබූ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය කිසිදු අඩුවකින් තොරව ලබමින් සිටින හැරී රජ පවුලෙන් ඉවත්වූවත් වෙනස් නොවූ අතර, ඔහුගේ ස්වයං අපදානය කුමරුගේ ජනප්‍රියත්වය තව දුරටත් වැඩිවීමට ඉවහල් වනු නිසැකය.

පසුගිය දින කිහිපයේ සිටම බ්‍රිතාන්‍ය ජනතාවගේ සහ මාධ්‍ය අතර වැඩිපුරම කතාබහට ලක්වෙමින් තිබෙන්නේ ද මේ කාරණාවය. තවමත් නිකුත් නොවූවත් හැරීගේ පොතේ ඇති රජ පවුලට සම්බන්ධ බොහෝ රහස් හෙළි වී අවසන්ය. ඒවා රජ පවුලේ කීර්තිය හා අභිමානය අභියෝගයට ලක් කරන මතභේදාත්මක තොරතුරුය.

කෘතිය දොරට වඩිනතුරු පුල පුලා බලා සිටිය නොහැකි අයට දැනගන්නට එවැනි තොරතුරු රැසක් දැනටමත් හෙළි වී තිබේ. ඒ අතරින් වැඩිම අවධානයට ලක් වී ඇත්තේ හැරී කුමරු සිය වැඩිමල් සොයුරු විලියම්ගේ පහර කෑමට ලක් වීමේ පුවතය. මේ කියන පහර කෑමේ සිද්ධිය එක් රැයකින් සිදු වූවක් නොවන අතර, රජ පවුලට නොගැළපෙන විවාහයක් කරගත් බවට චෝදනා කරමින් හැරී කුමරු රජ පවුලේ හිංසාවට හා හිරිහැරයට ලක්වන්නට වූයේ මුල සිටමය. නොගැළපෙන විවාහය කෙසේ වුවත් එය අසාමාන්‍ය ආදර කතාවක ප්‍රතිඵලයකි. මේගන් ඔහුට වඩා වසර තුනක් වැඩිමල්ය. ඈත් දික්කසාද වූ කළු ජාතික කාන්තාවකි. ඇය මෝස්තර නිරූපණයෙන් සහ රංගනයෙන් තරමක නමක් දිනා සිටියත්, ලෝ ප්‍රකට වූයේ හැරී කුමරුගේ අත ගැනීමෙන් පසුවය.

හැරී කුමරු විලියම්ගේ පහර කෑමට ලක් වී ඇත්තේ වසර 2019 දී ඔහුගේ ලන්ඩන් නි‌ෙවසේදීය. තම බිරිය තේරුම් ගත නොහැකි නොහික්මුණු ගැහැනියක් බව විලියම් පැවැසූ බවත්, ඔහු සිය කෘතියේ ලියා තිබේ. කතාව දුර දිග ගොස් ඇති අතර කෝපයට පත් විලියම් කුමරු හැරීගේ කමීස කොලරයෙන් අල්ලා බිමට ඇද දැමූ බව හැරී සඳහන් කර ඇත. සැබැවින්ම ඔහු ඇදවැටී ඇත්තේ සුරතල් බල්ලාට ආහාර දෙන භාජනය මතටය. එම භාජනය බිඳී ඔහුගේ සිරුර තුවාල වී ඇති අතර පිටකොන්දට ද ප්‍රතිකාර ගැනීමට හැරීට සිදු වී තිබේ. අනතුරුව ඔහු විලියම් කුමරු නිවෙසින් පන්නා දැමූ බව එහි සඳහන් වේ.

‘Spare‘ කෘතියේ මෙවැනි කරුණු රාශියකි. එය නිකුත් වන තුරු මාධ්‍යයෙන් සඟවා තැබීමට ප්‍රකාශකයෝ අසමත් වූහ. බ්‍රිතාන්‍යයේ මාධ්‍ය සියල්ලම පාහේ එළිදැක්වීමටත් පෙර කෘතියේ පිටපතක් සොයා ගැනීමට සමත් වී ඇති අතර, පෙනෙන හැටියට නම් පොත එළිදක්වන විට ලොවම එය කියවා අවසන් කරනු ඇත.

හැරී කුමරු සිය කෘතියට තැබූ නමින්ම ඔහු රජ පවුලේ පීඩනයට හා අසාධාරණයට කෙතරම් ලක්ව සිටියේදැයි පැහැදිලි වෙයි. ඔහුගේ ‘Spare‘ කෘතියෙහි සිංහල අර්ථය ‘අමතර දේ‘ යන්නය. රථවාහනවල අමතර රෝදයක් (ස්පෙයාර් වීල්) රැගෙන යන්නේ පාවිච්චි කරන රෝදයක හුළං ගිය විට සවි කිරීමටය. හැරී කියන්නේ ඔහුත් රජ පවුලේ සිටියේ එවැනි ආකාරයෙන් බවය. බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට අනුව ඔටුන්නට හිමිකම් කියන්නේ පවුලේ වැඩිමලාය. බලය සහ වාසනාව අතින් ද ඉහළින් වැජඹෙන්නේ ඔහුය. එබැවින් බාලයා ‘අමතර එකා‘ වී ඇත්තේ නිතැතින්මය. ඔහුට ඉහත කී සියල්ල අත්වන්නේ වැඩිමලාට විපතක් සිදුවූ විට පමණි.

අමතර එකා වීමේ කනගාටුව හැරීගේ සිතට දැඩි පීඩනයක් එල්ල කරන්නට ඇත. එසේ සිතෙන්නේ ඔහු තම උපත සිහිපත් කරමින් කළ සඳහනකිනි. ඔහු කියන්නේ තමා උපන් මොහොතේ තම පියා චාල්ස් ‘ඔහ්..නියමයි. ඔයා දැන් මට ඔටුන්න හිමි කුමාරයෙකුයි, අමතර එකෙකුයි දීලා. දැන් මගේ වැඩේ සම්පූර්ණයි‘ යනුවෙන් සිය මව ඩයනාට පවසන්නට ඇතැයි කියමිනි.

කෘතියෙහි ඇතුළත් වී ඇත්තේ රජ කුමරුන් දෙදෙනකු අතර සිදු වූ විමතිය දනවන සුලු කරුණු පමණක්ම නොවන බවත්, රජ පවුලේ උද්ධච්චකම හෙළි කරන තවත් කරුණු කාරණා විශාල වශයෙන් ඊට ඇතුළත්ව ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. 

මේගන් සමඟ විවාහයට හැරීට රජ පවුලේ අවසරය ලැබුණත් ඒ ලැබුණේ වැඩි කැමැත්තකින් තොරවය. කැමැත්ත ලැබුණත්, නැතත් මේ හිතුවක්කාර කුමාරයා මේගන් සමඟ තනි තීරණයට විවාහ වන බව රජ පවුලම දැන සිටියේය. එහෙත් අන්තිමේදී සිදු වූයේ විවාහ වූ දිනයේ සිට මේගන් කුමරිය රජ පවුලේ නොයෙකුත් අවලාදවලට ලක් වීමය. එහෙත් ඇය මේ සියල්ල උපේක්ෂා සහගතව විඳ දරා සිටියේ හැරී කුමරුට ඇති ආදරය නිසා බවත් කියැවේ.

සිය බිරිය අරබයා රජ පවුල අවලාද නඟන සෑම අවස්ථාවකදීම දබරයට යෑමට තරම් හැරී කුමරු කෝපයට පත් වූයේ මේගන්ට ඇති ආදරය නිසාවෙනි. එහෙත් එවැනි අවලාද ඇසෙන සෑම අවස්ථාවකදී ඇය නම් කෝප වූයේ නැත. විමතියට පත් වූයේ ද නැත. එහෙත් ඉන් ඇය දැඩි කනගාටුවට පත්ව සිටියාය.

හැරී කුමරු කවදත් සිය මව ඩයනා මෙන්ම ජනතාවගේ පැත්තේ සිට ගත් කුමාරයෙකි. ඔහු සංවේදී චරිතයකි. ඩයනා කුමරිය පැරිස් නුවරදී මෝටර් රථ අනතුරකින් වියෝ වෙද්දී ඔහු පසු වූයේ 12 හැවිරිදි වියේය. ඔහු කියන්නේ ආදරය අවශ්‍යම මොහොතේ මව තමා හැර ගිය බවය. දැන් ඔහු මේගන්ගෙන් ලබන්නේ ඒ ආදරය බවත් පසුගියදා හැරී කියා තිබිණි. මේගන් කුමරිය ද එය දැන සිටියාය. ඇයට අවශ්‍ය වී ඇත්තේ ද හැරී කුමරුගේ විජිතයේ සිහින කුමාරිය වන්නට නොව මවගෙන් හිස් වූ ඔහුගේ ජීවිතයේ අඩුව පුරවා දැමීමටය.

හැරී සහ විලියම් අතර අසමානකම් බොහෝය. ඒවා කුඩා වියේ සිටම පැවැත එන්නකි. විලියම් යනු රජ පවුලේ උද්ධච්චකම ඉහවහා ගිය චරිතයකි. ඔහු හැම අතින්ම චාල්ස් රජුට සමානය. ඔහුගේ බිරිය වේල්සයේ කුමරිය කේට් ද ඊට දෙවැනි නැත. හැරී කුමරු යනු ඩයනාගේ කපාපු පළුවය. ඔහු හැම අතින්ම සමාන මවටය. ඔහු කුඩා වියේ සිටම නිදහස උපරිම අයුරින් භුක්ති විඳිමින් සිටි තරුණයෙකි. කොහොමටත් රාජකීය පවුලේ රස්නය හිතට නොගත් නිහතමානී තරුණයෙකි. මවගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු ඔහු හොඳින් රැක බලා ගත්ත ද, සිතින් හුදෙකලා වී මවගේ අභාවයෙන් අවුලට පත්ව සිටියේය. එය මොහොතකට තුනී කර ගත්තේ සාමාන්‍ය තරුණයන් සමඟ ලන්ඩනයේ වීදිවල රස්තියාදු වෙමින් කාලය ගත කිරීමට පටන් ගැනීමෙන් පසුවය. එය ඔහුගේ දෛනික රාජකාරියක් බවට පත් වී තිබූ අතර, දඩබ්බරකම්වලට ද යොමු විය. මේ හේතුවෙන්ම බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පත්තර ඔහු හඳුන්වනු ලැබුවේ ‘කැලෑ කොල්ලා‘ නමිනි. එසේ වූයේ අවුරුදු 17දී ගංජා උරන්නට ගොස් හසුවීමත්, මිතුරන් සමඟ මත්පැන් පානය කිරීම ඡායාරූප ගත කළ පැපරාසි ඡායාරූප ශිල්පින්ට දිගට හරහට පහර දීමත් නිසාය. මවගේ වියෝවත් සමඟ ඔහුට කොහොමත් පැපරාසී ඡායාරූප ශිල්පීන් සමඟ ‘ඇරියස්‘ එකක් තිබිණි. ඩයනා සහ ඇගේ පෙම්වතා වූ ඩොඩී පැරීසියේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියේ පැපරාසී ඡායාරූප ශිල්පීන්ගෙන් බේරීමටය. රිය අනතුර සිදු වූයේ ඒ මොහොතේදීය.

අසූව දශකයේ මුල් භාගයේදී ඩයනා සමඟ අතිනත ගන්නා විටත් කැමිලා පාකර්ට ආදරය කරමින් සිටි චාල්ස්ගෙන් පසුකාලීනව දික්කසාද වීමෙන් පසු ඩයනා ඇයට හිමි ආදරය සොයා ගත්තේ සාමාන්‍ය ජනතාව අතරිනි. ඊජිප්තුවේ මුස්ලිම් ජාතික ඩොඩී අල්ෆේඩ් රජ පවුලට නොගැළපෙන බව අමුතුවෙන් කිව යුතු ද නැත. හැරී කුමරු මේගන් සමඟ ආදරයෙන් බැඳුණේ ද ඒ අයුරින්මය. කළු ජාතික කාන්තාවක් බ්‍රිතාන්‍ය රජ පවුලට එක්වීම එලිසබෙත් මහ රැජන ද උදහස් වූ කාරණාවක් වී තිබිණි. හැරීගේ පෙම් පලහිලව්ව කඩා දමන්නට එවකට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ ද මහ රැජන බව කවුරුත් කියති. කාගෙත් ආදරය හා ගෞරවය දිනාගත් බව කීවත්, සැබෑව නම් බ්‍රිතාන්‍ය ජනතාව අතර එලිසබෙත්ට ඒ හැටි ආදරයක්, ගෞරවයක් නැත. හැමෝම කියන්නේ ඔහුගේ පුත් චාල්ස් ද මවට දෙවැනි නැති බවය. ඩයනාට රජ පවුලෙන් විඳින්නට සිදු වූ අනේක විධ චෝදනා සහ අවලාද සියල්ලට හේතු වූයේ චාල්ස් සහ කැමිලාගේ අනියම් සම්බන්ධතාව බව එරට ප්‍රසිද්ධ රහසකි. එබැවින් චාල්ස්ට ද බ්‍රිතාන්‍ය ජනතාවගේ ඒ හැටි කැමැත්තක් නැත. කවුරුත් ආදරය කළේ ඩයනා කුමරියටය.

චාල්ස් සිය මවු රැජනගේ අභාවයෙන් පසු ඔටුනු පැලඳුව ද, ජනතා අප්‍රසාදය එලෙසමය. පසුගිය මාස දෙකක කාලයක් ඇතුළත ඔහු ජනතාව අතරට ගිය අවස්ථා දෙකකදී බිත්තර ප්‍රහාරයකට මුහුණ පෑමට සිදු විය.

කැමිලා නිසාම ජනතාව අතර අපකීර්තියට පත්වූවත් චාල්ස්ට ඉන් වගක් නැත. ඔහු සිතන්නේ සිය ජීවිතයේ සැඳෑ සමයේදී සිහසුනට හිමිකම් කියන්නට හැකි වීම ගැනය. එය ආරක්ෂා කර ගැනීම ගැනය. විලියම් සහ හැරී සොයුරන්ගේ කාලයක් තිස්සේ පවතින ගැටුම් ඔහු දැන සිටි අතර, ඒ පිළිබඳ අවස්ථා ගණනාවකදී දෙදෙනාටම අවවාද කර තිබිණි. ඉල්ලීම් කර තිබිණි. හැරී සිය කෘතියේ ලියා ඇත්තේ විලියම් සමඟ ඇති ආරවුල අවසන් කරන්නැයි පිය රජු අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිටි බවය. 

වසර 2021 අප්‍රේල් මාසයේ මහ රැජනගේ සැමියා පිලිප් කුමරුගේ අවමංගලෝත්සවයේදී චාල්ස් සිය පුතුන් දෙදෙනාටම අවවාද කර තිබේ. ‘අනේ කොල්ලනේ, මගේ අන්තිම කාලය කාලකණිනි කරන්න එපා.‘ යනුවෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඇතැමුන් කියන්නේ හැරීට සහ මේගන්ට එරෙහිව විලියම් කුමරුට උඩ ගෙඩි දෙන්නේ ඔහුගේ බිරිය කේට් බවය. ඇය උදාර හා කාරුණික හදවතින් යුතු කාන්තාවක බවටත්, හැම අතින්ම ඩයනා කුමරියට සමාන බවටත් ලොවට කියා පාන්නට දැඩි උත්සාහයක නිරතව සිටින්නේ සෑහෙන කාලයක සිටය. එහෙත් මේගන් කුමරිය රජ පවුලට එක්වීමෙන් කාලයකට පසු ඇය ඩයනාට සමාන බවට බ්‍රිතාන්‍ය පුරා මතවාදයක් ගොඩ නැඟෙමින් තිබිණි. ඩයනා මෙන්ම මේගන් ද රජ පවුලේ සම්ප්‍රදායට පයින් ගසමින් සිටියාය. එරට ඇතැම් මාධ්‍ය ඇය හැඳින්වූයේ එංගලන්තයේ දෙවැනි ඩයනා ලෙසිනි.

හැරීගේ කෘතියේ කේට් කුමරිය ගැනත් හොඳ හොඳ දේවල් ලියා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. ලබන අඟහරුවාදා සිය ‘මස්සිනා‘ ගේ පොත නිකුත් කිරීමෙන් පසු කේට් කුමරියට හැරී අරබයා අසූහාරදාහට කේන්ති යනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ. මුල සිටම කේට් සහ විලියම් කටයුතු කර ඇත්තේ හැරී කුමරු ජනතාව අතර අප්‍රසාදයට ලක් වන ආකාරයටය. ඔවුන් අවස්ථා ගණනාවකදී ඔහු හාස්‍යයට ලක් කිරීමට විවිධ උපක්‍රම භාවිත කර ඇතැයි ද හෙළි වී තිබේ. හැරීගේ කෘතියේ සඳහන් වන්නේ 2005 වසරේ පැවැති එක්තරා සාදයකට සහභාගි වීමේදී තමාට ‘නාසි‘ ලාංඡනය සහිත ඇඳුමකින් සැරසී පැමිණීමට ඔවුන් තමා දිරිගැන්වූ බවය. සැබැවින්ම හැරී අවසානයේදී එම සාදයට සහභාගි වී ඇත්තේ නාසි ඇඳුමකින් සැරසීය. එය ඔවුන්ගේ සමච්චලයට කාරණාවක් වූ අතර, හැරී කුමරු සමාජයේ දැඩි විවේචනයට ලක් වීමට ද කාරණාවක් වී තිබිණි.

විලියම්ට සහ කේට් කුමරියට හැරී කුමරු විහිළුවක් වූවත් ඔහුට ජාත්‍යන්තර වශයෙන් ලැබී ඇති පිළිගැනීම අතිවිශාලය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඩයනාට සිදු වූ අකටයුතුකම් මැනවින් දන්නා බැවින් මේගන්ට ද ඒ හා සමාන ඉරණමකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි බොහෝ අය කීවේ මේගන් හැරීගේ අත ගැනීමටත් පෙරය.

විලියම් සහ කේට් පිළිබඳ පමණක් නොව රජ පවුලේ අනාවරණය නොවූ තවත් කරුණු රැසක් ඊට ඇතුළත් වී ඇතැයි ද කියැවේ. ජීවත්ව සිටියදී ඩයනා කුමරිය ද චාල්ස් අරබයා මෙවැනි කෘතියක් පළ කර තිබිණි. එකක් නොව කිහිපයක්ම පළ වූ අතර, ඇතැමුන් කියන්නේ ඒවා බ්‍රිතාන්‍ය රජ පවුලේ ‘රෙදි ගැලවීමට‘ සමත් වූ බවය. දැන් පෙනෙන හැටියට ඩයනාගේ පොඩි පුතා ලියා ඇත්තේ රජ පවුලේ ‘යට ඇඳුම්‘ පවා ගැලවෙන ආකාරයේ පොතකි.

Comments